ගණේමුල්ල සංජීව ඝාතනයට සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුව

ගණේමුල්ල සංජීවට වෙඩි තැබිමේ සිද්ධියට සම්බන්ධව මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරියෙකු කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීගමුව මූලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව, අපරාධ අංශයේ උසාවි රාජකාරි කරනු ලබන මෙම සැකකරු වයස අවුරුදු 25ක් වන පාදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

ඔහු ගණේමුල්ල සංජීවට වෙඩි තැබිමේ සිද්ධියට අදාළව දැනට සැඟව සිටින සැකකාරියක් වන පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ යන අය සමග දුරකථනය ඔස්සේ සංවාදයක යෙදී ඇති බවට විමර්ශන නිලධාරීන් කරුණු අනාවරණය කරගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ත්‍රස්තවාදය මැඩ පැවැත්වීම සඳහා පුළුල් නීතියක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය

ත්‍රස්තවාදය මැඩ පැවැත්වීම සඳහා පුළුල් නීතියක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ජාතික ආරක්ෂාව සහ මහජන සාමය සම්බන්ධයෙන් එවකට පැවති තජනයන්ට මුහුණ දීම සඳහා 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත පනවා තිබු බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

පසුකාලීනව 2022 අංක 12 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත වශයෙන් එම නීතියට සංශෝධන හඳුන්වා දෙමින් ජාතික ආරක්ෂාව පිළිබඳ පුළුල් නීතියක් ප්‍රකාශ කිරීම සඳහා වන අන්තර්කාලීන පියවරක් අනුගමනය කර තිබෙනවා.

ඉන් අනතුරුව, ත්‍රස්තවාදය මැඩපැවැත්වීම පිළිබඳව පනත් කෙටුම්පතක් සකස් කර ඇති අතර, එකී පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් කර තිබූ බවත්, ඒ අනුව එකී පනත් කෙටුම්පත සඳහා තවදුරටත් සිදු කළ යුතු සංශෝධන හඳුනාගෙන එකී සංශෝධන ඇතුළත් කරමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් සංශෝධික පනත් කෙටුම්පතක් සකස් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති අවසන් කෙටුම්පත පිළිබඳව තවදුරටත් කරුණු අධ්‍යයනය කර, එකී පනත් කෙටුම්පත තවදුරටත් වැඩිදියුණු කිරීම පිණිස සුදුසු යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්නගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

67b7084635e6b

පවතින උණුසුම් කාලගුණය සමඟ ජලය ප්‍රවේශමෙන් භාවිතා කරන්න – ජල සම්පාදන මණ්ඩලය

මේ දිනවල දිවයිනේ පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මුලාශ්‍රයන් හි ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

එසේම, උෂ්ණාධික බව නිසා ජනතාවගේ ජල පරිභෝජනය ද ඉතා ඉහළ මට්ටමක පවතින බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

පානීය ජල සැපයුම සීමාසහිත වන බැවින්, එය සැමගේ අත්‍යවශ්‍ය පානීය හා සනීපාරක්ෂක කටයුතුවලට සම සේ බෙදාහැරිය යුතු බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පෙන්වා දෙනවා.

එබැවින් වාහන සේදීම, ගෙවතු වගාව වැනි කටයුතු සඳහා ජලය භාවිතා කිරීම අවම කොට, අවශ්‍ය දෛනික කටයුතුවලට පමණක් ජලය භාවිතා කරන මෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

ඝාතනයකට සම්බන්ධ 15 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු ඇහැළියගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඇහැළියගොඩ පොලිස් වසමේ, මෝරගල හන්දිය ප්‍රදේශයේදී 15 හැවිරිදි සැකකරුවෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

2025 ජනවාරි 17 වන දින ඇහැළියගොඩ පොලිස් වසමේ හොරගොඩ මාර්ගයේදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර, තවත් පුද්ගලයින් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුකර තිබුණු සිද්ධියක් සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

නීතිවිරෝධී දුම්වැටි තොගයක් මෙරට​ට ගෙනා සැකකරුවන් 04 ක් අත්අඩංගුවට

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගීන් සිව් දෙනෙකු ඊයේ (17) දින ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි පනස් එක් ලක්ෂ පනස් දහසක් බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන් ඇත්තේ 23, 35, 48 හා 51 හැවිරිදි විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

ඔවුන් සිය ගමන් මලු තුළ සඟවා විදේශීය නිෂ්පාදිත දුම්වැටි 101,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 505 ක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

විශ්‍රාම වැටුප අදියර 03 කින් වැඩි කිරීමට යෝජනාවක්

විශ්‍රාම වැටුප මේ වනවිටත් රුපියල් 3,000 කින් වැඩි කර ඇති බව අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

කෙසේ නමුත් 2017.12.31 දක්වා විශ්‍රාම ගිය සියලුම විශ්‍රාමිකයන් එකම වැටුප් පරිමාණයක සිටින බැවින් 2016 – 2020 දක්වා විශ්‍රාම ගිය රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප පමණක් සංශෝධනය කිරීම තුළින් වැටුප් විෂමතා ඇති වන බව නිරීක්ෂණය කර ඇති බවයි අද (17) අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

ඒ අනුව 2020.01.01 දිනට පෙර විශ්‍රාම ගිය සියලුම විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප රාජ්‍ය පරිපාලන චක්‍රලේඛනයේ 3/2016 අනුව 2020 වසරට අදාළ වැටුප් පරිමාණයන්ට අනුරූපව අදියර තුනකින් සංශෝධනය කිරීමට මෙවර අයවැය මඟින් යෝජනා කර තිබෙනවා.

