ප්‍රදේශ කිහිපයක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත, ප්‍රදේශ කිහිපයක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, අනතුරු ඇඟවීමේ මට්ටම 2 සඳහා ‘අවදානයෙන් සිටින්න (ඇම්බර්)’ තත්ත්වය යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, ⁠රුවන්වැල්ල යන ප්‍රදේශවලට නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම අනතුරු ඇඟවීමේ මට්ටම 1 සඳහා ‘විමසිලිමත් වන්න (කහ)’ යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ⁠අත්තනගල්ලටත්,  මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව, ⁠දෙල්තොට යන ප්‍රදේශවලටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඹ්විට, ⁠බුලත්කොහුපිටිය යන ප්‍රදේශවලටත් නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඉහත මට්ටම යටතේම, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, ⁠මාවතගම යන ප්‍රදේශවලටත්, මාතලේ දිස්ත්‍රික්කයේ ⁠අඹන්ගග කෝරළයටත්, මාතර දිස්ත්‍රික්කයේ  ⁠වැලිපිටිය, ⁠කොටපල හා ⁠පස්ගොඩ යන ප්‍රදේශවලටත් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

මෙම නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන අද ප.ව. 7.30 දක්වා වලංගු වන ලෙසට නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

මාතලේදී බස් රථයක් සහ වෑන් රථ​යක් ගැටී තිදෙනෙක් මියගොස් 39 ක් තුවාල ලබයි

දඹුල්ල – මහියංගනය මාර්ගයේ මාතලේ, එලවනකන්ද ප්‍රදේශයේදී බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තිබෙනවා.

අනතුරෙන් පුද්ගලයින් 39 ක් තුවාල ලබා ඇති අතර එම පිරිස මේ වන විට රෝහල්ගත කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අනතුර සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

සවස දෙකෙන් පසුව ප්‍රදේශ රැසකට මහ වැසි ඇතිවිය හැකියි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

අද (14) දිනයේ දහවල් 2.00 පමණ පසු සන්ධ්‍යා කාලයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පවසනවා.

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල 100mm ඉක්මවූ වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවත් අනෙකුත් පළාත්වලත් 75mm ක පමණ වර්ෂාපනයක් ඇතිවිය හැකි බවත් ඔහු සඳහන් කළා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ඔහු වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

හෙට සහ අනිද්දා සුරාසැල් වැසෙයි

දිවයින පුරා පිහිටි සුරාසැල් හෙට (14) සහ අනිද්දා (15) වසා තැබීමට නියමිත බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මහ මැතිවරණය හා පොහොය දිනය යෙදීම නිමිත්තෙන් මෙම තිරණය ගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සුරාසැල් වසා තැබීමට නියමිත දිනවල බලපත්‍ර නීති උල්ලංඝනය කිරීම ඇතුළු නීති විරෝධී ආකාරයට කටයුතු කරන සුරාසල්වලට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

නීතිවිරෝධී මත්පැන් පානය කළ පුද්ගලයින් දෙදෙනෙක් මරුට

පිටිගල මාරක්ගොඩ ප්‍රදේශයේදී නීතිවිරෝධි අයුරින් නිෂ්පාදනය කරන ලද මත්පැන් බෝතලයක් පානය කළ දෙදෙනෙක් මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

පුද්ගලයින් පස්දෙනෙක් අදාළ මත්පැන් බෝතලය පානය කර ඇති අතර අනෙක් පුද්ගලයන් තිදෙනාද බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඊයේ (11) රාත්‍රියේ මිතුරෙකු විසින් රැගෙන ආ අදාළ මත්පැන් බෝතලය පානය කර ඇති අතර පසුව ඔවුන්ට ඇතිවූ ආසාත්මිකතා හේතුවෙන් ඇල්පිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අදාළ මත්පැන් වර්ගය කුමක්දැයි මේ වන තෙක් හඳුනාගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

චීනයේ සිදුවූ වාහ​න අනතුරකින් පුද්ගලයින් 35 ක් මරුට

චීනයේ ෂුහායි ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක් ඉදිරිපිට ව්‍යායාම කරමින් සිටි පිරිසක් වෙත වාහනයක් කඩා වැදීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 35 දෙනෙකු මියගොස් තිබෙනවා.

අනතුරින් පුද්ගලයින් 43 ක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

අනතුර සිදුකළ රියදුරු මේවන විට කෝමා තත්ත්වයෙන් පසුවන බවත් ඒ හේතුවෙන් පොලිසියට අනතුර පිළිබඳ ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටද නොහැකිවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය සයිබර් ප්‍රහාරයට ලක්වී ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින බවයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක නිලධාරි චරුක දමුණුපොළ සඳහන් කළේ.

නොවැම්බර් පළමුවෙනිදා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට මෙලෙස සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

සුජීව සේනසිංහගේ V8 රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙයි

හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේමසිංහ සතුව තිබූ V8 රථය අද (11) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා.

ඒ අනුව එම රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබුණා.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සන්තකයේ පවතින්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා සතුව තිබූ, රිය අනතුරකින් මනුෂ්‍ය මරණයක් සිදුකිරීමකට අදාළව නඩු භාණ්ඩයක් වූ මෝටර් රථය බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කර ඇත්තේ.

ප්‍රශ්නගත ජීප් රථය 2010 වසරේ මෙරටට ගෙන්වා ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ජේ ශ්‍රී රංගාට ලැබුණු තීරු බදු රහිත වාහන බලපත්‍රයෙන් බවත් පසුව මෝටර් රථය ලියාපදිංචි කිරීමෙන් තොරව භාවිතා කිරීමෙන් අනතුරුව අදාළ වාහනය 2011 මාර්තු 30 වනදා සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ.

ඉන් පසු 2022 වසරේදී හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහගේ නමින් අදාළ වාහනය ලියාපදිංචි කර ඇති බවත් ප්‍රශ්නගත ජීප් රථය කැලණිය ප්‍රදේශයේ වාහන එකලස් කිරීමේ ස්ථානයකට යොමුකර කොටස් කිහිපයක් එකලස් කිරීම සිදුකර තිබෙන බවත් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා අදාළ සුඛෝපභෝගී මෝටර් රථය අධිකරණය භාරයට පත්කරන ලෙසයි ඔවුන් වැඩිදුරටත් ඉල්ලා තිබුණේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු කොළඹ කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ප්‍රශ්නගත සුඛෝපභෝගී මෝටර් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කර තිබෙනවා.

14 සහ 15 දෙදි​න සුරාසැල් වැසෙයි

මහ මැතිවරණය හේතුවෙන් දිවයින පුරා පිහිටි සුරාසැල් නොවැම්බර් 14 සහ 15 යන දෙදින වසා තැබීමට නියමිත බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට නියමිත අතර, 15 වැනිදාට පොහොය දිනය යෙදී ඇති බැවින් මෙම දිනයන් දෙකෙහිම සුරාසැල් වසා තැබෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සුරාසැල් වසා තැබීමට නියමිත දිනවල නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී ආකාරයට කටයුතු කරන සුරාසැල්වලට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

අම්බලංගොඩල ඌරවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩිතැබීමකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඔවුන් දෙදෙනා වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව වාර්තා වෙයි.

පොලීසිය පැවසුවේ එම වෙඩිතැබීම සිදුකළ පුද්ගලයින් පළාගොස් ඇති බවය.