සුජීව සේනසිංහගේ සුඛෝපභෝගී මෝටර් රථය බැඳුම්කරයක් මත මුදාහරින ලෙස නියෝග

දැනට අධිකරණය භාරයේ පවතින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහගේ සුඛෝපභෝගී මෝටර් රථය මුදාහරින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව රුපියල් මිලියන 100 ක බැඳුම්කරයක් මත අදාළ වාහනය මුදා හරින ලෙසයි අධිකරණය නියෝග කර ඇත්තේ.

නීති විරෝධීව එකලස් කළ V8 රථයක් පරිහරණය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

E8 වීසා ක්‍රමය ඔස්සේ දකුණු කොරියාවට යාමට ඇති අවස්ථාව අහිමි නොකරන ඉල්ලා කොළඹදී විරෝධතාවක්

E8 වීසා ක්‍රමය ඔස්සේ දකුණු කොරියාවට යාමට ඇති අවස්ථාව ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් වැළැක්වීමට කටයුතු කරමින් සිටින බව රැකියා අපේක්ෂිත තරුණයින් පවසනවා.

ඒ අනුව ඔවුන් අද (23) කොළඹ විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට මීට එරෙහිව විරෝධතාවයක්ද ආරම්භ කර ඇති බවයි සඳහන් වෙන්නේ.

E8 ක්‍රමය යටතේ දකුණු කොරියාවට 107 ක් සඳහා වීසා ලැබී ඇති බවත් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ක්‍රියා කලාපය හරහා එම වීසා අත්හිටුවීමේ අවධානමක් තිබෙන බවද ඔවුන් චෝදනා කර සිටිනවා.

IMF සිව්වැනි ණය වාරිකයට ප්‍රවිශ්ට වීමට ශ්‍රී ලංකාවට අවස්ථාව

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධ වැඩසටහනේ 03 වෙනි සමාලෝචනයට එහි නියෝජිතයින් සහ ශ්‍රී ලංකා බලධාරීන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළැඹි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද (23) නිවේදනය කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරීත්වය සහ එහි විධායක මණ්ඩලය ඒ සඳහා අනුමැතිය ලබාදීමෙන් පසු ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 330 ක IMF සිව්වැනි ණය වාරිකය ලබාගැනීමට අවස්ථාව හිමිවෙන බවයි සඳහන් වන්නේ.

ඒ සමඟ IMF වැඩසටහන යටතේ මෙරටට ලබාදී ඇති මුළු ණය මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2 ක් දක්වා ඉහළ යන බවයි IMF මෙරට දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් සඳහන් කරන්නේ.

මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් 2023 මාර්තු මාසයේදී IMF වැඩසටහන යටතේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය මුදලක් අනුමත වූ අතර එහිදී පලමු වාරිකය ලෙස 2023 මාර්තු මාසයේදී ඩොලර් මිලියන 333 ක්ද දෙවන වාරිකය ලෙස 2023 දෙසැම්බර් මාසයේදී ⁣ඩොලර් මිලියන 337 ක්ද තෙවැනි වාරිකය ලෙස 2024 ජුනි මාසයේදී ඩොලර් මිලියන 336 ක්ද මෙරටට ලැබුණා.

අගමැතිනිය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ජනවාරි 30 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි

පසුගිය වසරේදී පාර්ලිමේන්තුව අසල පැවැත්වූ සාමකාමී කාන්තා විරෝධතාවකට පහර දීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළේ යැයි කියමින් අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජනවාරි 30 වැනි දා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (22) දින නියම කර තිබෙනවා.

ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලුණු අවස්ථාවේ පෙත්සම්කාරියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කියා සිටියේ සිද්ධියේදී අත්අඩංගුවට ගත් පිරිසකට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පැවැත්වෙන බවත්, එම නඩුව ඉල්ලා අස්කර ගන්නේ නම් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේද, නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකියාව ඇති බවයි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතීඥ නිලන්ති කොට්ටහච්චි ඇතුළු ජාතික ජන බලවේගයේ කාන්තා ක්‍රියාකාරිනියන් පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කර ඇති අතර, එවක වැඩබලන පොලිස්පතිවරයා වූ දේශබන්දු තෙන්නකෝන්, වැලිකඩ, තලංගම, මිරිහාන පොලිස්ථානාධිපතිවරු හා නුගේගොඩ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු පිරිසක් එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.

