ගංවතුර බැස යාමත් සමඟ ඩෙංගු ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක්

ගංවතුර ආපදා තත්ත්වයට මුහුණ දුන් උතුරු – නැගෙනහිර ප්‍රදේශවල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කර දමන ලෙසයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ළහිරු කොඩිතුවක්කු මහතා ජනතාවට දැනුම් දෙන්නේ.

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 45,448ක් වාර්තා වී ඇති අතර වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව 19,487 ක්.

ඩෙංගු රෝගයෙන් පුද්ගලයින් 22 ක් මියගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අද ප්‍රදේශ රැසක වායු ගුණ තත්ත්වය සුළු වශයෙන් අහිතකර මට්ටමක

අද (01) දිනයේ ප්‍රදේශ රැසක වායු ගුණ තත්ත්වය සුළු වශයෙන් අහිතකර තත්ත්වයක පවතින බව වාර්තා වනවා.

ඒ අනුව කොළඹ, යාපනය, කුරුණෑගල, වවුනියාව, මහනුවර, කෑගල්ල, ගාල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක මෙම තත්ත්වය පැවතිය හැකි බවයි සඳහන් වෙන්නේ.

මේ හේතුවෙන් සංවේදී පුද්ගලයින්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීමේ හැකියාව ඇති බවත් එලෙස තත්ත්වයක් ඇතිවුවහොත් වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන ලෙසයි වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

674bcce3bacd7pdf_page_0

IOC සහ SINOPEC සමාගම් ඉන්ධන මිල සංශෝධනය කරයි

ලංකා IOC සහ සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මිල ගණන්වලට සමාන වන අයුරින් එම සමාගම් මිල අඩු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්.

* පෙට්‍රල් 92 – රු. 02 කින් (නව මිල රු.309)

වැඩි වූ මිල සහ නව මිල පහතින්.

* ඔටෝ ඩීසල් – රු. 03 කින් (නව මිල රු.286)

* භූමිතෙල් – රු. 05 කින් ( නව මිල රු.188)

මිල නොවෙනස් වන ඉන්ධන වර්ග:

* පෙට්‍රල් 95 – ( මිල රු.371)

* සුපර් ඩීසල් – ( මිල රු.313)

CEYPETCO ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්.

* පෙට්‍රල් 92 – රු. 02 කින් (නව මිල රු.309)

වැඩි වූ මිල සහ නව මිල පහතින්.

* ඔටෝ ඩීසල් – රු. 03 කින් (නව මිල රු.286)

* භූමිතෙල් – රු. 05 කින් ( නව මිල රු.188)

මිල නොවෙනස් වන ඉන්ධන වර්ග:

* පෙට්‍රල් 95 – ( මිල රු.371)

* සුපර් ඩීසල් – ( මිල රු.313)

674b187861b22

කොළඹ හා යාපනය ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය පහළට

පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණාත්මක භාවය සුළු වශයෙන් අහිතකර මට්ටමක් දක්වා පහළ යා හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

යාපනය හා කොළඹ නගරවල වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇති බවත්, නුවරඑළිය හා බදුල්ල යන නගරවල වායු ගුණාත්මක දර්ශකය මධ්‍යස්ථ මට්ටමක පවතින බවයි එම සංවිධානය සඳහන් කළේ.

සාමාන්‍යයෙන් වායු දර්ශක අගය 50ට අඩුවෙන් පැවතිය යුතු නමුත්, යාපනය දිස්ත්‍රික්කයේ වායු ගුණ තත්ත්ව දර්ශක අගය 130ක් ලෙසින් ද, කොළඹ නගරයේ වායු ගුණ තත්ත්ව දර්ශක අගය 120ක් ලෙසින් ද සටහන් වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසා සිටියා.

මෙම තත්ත්වය හමුවේ ස්වසන අපහසුතා පවතී නම්, වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක, ආචාර්ය අජිත් ගුණවර්ධන මහජනතාවට දැනුම් දෙනු ලබනවා.

අයහපත් කාලගුණ තත්ත්වයෙන් විනාශ වූ භෝග වගාවලට වන්දි ලබාදෙනවා – කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විනාශ වූ භෝග වගාවන් සඳහා වන්දි ලබාදෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.

