අනුරාධපුර රෝහ​ලේ වෛද්‍යවරිය දූෂණය ක​ළ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 5 ක් යොදවයි

අනුරාධපුරය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධියේ සැකකරු අත්තඅඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 5 ක් යොදවා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

ඒ අනුව අදාළ සැකකරු මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඔහු හමුදාවෙන් පළාගිය පුද්ගලයෙක් බවයි අද (11) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් කඩිනමින් නීතිය ක්‍රියාත්මක කිරිමට මැදිහත් වන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

වෛද්‍යවරියක් දූෂණය කළ සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා අනුරාධපුර රෝහලේ වෛද්‍යවරු වැඩ වර්ජනය​ක

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් විසින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

නාඳුනන පුද්ගලයෙකු විසින් අනුරාධපුරය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධියකට විරෝධය පළකරමින් ඔවුන් මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව අදාළ සැකකරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි වෛද්‍යවරුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

32 හැවිරිදි අදාළ වෛද්‍යවරිය ඊයේ (10) තමන්ගේ රාජකාරී කටයුතු නිමවී වෛද්‍යවරුන් සඳහා රජයෙන් ලබාදී තිබෙන තම නේවාසිකාගාරයට ගොස් ඇති අතර පසුව කිසියම් නාඳුනන පුද්ගලයෙකු පැමිණ පිහියක් පෙන්වා ඇයව බිය ගන්වා දූෂණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

බාල වයස්කාර දැරියක් ජෝර්දානයේ මෙහෙකාර සේවයට යැවූ පුද්ගලයෙකුට වසර 12ක සිර දඬුවමක්

මිත්තණිය භාරයේ ජීවත් වූ බාල වයස්කාර දැරියකට ව්‍යාජ උප්පැන්න සහතික සහ ව්‍යාජ ජාතික හැඳුනුම්පත් සකස් කොට ජෝර්දානයේ නිවසක මෙහෙකාර සේවය සඳහා යැවීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට බරපතල වැඩ සහිතව වසර 12ක සිර දඬුවම් හා රුපියල් 25,000ක දඩයක් ගෙවන ලෙසට කොළඹ මහාධිකරණය අද නියම කර තිබෙනවා.

ඒ අනුව අගතියට පත් තරුණියට රුපියල් ලක්ෂ තුනක වන්දියක් ගෙවන ලෙසට ද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් විත්තිකරුට නියෝග කළා.

එසේම, එම දඩ මුදල නොගෙවන්නේ නම්, අමතරව වසර එකහමාරක ලිහිල් සිර දඬුවම් නියම කරන බවට නියෝග කර ඇති බවද සඳහන්.

කල්මුණේ ප්‍රදේශයේ පදිංචි, අබ්දුල් කාදර් සරීබ් නමැති 59 හැවිරිදි තිදරු පියෙකුට මෙලෙස දඬුවම් නියම වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙනනේ.

සතුන් දඩයම් කළ පුද්ගලයන් 06 ක් අත්අඩංගුවට

සතුන් දඩයම් කළ පුද්ගලයන් හයදෙනෙකු ගිනි අවි, පතරොම් සහ තවත් උපකරණ සමඟ පේරාදෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් ඊයේ (09) අළුයම සතුන් දඩයම් කිරීම සඳහා යහලතැන්න ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන, ඒ සම්බන්ධව පොලීසියට දැනුම් දී ඇති බවයි සඳහන් වෙන්නේ.

එම සැකකරුවන් හයදෙනා සමග ඔවුන් සන්තකයේ තිබූ බෝර 12 පතරොම් 03ක්, එම හිස් කොපු 03ක්, පොරවක්, අත් පොරවක්, ඩ්‍රැගන් ලයිට් 02ක් හා පිහියක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28-71 අතර වයස්වල පසුවන, මාවතගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය හා මාවතගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

දේශබන්දු තෙන්නකෝන් තවදුරටත් සැඟව සිටිනවා නම් ඔහුගේ දේපළ පවරාගන්නවා – සුනිල් වටගල

මේ වන විට අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටින හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් තවදුරටත් උසාවිය මඟහරින්නේ නම් ඔහුගේ දේපළ පවරා ගැනීමට කටයුතු කරෙන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල පවසනවා.

ඒ අනුව ඔහු තවදුරටත් සැඟව සිටින්නේ නම් ඔහුට එරෙහිව ගැනීමට නීතියේ ප්‍රතිපාදන තිබෙන බවයි අද (09) මෝදර පැවති උත්සවයකදී නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඔහු නීත්‍යානූකූල කටයුත්තක් සිදු කර ඇත්නම් සැඟව සිටීමට කිසිඳු හේතුවක් නොමැති බවයි මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

නීතිවිරෝධී මත්පැන් භාවිතය අවම කිරීමට අඩුමිලට නව මත්පැන් බෝතලයක් හඳුන්වාදීමට පියවර

නීතිවිරෝධී මත්පැන් භාවිතය අවම කිරීමේ අරමුණින් අඩුමිලට නව මත්පැන් වර්ගයක් හඳුන්වාදීමට සැළසුම් කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

මත්පැන් මිල ඉහළ යාම හේතුවෙන් බොහෝ පිරිසක් නීතිවිරෝධී මත්පැන් භාවිතය සඳහා යොමුවී ඇති බව පසුගියදා රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී සුරාබසු කොමසාරිස් ජනරාල් උදය කුමාර සඳහන් කළා.