නවක මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව CIDයට පැමිණිල්ලක්

යාපනය දිස්ත්‍රික්කයෙන් ස්වාධීන කණ්ඩායම අංක 17 නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඔහු ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ දෙමළ ඊළම පිළිබඳව සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව සඳහන්.

එම මන්ත්‍රීවරයා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව, දේශද්‍රෝහී වීමේ අපරාධය සිදුකළ බව පවසමින් මෙම පැමිණිල්ල ගොනුකළ බවයි නීතිඥ ලලිත් විජේසුරේන්ද්‍ර මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ.

නව පාර්ලිමේන්තුවේ ආරම්භක සැසියේදී මන්ත්‍රීවරුන්ගේ ජ්‍යෙෂ්ඨත්වයට අනුව අසුන් වෙන් කර නොතිබූ නිසා මන්ත්‍රීවරුන්ට ඕනෑම අසුනක අසුන් ගැනීමට අවස්ථාව සලසා දී තිබුණු අතර එහිදී යාපනය දිස්ත්‍රික් ස්වාධීන මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් විපක්ෂ නායකවරයාට හිමි අසුනේ වාඩි වී, එය වීඩියෝගත කරමින්, ආන්දෝලනාත්මක ලෙස හැසිරී තිබුණා.

IMF තෙවන සමාලෝචනයේ නිල ප්‍රකාශය දැනුම්දීම අද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවන සමාලෝචනය සම්බන්ධයෙන් එහි නියෝජිතයින් අද (23) පෙරවරුවේ නිල වශයෙන් කරුණු දැක්වීමට නියමිතව තිබෙනවා.

තෙවන සමාලෝචනය අවසන් කිරීම සඳහා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම සම්බන්ධයෙන් මෙහිදී දැනුම්දීමට නියමිතව බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡා ඊයේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුනු අතර, ඊට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් හා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායමක් සහභාගී වී තිබුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව සාර්ථකව අවසන් වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව අද (22) ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

ඒ අනුව මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම සහභාගි වූ අතර ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායමක් සහභාගී වී ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර පැවති තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව සාර්ථකව අවසන්වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

67407a9dae7e1pdf_page_0

IMF නියෝජිතයින් බලශක්ති සහ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් අද හමුවෙයි

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

අද (21) පෙරවරුවේ එම සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි බලශක්ති අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කේ.ටී.එම්. උදයංග හේමපාල සඳහන් කළේ.

එහිදි විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මෙන්ම, අදාළ ආයතනවල ක්‍රියා පටිපාටිය පිළිබඳව සාකච්ඡා සිදුකිරීමට නියමිත අතර, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින්ගේ ද අදහස් ලබාගැනීමෙන් අනතුරුව, විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලිය සකස් කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අයිස් කිලෝ 160 ක් සහ හොරොයින් කිලෝ 60 ක් සමඟ පුද්ගලයින් 10 ක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 160 ක් සහ හොරොයින් කිලෝග්‍රෑම් 60 ක් සමග පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මාතර, ගන්දර ප්‍රදේශයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගයක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

උසස් පෙළ විභාගය කල් දැමීමේ හැකියාවක් නැහැ – අධ්‍යාපන අමාත්‍යංශය

2024 අ.පො.ස උසස් පෙළ විභාගය කල් දැමීමේ හැකියාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව සැලසුම් කළ පරිදි උසස් පෙළ විභාගය නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 වනදා දින දක්වා පැවැත්වෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ.

අදාළ නිවේදනය පහතින්.

673de29fd40c2