ගුණාත්මක අධ්‍යාපනය ලබාදීම රජයේ ප්‍රමුඛතාවයි – අගමැතිනිය….

විධිමත්ව ගුණාත්මක අධ්‍යාපනයක් දරුවන්ට ලබා දීම රජයේ මූලික ප්‍රමුඛතාවය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියේ අද (12) දින හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිදුකළ අධ්‍යාපන නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින්ය.

මෙම සංචාරයේදී බෙලිඅත්ත රුහුණු විජයබා ජාතික පාසල සහ එහි ප්‍රාථමික විද්‍යාලය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය, 2026 වසරේ පළමු වසර සිසුන් සඳහා හඳුන්වා දුන් නව වැඩපොත්, මූලික විෂයමාලාවේ ප්‍රගතිය සහ පන්ති කාමර ක්‍රියාකාරකම් පිළිබඳව සොයා බැලුවාය.

විද්‍යාලයීය ගුරුවරුන් සමඟ පැවැති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනැගීමට ගුරුවරුන් ලබාදෙන දායකත්වය රජය අගය කරන බවය.

ගුරුවරුන්ගේ වෘත්තීය භාවය සුරැකීමට සහ ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීමට අධ්‍යාපන කවුන්සිලයක් පිහිටුවීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව ඇය සඳහන් කළාය.

පාසල් අතර පවතින යටිතල පහසුකම් අසමානතා ඉවත් කර සියලු දරුවන්ට සම අවස්ථා ලබාදීම රජයේ ඉලක්කය බව ද අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළාය.

අනතුරුව වීරකැටිය රජපක්ෂ ප්‍රාථමික විද්‍යාලය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදුන්වා දුන් පළමු වසර පන්ති කාමර සහ ඉගැන්වීම් ක්‍රමවේද නිරීක්ෂණය කළ අතර දරුවන් සමඟ සුහද කථාබහකටද එක් විය.

පසුව වීරකැටිය මධ්‍ය විද්‍යාලයේ සහ ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරුන් සමඟ පිළිසඳරක නිරත වෙමින්  වීරකැටිය මධ්‍ය විද්‍යාලයේ උසස් පෙළ පන්ති පවත්වාගෙන යාමට ඇති ගැටලු පිළිබඳව අවධානය යොමු කළ අතර උසස් පෙළ දරුවන් පාසල තුළ රඳවා ගැනීම පිළිබඳව ද සාකච්ඡා කළාය.

හම්බන්තොට ලුණම දුටුගැමුණු මහා විද්‍යාලයේ නිරීක්ෂණයට ද එක්වූ අග්‍රාමාත්‍යවරිය, එහි පවතින ඉහළ යටිතල පහසුකම්වලට සාපේක්ෂව ශිෂ්‍ය සංඛ්‍යාව අවම මට්ටමක පැවතීම පිළිබඳව සිය අවධානය යොමු කළාය.

පාසල් පරිපාලනය විසින් නිසි සැලසුමකට අනුව කටයුතු කරමින් ශිෂ්‍ය ගලනය නංවාලිය යුතු බවත්, ඉදිරි ප්‍රතිසංස්කරණ කටයුතුවලදී මෙවැනි අංගසම්පූර්ණ පාසල්වලින් මහත් ප්‍රයෝජනයක් ගත හැකි බවත් ඇය සඳහන් කළාය.

නිරීක්ෂණය අතරතුර නයිගල රාජ මහා විහාරය වෙත පැමිණ විහාරාධිපති අතිපූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් බැහැදැකීමටද කටයුතු කළාය.

වැටුප් සහ දීමනා ගැන රාජ්‍ය සේවකයාට ජනපතිගෙන් සුබ පණිවුඩයක්….

රාජ්‍ය සේවයේ දීමනා සම්බන්ධයෙන් ගැටලු පවතින බැවින් ඒ සම්බන්ධයෙන් සාමාලෝචනයක් සිදු කරමින් පවතින බවත් එම ගැටලු විසදීමට කෙටි කාලයක් ලබා දෙන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටියේය.

2027 වසරේ දී තෙවන වැටුප් වර්ධකය සිදු කිරීමට නියමිත බැවින් ඉන් පසුව රාජ්‍ය සේවයේ අනෙකුත් දීමනා ද ලබාදීම සම්බන්ධයෙන් සැලකිල්ලට ලක් කරන බව ජනාධිපතිවරයා පවසයි.

“රටම එකට” ජාතික මෙහෙයුමේ නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන අමතමින් ජනාධිපතිවරයා මේ බව පැහැදිලි කළේය.

එහිදී ඔහු පැවසුවේ රාජ්‍ය සේවයකයා සඳහා තෘප්තිමත් ජීවිතයක් ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු සිදු කිරීමට කටයුතු කරමින් සිටින බවය.

