හෙටත් ප්‍රදේශ කිහිපයක උණුසුම් කාලගුණ තත්ත්වයක්

හෙට (25) දිස්ත්‍රික්ක කිහිපයක පවතින අධික උණුසුම් කාලගුණය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව වයඹ, බස්නාහිර, සබරගමුව පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම මෙලෙස අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ හේතුවෙන් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත්, වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් මේ සම්බන්ධව විශේෂ අවධානය යොමු කළ යුතු බවත් සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

රට තුළ ජාතික ආරක්ෂාවට කිසිඳු තර්ජනයක් නැහැ – ජනපති

රට තුළ ජාතික ආරක්ෂාවට කිසිඳු තර්ජනයක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ අනුව පාතාල කණ්ඩායම් එකිනෙකා අතර ගැටුම් ක්‍රියාත්මක වන බවත් පොදු මහජනතාවගේ ආරක්ෂාවට එය තර්ජනයක් බවට පත්ව නොමැති බවයි අද (23) මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදාගැනීමට පැමිණි අවස්ථාවේදී ජනාධිපතිවරයා සඳහන් කළේ.

මෙම පාතාල කණ්ඩායම් දීර්ඝ කාලයත් තිස්සේ වර්ධනය වී ඔවුන්ගේ සම්බන්ධතාවයන් විවිධ ආයතන දක්වාම පැතිරගොස් ඇති බවත් එය විනාශකාරී ජාලයක් දක්වා වර්ධනය වී ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

එය මැඩ පැවැත්වීම සඳහා දැඩි උත්සාහයක් දරණ බවත් දේශපාලන රැකවරණයක් නොමැති නිසා මෙය මැඩපැවැත්විය හැකි බවට දැඩි විශ්වාසයක් තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

එසේම මෙය හුදෙක් පාතාල කල්ලි අතර ගැටුමක්ද නැතහොත් කවර හෝ හස්තයක් විසින් මේ සියල්ල ඒකාබද්ධ කොට මෙහෙයවනවාද යන සැකය ගොඩනැගෙමින් ඇති බවත් ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

බස් රථයක ගමන්මලු රඳවනය තුළ තිබී ජීව උණ්​ඩ තොගයක් හමුවෙයි

බස් රථයක ගමන්මලු රඳවනය තුළ තිබූ බෑගයක තිබී ජීව උණ්ඩ 123 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම ජීව උණ්ඩ තොගය බස් රථයේ ගමන්මලු රඳවනය තුළ තිබූ බෑගයක් තුළ කුඩා යකඩ පෙට්ටියක දමා තිබියදී සොයාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

ඊයේ (22) දහවල් කාලයේ බණ්ඩාරවෙල පොලිස් වසමේ බණ්ඩාරවෙල නගරයේ බස් නැවතුම්පොළ අසලදී කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් පරික්ෂා කිරීමේදී මෙය සොයාගෙන තිබෙනවා.

මෙම සැකකරුවෙකු නොමැති ජීව උණ්ඩ 123 අතර පිස්තෝල උණ්ඩ 113 ක්, ටී56 උණ්ඩ 09ක් හා ටී 56 එල්එම්ජී උණ්ඩයක් තිබී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ගණේමුල්ල සංජීව ඝාතනයට සැකපි​ට තවත් තිදෙනෙක් අත්අඩංගුවට

ගණේමුල්ල සංජීව ඝාතනයට අදාළව තවත් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (22) දින අත්අඩංගුවට ගත් තිදෙනා ගම්පහ සහ උඩුගම්පොල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.

ඒ අනුව මෙම ඝාතනය සඳහා යොදා ගත් ගිනිඅවිය සන්තකයේ තබාගෙන අපරාධයට පෙර දින වෙඩික්කරු වෙත ලැබීමට සැලැස්වීම සම්බන්ධයෙන් ගම්පහ මල්වත්ත පාර, අස්ගිරිය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එසේම අපරාධයෙන් පසු වෙඩික්කරු සහ සෙසු සැකකාරිය ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කර අපරාධයකට ආධාර අනුබල දීම යටතේ 25 හැවිරිදි තරුණයෙකු සහ උඩුගම්පොල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි අයෙකුද පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

කොටහේන ඝාතනයේ වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් වෙඩි පහරින් මරුට

කොටහේන වෙඩිතැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්වී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ (21) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා විමර්ශන අතරතුර දී පොලිසියට වෙඩිතැබීමට තැත් කිරීමේදී පොලිසිය ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එහිදී සැකකරුවන් දෙදෙනාම මියගොස් ඇති අතර තුවාල ලැබූ නිලධාරියෙකු ද රෝහල්ගත කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවයි

කැලණිවැලි මාර්ගයේ ධාවනය කිරීමට නියමිතව තිබුණු දුම්රිය කිහිපයක් අද (22) තාවකාලිව අත්හිටුවීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

පැඟිරිවත්ත දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුවී තිබෙන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඒ අනුව, පහත සඳහන් දුම්රිය ධාවනය කිරීම තාවකාලිකව නතර කිරීමට නියමිතයි.

