අනුරාධපුර වෛද්‍යවරියගේ සිද්ධියේ සැකකරු 17 දක්වා රිමාන්ඩ්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ අනුව සැකකරු අද (14) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම එදිනට සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමටයි අධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබෙන්නේ.

බටලන්ද පිළිබඳව අනිද්දා රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනිද්දා (16) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් මෙම විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) සභානායක බිමල් රත්නායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා.

අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

අම්බලන්ගොඩ – ඉඩම්තොට ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව වෙඩි වැදීමෙන් අදාළ පුද්ගලයා රෝහල ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

බටලන්ද කොමිෂන් සභා වාර්තාව මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදුකර තිබෙනවා.

ඒ අනුව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක විසින් අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට සභාගත කර තිබෙනවා.

වැලිවේරියේ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබයි

වැලිවේරිය අරලිය ගහ හන්දිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අක්මීමන වෙඩි තැබීමකින් හිටපු බන්ධනාගාර අධිකාරීවරයෙක් මරුට

අක්මීමන සිදුකළ වෙඩි තැබීමකින් බූස්ස හිටපු බන්ධනාගාර අධිකාරීවරයෙක් මියගොස් තිබෙනවා.

අක්මීමන, තලගහ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

අපේක්ෂා රෝහලේ විකිරණ යන්ත්‍ර තුනක් බිඳ වැටෙයි

මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සිදුකරන ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර 3ක් අක්‍රීයවී තිබෙනවා.

අපේක්ෂා රෝහලේ එම යන්ත්‍ර 5 ක් පවතින බවත් ඉන් 3 ක් මෙලෙස අක්‍රීයවී ඇති බවයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කළේ.

එම යන්ත්‍ර නඩත්තු කිරීම් සඳහා ගිවිසුම්ගත වීමේදී යන්ත්‍ර ක්‍රියාවිරහිත වී දින 03ක් ඇතුළත යථා තත්වයට පත්කළ යුතු බවට, කොන්දේසියක් පනවන අතර එලෙස සිදුකිරීමට අපොහොසත් වුවහොත්, ගිවිසුම් ගත මුදලින් දිනකට 1% කට අධි භාරයක් අදාළ සමාගමෙන් අය කළ යුතු බවයි සඳහන් වෙන්නේ.

පසුගිය කාලවලදී අදාළ සේවා සමාගම්වලින් එලෙස අධිභාර අයකර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියා කර නොමැති බවයි චානක ධර්මවික්‍රම සඳහන් කළේ.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරය තබා පොලිස් කොස්තාපල් තනතුර දැරීමටවත් සුදුසු නෑ – අතිරේක සොලිසිටර් ජනරාල්

දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ පෙත්සමට අදාළ කරුණු සලකා බැලීම අද (12) අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති, විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සිදුකෙරුණා.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, තම සේවාදායකයා මේ අවස්ථාව වන විටත් පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන බවත්, ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි.

තම සේවාදායකයා අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රතිඥාවක් ලබාදෙන්නේ නම්, ඔහු විමර්ශනවලට සහායවීම සඳහා අධිකරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින බවද නීතීඥවරයා ප්‍රකාශ කර තිබෙනවා.

අනතුරුව වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, පෙත්සම්කරු තවමත් පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරන බව ඔහුගේ නීතිඥවරයා සඳහන් කළ නමුත්, ඔහු පසුගිය පෙබරවාරි 27 වනදා සිට අධිකරණය මග හරිමින් මගහැර සැඟවී සිටින පුද්ගලයෙක් බවත්, ඔහු පොලිස්පති ධූරය තබා පොලිස් කොස්තාපල් තනතුර දැරීමටවත් සුදුසු නොවන පුද්ගලයෙක් බවයි.

එසේම මත්ද්‍රව්‍ය සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් පිළිබඳ වැටලීමක් සිදුකිරීමට ගිය බවට සඳහන් කළ ද, එය සැක සහිත බවත්, W15 හෝටලයේ හිමිකරු වන මොහොමඩ් නිසාම් ජමාල්ඩින් සහ දේශබන්දු තෙන්නකෝන් අතර පැවති පෞද්ගලික ආරවුලක් මත මෙම සිද්ධිය හටගෙන තිබෙන බව පෙනී ගොස් තිබෙන බවයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේ.

අදාළ සිද්ධියෙන් මියගිය පොලිස් කොස්තාපල්වරයාට පොලිස්පතිවරයා ලෙස ඔහු මැදිහත් වී පොලිස් අරමුදලින් රුපියල් ලක්ෂ 15ක් ලබාදී ඇති බවත්, පසුව එවක මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ මැදිහත්වීමෙන් ජනාධිපතිවරයා දැනුවත් කර, තවත් ලක්ෂ 25 ක මුදලක් ලබාදී තිබෙන බව අනාවරණය වී ඇති බවත්, එවක මහජන ආරක්ෂක අමාත්‍යවරයා වන ටිරාන් අලස්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කළ යුතු බවට මහේස්ත්‍රාත්වරයා පෙන්වා දී ඇති බවයි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට කරුණු දක්වමින් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

තැපැල් ඡන්ද අයඳුම් කිරීමේ කාලය මාර්තු 17 දක්වා දීර්ඝ කෙරේ

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද ඉල්ලුම්පත්‍ර භාර ගැනීමේ කාලය මාර්තු 17 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දීර්ඝ කළ බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ අනුව තැපෑලෙන් සිදුවිය හැකි ප්‍රමාදයන් හා කොමිෂන් සභාව වෙත ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙලෙස දීර්ඝ කිරීම සිදු කළ බවයි එම කොමිසම සඳහන් කළේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද ඉල්ලුම්පත්‍ර භාර ගැනීම අද දිනයෙන් අවසන්වීමට නියමිතව තිබුණා.

අදාළ නිවේදනය පහතින්.

news images

විශේෂ අවශ්‍යතා සහිත මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් මාකුඹුරේ අන්තර්කරණ සහාය මධ්‍යස්ථානයක්

විශේෂ අවශ්‍යතා සහිත මගී ජනතාවගේ පහසුව වෙනුවෙන්, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් අන්තර්කරණ සහය මධ්‍යස්ථානයක් විවෘත කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රව්‍යාබාධිත, දෘශ්‍යාබාධිත ආදි විශේෂ අවශ්‍යතා සහිත මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් ඔවුන්ට ද පොදු ප්‍රවාහනය වෙත ප්‍රවේශවීමේ හැකියාව ලබාදීමත්, පොදු ප්‍රවාහනය තුළ කාන්තා ආරක්ෂාව තහවුරු කිරීමත් අරමුණු කර ගනිමින් මෙය ස්ථාපිත කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම විශේෂ ස්ථාපිත කිරීම මගින් හදිසි දැනුම්දීමේ අංකයක්, ශ්‍රව්‍යාබාධිත මගීන්ට සන්නිවේදන පහසුවක් මෙන්ම තොරතුරු දැනගැනීමේ පහසුව වැනි සේවාවන් රැසක් මගී ජනතාවට හිමිවන අතර, මෙම උපකාරක කවුලුවේ (Help Desk) සේවය සඳහා විශේෂ අවශ්‍යතා සහිත සේවක පිරිස්ම යොදවා තිබීම විශේෂත්වයක්.

මෙම අවස්ථාවට සමගාමීව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ වෙබ් අඩවිය එළි දැක්වීම ද සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.