එමෙන්ම දිට්වා ව්‍යවසනය සම්බන්ධයෙන්ද අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ දිට්වා ව්‍යවසනය හමුවේ රටට සිදු වූ හානියෙන් මිදීම සඳහා රුපියල් කෝටි 50,000ක මුදලක් මහ භාණ්ඩාගාරයෙන් වෙන්කර ඇති බවය.

ඒ සඳහා කිසිදු මුදලක් ණයට නොගත් බවත් කිසිදු මුදල් මුද්‍රණයක් සිදුනොකළ බවත් ජනාධිපතිවරයා පවසයි.

එහිදී ඔහු පැවසුවේ ඒ වන විට මහ භාණ්ඩාගාරයේ ගිණුමේ රුපියල් කෝටි 120,000ක් තිබූ බවත් එබැවින් මෙම රුපියල් කෝටි 50,000ක මුදල වෙන් කිරීමට කටයුතු කළ බවත්ය.

දිට්වා ව්‍යවසනය හමුවේ රටට සිදු වූ හානිය අමෙරිකානු ඩොලර් බිලියන 4.1ක පමණ වන බවට ලෝක බැංකුව විසින් ගණනය කර ඇති බවත් එය මෙරට දල ජාතික නිෂ්පාදනයෙන් 4%ක පමණ ප්‍රමාණයක් බවත් ජනාධිපතිවරයා පවසයි.

කෙසේ වෙතත් රජය ගෙන ගිය ශත්කිමත් ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් රටේ ආර්ථිකයට සිදුවීමට තිබූ විශාල හානියෙන් මිදීමට හැකි වූ බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැහැදිලි කළේය.

ජනපති ප්‍රමුඛ රජයේ වැඩපිළිවෙල බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකතුමාගේ ඇගයුමට….

ශ්‍රී ලංකාවේ නව සමාජ සහ ආර්ථික පරිවර්තනයක් වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළ බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා ඇගයීමට ලක් කර තිබේ.

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුව තිබේ.

එහිදී අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පවසා ඇත.

එමෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග සුහද කතා බහක නිරත වූ අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව සහ වංචා දූෂණ වැළැක්වීමට රජය ක්‍රියාත්මක කර ඇති පුළුල් වැඩපිළිවෙළ ඇගයීමට ලක් කරමින් ඊට සිය ආශිර්වාද කර තිබේ.

ශ්‍රී ලංකාවේ වෙසෙන බෝරා ප්‍රජාව සහ අනෙකුත් ප්‍රජාවන් අතර පවතින දිගුකාලීන සබඳතා පිළිබඳව මෙන්ම බෝරා ප්‍රජාව මෙරට ආර්ථිකයට ලබා දෙන දායකත්වය පිළිබඳව මෙම හමුවේදී බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකතුමා විසින් ජනාධිපතිවරයා දැනුවත් කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමාගේ මෙරට සංචාරය පිළිබඳ සිය ගෞරව පූර්වක ස්තූතිය පිරිනමන බව සඳහන් කළේය.

මිලියනයකට අධික බෝරා ප්‍රජාවේ සාමාජිකයෝ ඉන්දියාව, පාකිස්තානය, අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ශ්‍රී ලංකාව සහ ඕස්ටේලියාව ඇතුළු රටවල් ගණනාවක වාසය කරති.

බෝරා ප්‍රජාවේ නායකයන් ඇතුළු නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටී අතර ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායක රිස්වි සාලි, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරු එක්ව සිටියහ.

27වනදා තෙක් නිශ්චිත පිළිතුරක් කියන්න බැහැ – නි. ඇමති මාදැල් ධීවරයින්ට කියයි….

මාදැල් ධීවරයින් විසින් ආරම්භ කර ඇති සත්‍යග්‍රහය සම්බන්ධයෙන් මේ වනවිට ඍජු අදහසක් ප්‍රකාශ කිරීමට නොහැකි බව ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (09) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ධීවරයින් විසින් මේ වනවිට අමාත්‍යංශය ගෙන ඇති තීරණයට එරෙහිව අධිකරණයේ නඩුවක් ගොනු කර ඇති බවත් 27 වැනිදා දක්වා මේ සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් ලබාදිය නොහැකි බවත් ඔහු පැවසීය.

