2024 අවසන් කාර්තුවේ විදුලිබල මණ්ඩලයේ ලාභය 99%කින් පහතට

පසුගිය 2024 දෙසැම්බර් 31 දිනට අවසන් වන කාර්තුව තුළදී ලංකා විදුලිබල මණ්ඩලයේ ශුද්ධ ලාභය 99% කින් පහළ ගොස් තිබෙන බවට වාර්තා වෙනවා.

ඒ අනුව, 2024 දෙසැම්බර් 31 දිනට අවසන් වන කාර්තුවේ දී ලංකා විදුලිබල මණ්ඩලයේ ආදායම රු. බිලියන 111.80 ක් ලෙසින් වාර්තා වී ඇති අතර, එය 2023 සමාලෝචිත කාර්තුවේ ආදායම් අගය වූ රු. බිලියන 156.25ට වඩා 28% ක පහළ යාමක් ලෙසයි සටහන් වී ඇත්තේ.

එසේම 2023 දෙසැම්බර් කාර්තුවේදී රු. බිලියන 78.22 ක් ලෙසින් සටහන් වී තිබුණු මණ්ඩලයේ දළ ලාභය පසුගිය කාර්තුව තුළදී රු. බිලියන 4.49ක දළ අලාභයක් දක්වා 106% කින් පහළ ගොස් තිබෙන අතර, මණ්ඩලයට රු. බිලියන 3.04 ක මෙහෙයුම් අලාභයක් විඳ දරා ගැනීමට පසුගිය 2024 අවසන් කාර්තුවේදී සිදුව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

2024 දෙසැම්බර් කාර්තුව තුළදී වාර්තා කර ඇති ශුද්ධ ලාභය රු. මිලියන 603ක් වශයෙන් වාර්තා වී ඇති අතර, මෙය 2023 අවසන් කාර්තුවේ ශුද්ධ ලාභ අගය වූ රු. බිලියන 77.97ට වඩා 99% ක පහළ යාමක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මණ්ඩලයේ ආදායම පහළ යාම සහ විකුණුම් පිරිවැය ඉහළ යෑම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම මූල්‍ය වාර්තාව මඟින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙන්නේ.

news images

විශේෂ දළදා ප්‍රදර්ශනය පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වෙයි

විශේෂ දළදා ප්‍රදර්ශනය පිළිබඳව මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අභයකෝන්ගේ ප්‍රධානත්වයෙන් අද (06) සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ අනුව විශේෂ දළදා ප්‍රදර්ශනය දැකබලා ගැනීමට අවම වශයෙන් ලක්ෂ 20ක පමණ බැතිමතුන් පිරිසක් මහනුවරට පැමිණෙනු ඇති බවට අපේක්ෂා කරන බවද, හැකි තරම් විශාල පිරිසකට දළදා වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව ලබාදිය යුතුව තිබෙන බවද මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අභයකෝන් සඳහන් කර තිබෙනවා.

දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන කාලසීමාවේ දී මහනුවර නගරයේ පාසල් වසා තැබෙන බවත්, ඒ වෙනුවට වෙනත් දිනවලදී පාසල් පැවැත්වීමට කටයුතු කරන බවත් සඳහන්.

දළදා ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ජනතාවට පහසුකම් සැලසීම, නගරය ආලෝක කිරීම, යටිතල පහසුකම් සපුරාලීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

මෙම සාකච්ඡාව සඳහා අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික මුරුද්දෙණියේ ධම්මරතන, මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභික මහවෙල රතනපාල යන නාහිමිවරු ද මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ ඇතුළු පිරිසක් සහභාගී වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

කජ්ජා ඝාතනය රුපියල් ලක්ෂ 05ක කොන්ත්‍රාත්තුවක් මත සිදුකර ඇති බවට අනාවරණය වෙයි

අරුණ විදානගමගේ හෙවත් ‘කජ්ජා’ ඝාතනය රුපියල් ලක්ෂ 05ක කොන්ත්‍රාත්තුවක් මත සිදුකර ඇති බව මේ වන විට සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව පොලීසිය පවසනවා.

එම ඝාතනයේ වෙඩික්කරු පසුගියදා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔහු ගැන සිදුකළ පරීක්ෂණවලදී මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී තිබෙනවා.

පොරොන්දු වූ ලක්ෂ 05 ක මුදලෙන් රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් පමණක් සැකකරුගේ බිරිඳගේ බැංකු ගිණුමට බැර කර ඇති අතර, පසුව ඉතිරි මුදල ලබාදීම සිදුකර නොමැති බව ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇතැයි පොලීසිය සඳහන් කළා.

‘මීගස්ආරේ කජ්ජා’ පසුගිය පෙබරවාරි මස 18 වැනි දා මිද්දෙනියේදී වෙඩි තබා ඝාතනය කළ අතර, සිද්ධියෙන් ඔහු සමඟ ගමන්ගත් දරු දෙදෙනා ද මියගොස් තිබුණා.

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීලි පැනීමක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීලි පැනීමක් සිදුව තිබෙනවා.

