ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියා මාර්ගයක​ට සූදානම් වෙයි

අත්තනෝමතික ලෙස ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ගැසට් කිරීමට විරෝධය පළ කරමින් වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරත වන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

ඒ අනුව එළඹෙන සඳුදා සහ අඟහරුවාදා යන දිනයන් හි සේවා කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇති බවයි සමස්ත ලංකා නිදහස් ග්‍රාම සේවා නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එම්.කේ.ජි. ජගත් චන්ද්‍රලාල් සඳහන් කළේ.

කෙසේ වෙතත්, සිය වෘත්තීය ක්‍රියා මාර්ගය මැතිවරණ කටයුතුවලට බාධාවක් නොවන පරිදි සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

නුවන් බෝපගේ කුඩය ලකුණින් ඉදිරිපත් වෙයි

ජන අරගල සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්‍ෂක නුවන් බෝපගේ “කුඩය” ලකුණින් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව එම සන්ධානය පවසනවා.

කොළඹ මහජන පුස්තකාලයේදී අද (7) පැවැති මාධ්‍ය හමුවකදී එම සන්ධානය විසින් මෙම ලකුණ ප්‍රකාශයට පත් කළා.

ජන අරගල සන්ධානයේ ප්‍රතිපත්තිය වන්නේ අනෙකුත් කණ්ඩායම්වලට වඩා වෙනස් වූ ප්‍රතිපත්තියක් බවයි නුවන් බෝපගේ වැඩිදුරටත් සඳහන් කළේ.

බලෙන් සූට් එක අන්දන්න බෑනේ, මම අභියෝගය භාර ගත්තා – නාමල්

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා මුල සිට සැලැස්මක් නොතිබූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

තමාට තිබූ වගකීම වූයේ සූට් එක හරියන කෙනෙක් සඳහා එය මැසීම බවත්, බලෙන් එම ඇඳුම ඇන්දවීමට නොහැකි බවයි අද (07) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

කෙසේ නමුත් අභියෝගාත්මක අවස්ථාවක පක්ෂය තමන්ගෙන් ඉල්ලීමක් කළ බවද, තමන් එම ඉල්ලීම භාරගත් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මෙවර ජනාධිපතිවරණයේ පළමු බලවේගය බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පත්වන බවත්, පක්ෂයෙන් ගිය පිරිස්වලටද පක්ෂය සමඟ එක්වන ලෙසට ආරාධනා කරන බවයි ජනාධිපතිවරණ අපේක්ෂක නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.

ධම්මික පෙරේරා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව පොහොට්ටුවට දැනුම්දෙයි

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමා අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් නොවන බවට ව්‍යාපාරික ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම්ට දැනුම්දී තිබෙනවා.

ඒ අනුව පෞද්ගලික හේතු මත තමා ඉදිරිපත් නොවන බවයි ඔහු සිය ලිපිය මඟින් දැනුම්දී ඇත්තේ.

අදාළ ලිපිය පහතින්.

66b2473de4f02

විශ්‍රාමිකයන්ට රුපියල් 2500ක වැඩිවීමක් ලබාදීමට කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයෙහි පවතින විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

රජය විසින් වරින් වර සිදු කරන ලද වැටුප් සංශෝධන මෙන්ම අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද විවිධ ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් ඇතැම් විශ්‍රාමික කණ්ඩායම් වල විශ්‍රාම වැටුප් විෂමතා නිර්මාණය වී ඇති බවයි රජය සඳහන් කළේ.

ඒ අනුව, 2016-01-01 දින සිට 2020-01-01 දින දක්වා විශ්‍රාම ගන්නා ලද රාජ්‍ය නිලධාරීන්ට යම් අසාධාරණයක් සිදු වී ඇති බව නිරීක්ෂණය වී ඇති අතර, එකී වැටුප් විෂමතාව ඉවත් කිරීම තුළින් විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් 83,000ක පමණ පිරිසකට සහනයක් ලබා දීමට හැකි බවයි සඳහන් වෙන්නේ.