ඒ අනුව 2020 ජනවාරි 01 වැනිදාට පෙර විශ්‍රාම ගිය සියලු විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප අදියර 03 කින් වැඩි කරන බවයි අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

2025 අයවැය පරතරය රුපියල් බිලියන 2,200 ක් ලෙස වාර්තා වෙයි

2025 සඳහා අයවැය යෝජනාවලිය අද (17) අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා.

2025 සඳහා ආදායම් ලෙස රුපියල් බිලියන 4,990 ක් ලැබෙනු ඇති බවට රජය අපේක්ෂා කරන බවයි එහි දක්වා තිබෙන්නේ.

එසේම වියදම් ලෙස රුපියල් බිලියන 7,190 ක් රජය ඇස්තමේන්තු කර තිබෙනවා.

ඒ අනුව අයවැය පරතරය රුපියල් බිලියන 2,200 බවයි අයවැය වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ ලේඛණය පහතින්.

රාජ්‍ය සේවයේ අව​ම මූලි​ක වැටුප රුපියල් 15,750 කින් වැඩි කෙරේ – ජනපති

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2025 අයවැය ප්‍රකාශය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා.

එහි සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* රැකියා විරහිත උපාධිධාරීන් 30,000 ක් බඳවා ගැනීමට කටයුතු කරනවා. ඒ සඳහා 2025 වසර සඳහා රුපියල් මිලියන 10,000 ක් වෙන් කරනවා.

* දේශපාලන හිතවත්කම් මත කිසිවකුත් රාජ්‍ය සේවයට බඳවා ගන්නේ නැහැ.

* රාජ්‍ය සේවයේ අවම වැටුප රුපියල් 40,000 දක්වා රුපියල් 15,750 ක් වැඩි කිරීමට යෝජනා කරනවා.

* දැනට පවතින තාවකාලික අතුරු දීමනාව සහ විශේෂ දීමනාව මූලික වැටුපට ඒකාබද්ධ කරන අතර රු 8,250 ක ශුද්ධ වැඩිවීමක් මූලික අවම වැටුපට අදාළව සිදුකිරීමට යෝජනා කරනවා.

* මෙම වැටුප් වැඩිවීම අදියර කිහිපයක් යටතේ සිදුකිරීමට නියමිත බවත් ඒ අනුව මුල් ශුද්ධ වැටුප රු 5,000 ක් සහ ඉතිරි මුදල 30% ක් 2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කරන අතර, ඉතිරි 70% 2026 සහ 2027 වසරේ ජනවාරි මාසයේ දී සමාන කොටස්වලින් ලබාදීමට කටයුතු කරනවා.

* මෙම වැටුප් වැඩිවීමේ කොටසක් ලෙස යෝජිත 2025 වැටුප් ක්‍රමය යටතේ විශ්‍රාම ප්‍රතිලාභ ලබන බව සහතික කරමින් 2025 ජනවාරි 01 හෝ ඉන් පසුව විශ්‍රාම යන නිලධාරීන්ගේ විශ්‍රාම ප්‍රතිලාභ නව වැටුප් ව්‍යුහය මත ගණනය කරනවා.

* මේ වසරේ වැටුප් වැඩිවීම සඳහා රුපියල් බිලියන 110 ක් වෙන් කිරීමට කටයුතු කරනවා.

* රු 15,750 කින් අවම වැටුප වැඩිකිරීමට අමතරව, වාර්ෂික වැටුප් වර්ධකයේ වටිනාකම 80% කින් වැඩිකරන බවත් 250 ක අවම වාර්ෂික වැටුප් වර්ධකය රු. 450 දක්වා ඉහළ යනු ඇති බවත් රු. 500 ක වැටුප් වර්ධකය රු 900 දක්වා වැඩි කරනවා.

* පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවීම අප්‍රේල් සිට විසි හත්දාහක් දක්වාත් ලබන ජනවාරියේ සිට 30,000 දක්වාත් වැඩි කිරීමට සේවා යෝජකයන් එකඟ වී තිබෙනවා.

මේජර් තනතුරින් පහළ සියලු යුධ හමුදා සෙබළුන්ගේ පාස්පෝට් රෙජිමේන්තුවට භාරදෙන ලෙස නියෝගයක්

ශ්‍රී ලංකා යුධ හමුදාවේ මේජර් තනතුරට පහළින් සිටින සියලුම සාමාජිකයින්ගේ විදේශ ගමන් බලපත්‍ර අදාළ රෙජිමේන්තු වෙත භාරදෙන ලෙසට නියෝග කර තිබෙනවා.

පරිපාලන කටයුත්තකට අදාලව මෙම පියවර ගෙන ඇති බවයි යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේ සඳහන් ක⁣ළේ.

ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය මත ඕනෑම වෙලාවක නැවත එම විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට සෙබළුන්ට හැකියාව පවතින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල රඳවා ගෙන සිටි 13 ක් බේරාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 13 ක් බේරාගෙන තිබෙනවා.

මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු සහ තරුණියන් දෙදෙනෙක් බවයි සඳහන් වෙන්නේ.

මුදා ගත් පිරිස තායිලන්ත දේශ සීමාවේ සිට බැංකොක් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත රැගෙන ඒමට නියමිත අතර එහිදී ඔවුන් ඉදිරි දිනයකදී ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

මේ අතර තවත් සිව්දෙනෙක් මියන්මාරයේ වෙන් වෙන් වශයෙන් වූ සයිබර් අපරාධ කඳවුරුවල සිටින බවත් ඔවුන්ද හැකි ඉක්මනින් බේරාගැනීමට කටයුතු කරන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.