එමගින් රජයට හිමිවන බදු ආදායම අහිමි වී ඇති අතර එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා අඩු මිලට මත්පැන් බෝතලයක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

යාපනය – තමිල්නාඩු අතර ගුවන් ගමන් මාර්තු 30 සිට ආරම්භ කෙරේ

යාපනය හා තමිල්නාඩුවේ ට්‍රිචි ගුවන්තොටුපොළ අතර දෛනික සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට ඉන්දියාවේ ඉන්ඩිගෝ ගුවන් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව මාර්තු මස 30 වන දින සිට එම කටයුතු ආරම්භ කරන බවයි ඉන්ඩිගෝ ගුවන් සේවය සඳහන් කරන්නේ.

යාපනය සහ ට්‍රිචි ගුවන්තොටුපොළ අතර ගුවන් ගමන් සඳහා පවතින ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බව ඉන්ඩිගෝ ගුවන් සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

වැලිගම පොලීසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කෙරේ

වැලිගම පොලීසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

2023 වසරේ සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.

රට නව පුනරුදයක් කරා ගෙන යන ගමනට එක්වන ලෙස සමස්ත කාන්තා පරපුරට ආරාධනා කරනවා – ජනපති

දැයේ දියණිවරුන්ට සුරක්ෂිත ජීවිතයක් හා ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනැඟීම උදෙසා, අප රට නව පුනරුදයක් කරා ගෙන යන ගමනට එක්වන ලෙස සමස්ත කාන්තා පරපුරට ආරාධනා කරන බව ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් උණුසුම් සුබපැතුම් පිරිනමමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

පසුගිය කාලය පුරා අප රටේ කාන්තා දින සැමරුම් පවත්වමින්, බොහෝ සංවාද හා කතිකා ගොඩනැඟූ බවත්, නමුත් වේදිකාවට පමණක් සීමා වූ එම කතාබහ මහපොළොවේ යථාර්ථයක් ලෙස රෝපණය නොවූ බවයි ඔහු සඳහන් කරන්නේ.

ජාතික ජනබලවේගය ආණ්ඩුව ගොඩ නැඟීමෙහි ලා ශ්‍රී ලාංකික කාන්තාව දුන් දායකත්වය අතිමහත් වන බව ද, ඒ මහා කාර්යයට රජයක් ලෙස කෘතගුණ පෙරළා පිරිනමන බව ද, ගෙවී ගිය කෙටි කාලය තුළ ශ්‍රී ලාංකික කාන්තාවට ජයග්‍රහණ රැසක් අත්කර දීමට අවැසි මුල් පියවර තබා ඇති බවද ජනාධිපතිවරයා සිය කාන්තා දින පණිවුඩය මගින් පෙන්වා දෙනවා.

සාකච්ඡාවට පමණක් බඳුන් වූ කාන්තාවගේ දේශපාලන නියෝජනය, සහභාගිත්වය සහ භූමිකාව ඉහළ නංවමින් පසුගිය මහ මැතිවරණයේදී කාන්තාවන් විසි දෙදෙනකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස තේරී පත්වීම මෙරට දේශපාලනයේ හැරවුමක් බවයි ඔහු පවසන්නේ.

ඒ අනුව “සියලු කාන්තාවන් හා ගැහැනු දරුවන් සඳහා සමානාත්මතාව, අයිතිවාසිකම් සහ සවිබල ගැන්වීම” යන තේමාව යටතේ “තැනුමට තිරසර හෙටක් – සවිමත් ඇය වේ මගක්” යන ‍තේමාවෙන් මෙවර කාන්තා දිනය සංවිධානය කිරීමෙහි ප්‍රායෝගික හා අර්ථ සම්පන්න බව සිහිපත් කළ යුතු බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා සිටින්නේ.

නිල නිවේදනය පහතින්.

news images

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1977 වර්ෂයේදී, මාර්තු 08 වැනි දින ජාත්‍යන්තර කාන්තා දිනය වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර, එතැන්  සිට වර්තමානය දක්වා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලු සාමාජික රටවල් විසින් සෑම වර්ෂයකම මාර්තු 08 වැනි දින ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස සමරනු ලබනවා.

‘සියලුම කාන්තාවන් සහ ගැහැණු දරුවන් සඳහා අයිතිවාසිකම්, සමානත්වය සවිමත් කිරීම’ යන්න මෙවර කාන්තා දිනයේ තේමාව ලෙස දැක්වෙනවා.

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ‘තැනුමට තිරසර හෙටක් – සවිමත් ඇය වේ මගක්’ යන්න ප්‍රධාන තේමාව කරගනිමින් මෙරට කාන්තා දින වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.