වී, බඩඉරිඟු, අර්තාපල්, සෝයා බෝංචි, මිරිස් සහ ලොකු ලූනු වගාවන් සඳහා වන්දි ලබාදීමට තීරණය කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

ඒ අනුව අක්කරයක් සඳහා රුපියල් 40,000ක උපරීමයකට යටත්ව එම වන්දිය ලබාදීමට කටයුතු කරන බවත්, රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය අඩුවීමෙන් අනතුරුව, වගා හානි පිළිබඳව දත්ත රැස්කර, එම වන්දි ගෙවීම් සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදා එක්ව කළ මෙහෙයුමකින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 500 ක් අත්අඩංගුවට

ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500ක් පමණ ප්‍රවාහනය කරමින් තිබු මෙරට ධජය සහිත බෝට්ටු දෙකක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඊට අමතරව එහි සිටි පිරිසක් ද ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන ඇති ඇති බවයි සඳහන් වෙන්නේ.

ඉදිරි නීතිමය කටයුතු සදහා ඔවුන් මෙරට බලධාරීන් වෙත භාර දීමට නියමිත බවයි ඉන්දීය නාවික හමුදාව ප්‍රකාශ කළේ.

අධික වැස්සෙන් වැව් අමුණු 130කට හානි සිදුවෙයි

අධික වර්ෂාවත් සමග ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් වැව් අමුණු 130කට අධික සංඛ්‍යාවකට හානි සිදුව ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් රෝහණ රාජපක්ෂ පවසනවා.

ඒ අනුව වැව් අමුණු වැඩිම සංඛ්‍යාවක් හානි වී ඇත්තේ වව්නියාව දිස්ත්‍රික්කයේ බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අම්පාර ට්‍රැක්ටර් අනතුර සම්බන්ධයෙන් විදුහල්පති ඇතුළු 4 ක් අත්අඩංගුවට

අම්පාර කාර්තිව් මාවඩිපල්ලි පාලම අසළදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනවලට අදාළව නින්දවූර් මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා, ගුරුවරයෙක් සහ ට්‍රැක්ටර් රථයේ සහායකයින් ලෙස කටයුතු කර තිබූ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සමන්තුරෙයි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය සඳහන් කළේ.

ඉකුත් 26 වනදා පාසල් නිමවී අදාළ සිසුන්ට නිවෙස් බලායෑමට බස් රථයක් නොමැති හෙයින් එම ට්‍රැක්ටර් රථයෙන් යන ලෙසට උපදෙස් ලබාදී මුදල් ද ලබාදී ඇත්තේ විදුහල්පතිවරයා බවට අනාවරණයවී තිබෙනවා.

එවන් පසුබිමක සිසුන් 11 දෙනෙකු සමග ට්‍රැක්ටර් රථය සැඩ පහරට හසුවී පෙරළීගොස් තිබූ අතර ඉන් ඒ මොහොතේ සිසුන් 5 දෙනෙකු දිවි බේරාගත් අතර තවත් සිසුන් 6 දෙනෙකු දියේ ගිලී අතුරුදන් වුණා.

මේ වනවිට සිසුන් 5 දෙනෙකුගේ සිරුරු හමුවී ඇති අතර තවත් එක් සිසුවෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ට්‍රැක්ටර් අනතුරෙන් ළමුන් දෙදෙනෙක් තවදුරටත් අතුරුදන්, රිය සහායක අත්අඩංගුවට

අම්පාර කාර්තිව් ප්‍රදේශයේ දී ට්‍රැක්ටර් රථයක් පෙරළි යාමෙන් අතුරුදන් වු පාසල් සිසුන් සිව්දෙනෙකු, ට්‍රැක්ටර් රථයේ රියදුරු සහ තවත් පුද්ගලයෙකුගේ මළ සිරුරු මේ වන විට සොයාගෙන තිබෙනවා.

සිසුන් දෙදෙනෙකු තවදුරටත් අතුරුදන්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර මෙම ට්‍රැක්ටර් රථ අනතුරින් දියේ ගිලී අතුරුදන් වූ බවට වාර්තා වු ට්‍රැක්ටර් රථයේ රිය සහායක කාර්තිව් පොලිස් ස්ථානයට පැමිණ භාරවී තිබෙනවා.

ඔහු ගංවතුර තත්ත්වය අතරතුර, ආරක්ෂක අංශ උපදෙස් නොතකමින්, මුදල් ලබාගෙන, අනතුරුදායක ලෙස ට්‍රැක්ටර් රථයෙන් පුද්ගලයින් ප්‍රවාහනය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.