සහල් මෙට්‍රික් ටොන් 70,000 ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

කෙටිකාලීන සහල් හිඟයට විසඳුමක් ලෙස සහල් මෙට්‍රික් ටොන් 70,000 ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව සතොස සහ රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හරහා එම සහල් ආනයනය කරන බවයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කළේ.

නාඩු සහල් තොගයක් එලෙස ආනයනය කිරීමට නියමිත බවත්, ඒ සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය ද හිමිවූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අගමැතිනිය අධ්‍යාපන අමාත්‍යංශයේ වැඩ භාරගනියි

නව රජයේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය අද (20) සිය අමාත්‍යංශයේ වැඩ භාරගෙන තිබෙනවා.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට අද පැය 8 ක ජල කප්පාදුවක්

අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට අද (19) දිනයේදී පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව සාලියපුර, රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලය, යාපනය හන්දිය, අනුරාධපුර 1 වන පියවර, මාතලේ හන්දිය, ගල්කුලම යන ප්‍රදේශ සඳහා අද පෙරවරු 09.30 සිට පස්වරු 05.30 දක්වා ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

නුවරවැව ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයීම අත්හිටුවන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

දීර්ඝ කාලයක් ජනතාවට දුන් යහපත් අරමුණුවල අපේක්ෂාවන් ඉටුකිරීමේ බලය අපිට පැවරිලා තියෙනවා – ජනපති

දීර්ඝ කාලයක් ජනතාවට දුන් යහපත් අරමුණුවල අපේක්ෂාවන් ඉටුකිරීමේ බලය නව රජයට පැවරී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

අමාත්‍යවරුන්ට හිමිවූ අසීමිත බලය වගකීමෙන් යුතුව හැසිරවිය යුතු බවයි අභිනව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ අවස්ථාවට එක්වෙමින් අද (18) ජනාධිපතිවරයා සඳහන් කළේ.

එම බලය ආරක්ෂා කරගැනීමට නව අමාත්‍යවරු නිරන්තරයෙන් කටයුතු කළ යුතු බවත් බලය හැසිරවීමේදී වගවිය යුතු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

මහ මැතිවරණයේ ලැබුණු ප්‍රතිඵලයෙන් පෙන්නුම් කරන්නේ රටට තවදුරටත් බෙදීමේ දේශපාලය වලංගු නොවන බව බවත් ජාතික ජන බලවේගය විසින් අපේක්ෂා කරන ලද අරමුණු ඉටු කර ගැනීමේදී සියලුදෙනාගේ සහාය අවශ්‍ය බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

නායයෑමක් හේතුවෙන්, පස්සර – ලුණුගල මාර්ගයේ රථ වාහන ධාවනය 13 කණුව අසළින් සම්පූර්ණයෙන් අවහිර වෙයි

13 කණුව අසළ සිදුවූ නායයෑමක් හේතුවෙන්, පස්සර – ලුණුගල මාර්ගයේ රථ වාහන ධාවනය සම්පූර්ණයෙන් ඇණහිට තිබෙනවා.

ඊයේ (17) රාත්‍රියේ සිදුවූ නායයෑමත් සමඟ මාර්ගයට ගල් සහ පස් කඳු කඩා වැටී ඇති බවයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ, ඊ.එම්.ඒ.එල් උදය කුමාර සඳහන් කළේ.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන්නැයි ඔහු රියැදුරන්ගෙන් ඉල්ලා සිටින අතර මාර්ගයට වැටුණු ගල් සහ පස් ඉවත් කිරීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මකයි.

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුව නම් කෙරේ

2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය සඳහා වෙන් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා වන නාම ලේඛණය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ විසින් මැතිවරණ කොමසාරිස් සමත් ශ්‍රී රත්නායක වෙත එම නාම ලේඛණය යොමුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ ජාතික ලැයිස්තුව පහතින්.

01.  බිමල් රත්නායක:

ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී.

02. ආචාර්ය අනුර කරුණාතිලක:

කැළණිය විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික.

03. මහාචාර්ය උපාලි පන්නිලගේ:

රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ හිටපු පිඨාධිපති, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික.

04. එරංග උදේශ් වීරරත්න:

සමාගම් ප්‍රධාන විධායක නිලධාරී, තොරතුරු තාක්ෂණ ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික.