කොල්ලුපිටිය හා කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථාන අතර මෙම පීලි පැනීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර ප්‍රධාන මාර්ගයේ හා පුත්තලම මාර්ගයේත් කාර්යාල දුම්රිය ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට

පසුගියදා මිද්දෙණිය ප්‍රදේශයේ සිදු වූ ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු මිද්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අපරාධය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට පත්ව සිටින බවයි සඳහන් වන්නේ.

මෙම වෙඩි තැබීමෙන් වීරකැටිය, මීගස්ආර ප්‍රදේශයේ පදිංචිව සිටි අරුණ විදානගමගේ නොහොත් ‘කජ්ජා’ යන අන්වර්ථ නමින් හඳුන්වනු ලැබූ පුද්ගලයා ද, ඔහුගේ දියණිය සහ පුත්‍රයා ද යන තිදෙනාම ජීවිතක්ෂයට පත්වුණා.

උතුරු දුම්රිය මාර්ගයේ පාලමක අළුත්වැඩියාවක් හේතුවෙන් 09 වැනිදා දුම්රිය ගමන් වාර දෙකක් අවලංගු කෙරේ

උතුරු දුම්රිය මාර්ගයේ වැල්ලව සහ ගනේවත්ත අතර දුම්රිය මාර්ගයේ පාලමක අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්, මාර්තු 09 දින දුම්රිය ගමන් වාර දෙකක් අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව කුරුණෑගලින් පෙරවරු 8.20 ට පිටත්ව මහව හන්දිය දක්වා ධාවනය වීමට නියමිත අංක 4449 දුම්රිය සහ මහව හන්දියෙන් පෙරවරු 10.50 ට පිටත්ව කුරුණෑගල දක්වා ධාවනය වීමට නියමිත අංක 4853 දරන දුම්රිය ගමන් වාර දෙක මෙලෙස අවලංගු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

67c7ea91cbb00pdf_page_0

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියේ වන්දි අය කර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව අධිකරණයට දැනුම්දෙයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් සිදු වූ හානිය වෙනුවෙන් වන්දි අය කර ගැනීම සඳහා රජය අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව නීතිපතිවරයා අද (04) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද යළි විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ විසින් මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය සිදුකර තිබෙනවා.

නීතිමය මූලධර්මයන්ට අනුව වන්දි අය කර ගත යුත්තේ ඊට වගකිව යුතු නෞකා කාර්ය මණ්ඩලයෙන් හා එය අයත් සමාගමෙන් යැයි පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා, එම වන්දි අය කර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් කර තිබුණේ.

අදාළ නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය හේතුවෙන් පරිසරයට මෙන්ම ධීවර ප්‍රජාවට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කරදෙන නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ.

ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙකුට එරෙහි සතොස නඩුව යළි කල් තබයි

හිටපු වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් මාර්තු මස 24 වනදා දක්වා කල් තැබීමට අද (04) කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව නඩුව අද (04) කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ලේ සාක්ෂි සටහන් කරගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

2010 වසරේ වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර, දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩු කළේ යැයි චෝදනා කොට, අල්ලස් කොමිසම විසින් අල්ලස් පනත යටතේ හිටපු වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.

නුගේගොඩ සිට නිරුවතින් යතුරු පැදි​යෙන් ගිය තරුණයෙක් කඩුගන්නාවේදී අත්අඩංගුවට

නිරුවතින් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු, කඩුගන්නාව ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නුගේගොඩ සිට සිය යතුරු පැදියෙන් නිරුවතින් ගමන් ආරම්භ කළ බවයි ප්‍රශ්න කිරීමේදී ඔහු පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.

ඔහු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර, ඔහුව මනෝ වෛද්‍යවරයෙක් වෙත ඉදිරිපත් කිරීමටත් නියෝග කර තිබෙනවා.

වන අලි දුම්රිය හා ගැටීම අවම කිරීමට වැඩපිළිවෙළක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

වන අලි දුම්රිය හා ගැටී අනතුරට ලක්වීමේ සිද්ධීන් ගැන නිසි ක්‍රියාමාර්ග නොගැනීම තුළින් රජයේ බලධාරින්, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පරිසරවේදීන් පිරිසක් විසින් එම පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා, දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා, ප්‍රවාහන අමාත්‍යවරයා, වනජීවී අමාත්‍යවරයා, පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

මේ වනවිට සිදු වී තිබෙන දුම්රිය හා අලි ඇතුන් ගැටීමේ අනතුරු සිද්ධීන් පිළිබඳ වෝහාරික පරීක්‍ෂණයක් සිදු කරන ලෙසද, අනතුරු බහුල ප්‍රදේශවල අනතුරු වැළැක්වීම සඳහා දුම්රිය රියදුරන් වෙත වේග සීමාවන් හඳුන්වාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසට වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසද ඔවුන් සිය පෙත්සම මඟින් ඉල්ලා තිබෙනවා.

අලි ඇතුන් අනතුරට ලක්වීමේ සිද්ධීන් අවම කිරීම සඳහා වනජීවී හා වෘක්ෂලතා ආඥා පනත යටතේ රෙගුලාසි මාලාවක් නිකුත් කරන ලෙස පරිසර හා වනජීවි අමාත්‍යවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සම්කරුවන් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.