එම විශ්‍රාමික නිලධරයන්ගේ විශ්‍රාම වැටුප 2016-02-25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2016 හි උපලේඛන අංක 1 අනුව සම්පූර්ණ වැටුප පදනම් කර ගනිමින් උපරිම රුපියල් 2,500 ක වැඩි වීමක් ලැබෙන පරිදි සංශෝධනය කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

66b1c0600a9b5

කේරළ ගංජා තොගයක් ඉරණතිව් දූපතේදී නාවික හමුදා භාරයට

කිලිනොච්චිය, ඉරණතිව් දූපතේ පසුගිය 04 වනදා දින සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, එම දූපතේ ලඳු කැලෑවක් තුළ සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 207 ක අධික තොගයක් සිය භාරයට ගත් බව නාවික හමුදාව පවසනවා.

ඊයේ (04) දින කිලිනොච්චිය ඉරණතිව් දූපතේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමේදී, ‍එම දූපතේ ලඳු කැළෑවක් තුළ සඟවා තිබූ සැක කටයුතු උර හයක මෙම කේරළ ගංජා තිබු බවයි නාවික හමුදාව සඳහන් කරන්නේ.

නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන 82කට අධික බවද නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරනවා.

දිවයිනේ ඕනෑම ඡන්ද පොළකින් ඡන්දය දැමීමට පහසුකම් සලසා ඇති බවට පළවන වාර්තා අසත්‍යයි – මැතිවරණ කොමිසම

ඡන්ද හිමියන්ට දිවයිනේ ඕනෑම ඡන්ද පොළකින් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇති බවට සාවද්‍ය පුවතක් සමාජ මාධ්‍ය හා මාධ්‍ය තුළ සංසරණය වෙමින් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව එම පුවත අසත්‍ය කරුණු ඇතුළත් සාවද්‍ය පුවතක් බවයි නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

මැතිවරණ නීතිරීතී අනුව ඡන්ද විමසීම්වලදී ඡන්දය ප්‍රකාශ කළ හැකි වන්නේ තමා ඡන්ද හිමියෙකු වශයෙන් ලියාපදිංචි වී ඇති ඡන්ද කොට්ඨාශයට අයත් ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණීමෙන් හා තැපැල් ඡන්ද හිමිකම් ඇති අයෙකු නම් තමාගේ සහතික කිරීමේ නිලධාරියාගේ කාර්යාලයේදී ඔහු ඉදිරියේ ඡන්දය භාවිතා කිරීමෙන් බවයි සඳහන් වෙන්නේ.

2024 වර්ෂයේ ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි ඡන්ද හිමියන්ගේ ලිපිනය වෙත ඡන්ද හිමියාගේ නම, ඡන්දය ප්‍රකාශ කළ හැකි මධ්‍යස්ථානය, ඡන්ද විමසීම පැවැත්වෙන දිනය හා වේලාව සඳහන් නිල ඡන්ද දැන්වීම්පතක් තැපෑලෙන් ලැබෙන බවත්, එහි සඳහන් ඡන්ද පොළ හැර පරිබාහිර ඡන්ද පොලකදී ඡන්දය ප්‍රකාශ කළ නොහැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්.

66b06a520e05e

ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ ආදාහන පූජෝත්සවය අද

අපවත් වී වදාළ, කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය ගල්බොඩ ඤාණීස්සර නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද (05) සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද පස්වරු 4.30ට විහාරස්ථාන භූමියේ දී ආදාහන පූජෝත්සවය සිදු කිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

ගංගාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇති නාහිමියන්ගේ ශ්‍රී දේහයට ගෞරව දැක්වීම සඳහා කොළඹ, ගංගාරාම විහාරස්ථානයට පෙරේදා (03) සිට විශාල පිරිසක් පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

දිලිත් ජයවීර ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට නම් කෙරේ

සර්වජන බලයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස දිලිත් ජයවීර නම් කර තිබෙනවා.

ඒ අනුව මේ වන විට පැවැත්වෙන “සර්වජන සමුළුව” වේදී ජනාධිපතිවරණ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

පොහොට්ටුවේ නව දිස්ත්‍රික් නායකයින් පත් කෙරේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව දිස්ත්‍රික් නායකයින් පත් කර තිබෙනවා.

ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද ගම්පහ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායකයා ලෙස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ද පත්කර තිබෙනවා.

එමෙන්ම ගල්ල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායකයා ලෙස අමාත්‍ය මොහාන් ද සිල්වා ද, මන්ත්‍රී නිපුණ රණවක මාතර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායකයා ලෙස පත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.