05. අරුණ ජයසේකර:

විශ්‍රාමික මේජර් ජනරාල්, ජාතික ජන බලවේගයේ විශ්‍රාමික හමුදා සාමූහිකයේ ප්‍රධානී.

06.  ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම:

සමාගම් අධ්‍යක්ෂ, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික.

07. ජනිත රුවන් කොඩිතුවක්කු:

නාවුක සහකාර ඉංජිනේරු, ජාතික ජන බලවේගයේ ඉංජිනේරු සංසදයේ මෙහෙයුම් කමිටු සාමාජික.

08. පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි:

ඉංජිනේරු, ව්‍යාපෘති කළමානාකාර, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික.

09. රාමලිංගම් චන්ද්‍රසේකර්:

පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කාරක සභා සභාපති, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සහ යාපනය දිස්ත්‍රික් සංවිධායක.

10. වෛද්‍ය නජිත් ඉන්දික:

සමාජ ක්‍රියාකාරී, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු.

11. සුගත් තිලකරත්න:

ඔලිම්පික් ක්‍රීඩක

12. නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර:

ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් විධායක සභික.

13. සුනිල් කුමාර ගමගේ:

වරලත් ගණකාධිකාරී, ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ආර්ථික කවුන්සිල සාමාජික, ජාතික විද්වත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සභාපති.

14. ගාමිණී රත්නායක:

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වෙළඳ කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු.

15. මහාචාර්ය රුවන් චමින්ද රණසිංහ:

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති, ඌව පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති.

16. සුගත් වසන්ත ද සිල්වා:

සමාජ සේවා නිලධාරී (විශ්‍රාමික), ශ්‍රී ලංකා දෘෂ්්‍යාභාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති.

17.  අබුබකර් ආදම්බාවා:

දිගාමඩුල්ල මැතිවරණ කොට්ඨාශයේ අපේක්ෂක, රුහුණු විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාව පිළිබද විද්‍යාවේදී උපාධිධාරි, අධ්‍යාපනවේදී පශ්චාත් උපාධිදාරි, ලංකා ගුරු සේවා සංගමයේ උප ලේකම්.

18. ආර්. එච්. උපාලි සමරසිංහ:

වන්නි මැතිවරණ කොට්ටාශයේ අපේක්ෂක, ජාතික ජන බලවේගයේ වව්නියාව දිස්ත්‍රික් සංවිධායක.

IMF නියෝජිතයන් පිරිසක් අද දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් අද (17) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකමේ තුන්වන සමාලෝචනය සම්බන්ධයෙන් අවසන් එකඟතාවට පැමිණීම සඳහා ඔවුන් මෙලෙස දිවයිනට පැමිණෙන බවයි සඳහන් වෙන්නේ.

උසස් පෙළ උපකාරක පන්ති අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට අවසන් වෙයි

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ අනිද්දා (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එම උපදෙස් පිළිනොගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙවර උසස් පෙළ විභාගය, ලබන 25 දා සිට දෙසැම්බර් 20 දා දක්වා පැවැත්වීමට සූදානම් කර තිබෙනවා.

ජනපති නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම නොවැම්බර් 21 පාර්ලිමේන්තුවේදී

නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම, නොවැම්බර් 21 වන දින සවස 3.00ට, 10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සිදු කිරීමට නියමිත බව පාර්ලිමේන්තුව නිවේදනය කරනවා.

පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරිමට සහ පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන හෙබවීමට ජනාධිපතිවරයාට බලතල හිමිවී ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

නව ආණ්ඩුවේ ඉදිරි දැක්ම පිළිබඳ සවිස්තරාත්මක ප්‍රකාශයක් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙහිදී පාර්ලිමේන්තුවට සහ මහජනතාවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මැතිවරණ ජයග්‍රහණයට ඉන්දීය මහ කොමසාරිස්ගෙන් ජනපතිට සුබපැතුම්

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ලද විශිෂ්ට ජයග්‍රහණයට සුබපැතීම සඳහා ජනාධිපතිවරයා හමුවී තිබෙනවා.

අසල්වැසි ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස ඉන්දියාව ජාතික ජන බලවේගය ලැබූ ජන වරමට සුබපතන අතර, දෙරටේ ජනතාවගේ සුබසෙත උදෙසා ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරලීමට කැපවී සිටින බවයි X සටහනක් තබමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කර ඇත්තේ‍.

X සටහන පහතින්.

6737f86101418