* අංක 9254 | පෙ.ව. 08:30 කොළඹ කොටුව – අවිස්සාවේල්ල (මන්දගාමී)* අංක 9260 | ප.ව. 01:55 කොළඹ කොටුව – පාදුක්ක (මන්දගාමී)* අංක 9261 | ප.ව. 04:00 කොළඹ කොටුව – අවිස්සාවේල්ල (අර්ධ සීඝ්‍රගාමී)* අංක 9657 | ප.ව. 12:25 අවිස්සවේල්ල – කොළඹ කොටුව (මන්දගාමී)* අංක 9661 | ප.ව. 03:45 පාදුක්ක – කොළඹ කොටුව (අර්ධ සීඝ්‍රගාමී)

ජාතික උද්ධමනය සෘ​ණ 4.0% දක්වා පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 ජනවාරි මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය සෘණ 4.0% ක් දක්වා තවදුරටත් පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව 2025 ජනවාරි මාසයේ දී ආහාර උද්ධමනය සෘණ 1.0% සිට සෘණ 2.5% දක්වා පහළ ගොස් තිබෙන බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

ආහාර නොවන උද්ධමනය 2024 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සෘණ 2.9% සිට සෘණ 5.2% ක් දක්වා කැපී පෙනෙන ලෙස පහළ ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

67b85153aee48pdf_page_4

හෙට උණුසුම් කාලගුණ තත්ත්වය ගැන දැනුම්දීමක්

හෙට (22) දිස්ත්‍රික්ක කිහිපයක මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව යන පළාත්වල සහ ගාල්ල, මාතර සහ මොනරාගල යන දිස්ත්‍රික්ක සඳහා උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමකට පැමිණ ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත්, වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් මෙම තත්ත්වය සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන ලෙසත්, කුඩා දරුවන් වාහන තුළ තනිකර දමා යෑමෙන් වළකින ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

OnmaxDT මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මාර්තු 07 දක්වා රිමාන්ඩ්

OnmaxDT පිරමිඩ් මූල්‍ය ආයෝජන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගනු ලැබූ පරිගණක ඉංජිනේරුවකු බව කියන සැකකරු මාර්තු මස 07 වන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලද අදාළ සැකකරු අද (21) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි හමුවට ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එහිදී කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්, ඔහු ලබන මාර්තු මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබෙනවා.

උෂ්ණාධික කාලගුණ තත්ත්වය හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් පාසල් සඳහා දැනුම්දීමක්

පවතින අධික උෂ්ණ තත්ත්වය සැලකිල්ලට ගනිමින්, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත නිර්දේශ ඇතුලත් ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ අනුව පාසල් ක්‍රියාකාරකම්වල දී ක්‍රියාකළ යුතු ආකාරය දැනුම්වත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කළ නිර්දේශ පදනම් කරගනිමින් මෙම නිර්දේශ යොමුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

එහිදී, අධික උෂ්ණත්වය සහිත දිනවල සිසුන් එළිමහනේ, ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම්වල යෙදීමෙන් වැලැක්විය යුතු බවත්, පාසල් විවේක කාලයේ දී දැඩි හිරු එළිය සහිත එළිමහනේ ගත කිරීම හා ක්‍රීඩා කිරීමෙන් වලක්වා ගත යුතු බවයි සඳහන් වෙන්නේ.

වැඩිපුර ජලය පානය කිරීමත්, වෙහෙස නිවා ගැනීම සඳහා කෙටි විවේක කාල දෙකක් ලබා දීමත් වඩාත් සුදුසු වන අතර, දහවල් අධික උෂ්ණත්වය සහිත කාලයේ දී අත්‍යවශ්‍ය නොවන අවස්ථාවල දී සිසුන් පිටතට ගෙනයාමෙන් වලක්වා ගැනීම සුදුසු බවද එහි සඳහන්.

එසේම ප්‍රාදේශීය මට්ටමින් පවතින උෂ්ණත්වය / කාළගුණ තත්ත්වයන් සලකා බලා නිවාසාන්තර ක්‍රීඩා තරඟ හා පුහුණුවීම් කටයුතු සැලසුම් කිරීම වඩාත් සුදුසු බවයි එම නිර්දේශවල දක්වා තිබෙන්නේ.

අදාළ නිර්දේශ පහතින්.

67b712e156a2b 67b712e137396