“අපි ආදරෙයි ඔයාලාට,  ඔයාලා එන්න ඕනේ අපිත් එක්ක හිටගන්න. අපේ ධීවරයෝ. අපි රැක ගන්නේ ඔයාලා. ඔයාලා රැකගන්න ඉන්නේ අනාගත පරම්පරාව. ධීවර කර්මාන්තය රැකගන්න සූදානම් වෙන්න. එන්න. අපිත් එක්ක සාකච්ඡා කරලා නිවැරදි තැනකට ගමු. අපිට වැරදි තැනවලට උත්තර නෑ. ඒ නිසා අපි ඍජුවම ඒක ප්‍රතික්ෂේප කරනවා. මේ මොහොතේ අපිට ඍජු අදහසක් කියන්න බෑ.  ඔබ උසාවි මාර්ගයට ගිහිල්ලා තියෙන්නේ. නඩුවක් දාලා තියෙන්නේ. 27 වෙනකම් මේ සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් කියන්න බෑ. නඩුවෙන් පස්සේ. තීන්දුවෙන් පස්සේ අපි සාකච්ඡා කරන්න සූදානම්. සාකච්ඡා කරලා පරිසරයත් ආරක්ෂා කරගෙන ඔයාලාත් ආරක්ෂා කරගෙන ඉදිරියේදී කටයුතු කරන්න අපි සූදානම්.”

මන්ත‍‍්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ලබන 17 වැනිදා විවාදයට…

පාර්ලිමේන්තු මන්ත‍‍්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පෙබරවාරි 17 වන දින විවාදයට ගෙන එදිනම සම්මත කිරීමට කටයුතු කරන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ටිල්වින් සහ ජයශංකර් අතර හමුවක්…..

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු මෙරට නියෝජිත පිරිසක් සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා අතර නිල හමුවක් නව දිල්ලි නුවරදී පවත්වා තිබේ.

මෙම සාකච්ඡාවේදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම, අනාගත වර්ධන අවස්ථා ගවේෂණය කිරීම සහ සමාජ සුබසාධන වැඩසටහන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇත.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාව සැමවිටම විශ්වාසවන්ත සහ සැබෑ සහකරුවෙකු ලෙස පෙනී සිටින බව ද එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

කෙසේවෙතත් මෙම හමුව සම්බන්ධයෙන් X සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ, ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිත පිරිස සමඟ ඉතා සුහදශීලී සහ ඵලදායී අදහස් හුවමාරුවක නිරත වූ බවය.

දෙරට අතර පවතින ගැඹුරු සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට මෙම සාකච්ඡාව මනා පිටිවහලක් වූ බව ද ඔහු එහි දක්වා ඇත.

ගුජරාට් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ඇතුළු පිරිස ඇමති විජිත හමුවෙයි…

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්ත ආණ්ඩුකාර ආචාර්ය දේව්ව්‍රත් මහතා සහ මහඇමති භූපේන්ද්‍ර පටෙල් මහතා ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක්, පාර්ලිමේන්තු සංකීර්ණයේදී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවිය.

අද (05) එම හමුව සිදුව ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමත්‍යාංශ පවසයි.

මෙහිදී අදහස් දක්වමින් ආණ්ඩුකාර ආචාර්ය දේව්ව්‍රත් මහතා සඳහන් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාවේ කළ නිල සංචාරයකදී කළ ඉල්ලීමකට අනුව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මඟපෙන්වීම යටතේ, ගුජරාට් ප්‍රාන්තයේ තැන්පත් කර තිබූ පූජනීය ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවීමට කටයුතු කළ බවය.

ගුජරාට් ප්‍රාන්ත ඉතිහාසය තුළ, පූජනීය ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ විදේශ රටකට වැඩම කරවනු ලබන ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයක් වන අතර, ඒ සඳහා ශ්‍රී ලංකාව තෝරාගැනීම දෙරට අතර පවතින අන්‍යෝන්‍ය ගෞරවය සහ ඓතිහාසික සබඳතාව විදහා දක්වන වැදගත් සන්ධිස්ථානයක් බව ද ඔහු අවධාරණය කළේය.

මෙම අවස්ථාවේ අදහස් පළ කළ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා, මෙම ඓතිහාසික ධාතු වන්දනාව සංවිධානය කිරීම සඳහා ගුජරාට් ප්‍රාන්ත රජය ලබා දුන් දායකත්වයට සිය ස්තූතිය පළ කළ අතර, එය ශ්‍රී ලංකාව සහ ගුජරාටය අතර පවතින දිර්ඝකාලීන ආගමික හා සංස්කෘතික සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කරන අවස්ථාවක් බව ද පෙන්වා දුන්නේය.

මෙම සාකච්ඡාවේදී, ඉන්දියාවේ ප්‍රමුඛතම කාර්මික මධ්‍යස්ථානයක් වන ගුජරාටය සහ ශ්‍රී ලංකාව අතර පවතින ආර්ථික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව ද දෙපාර්ශවයේම අවධානය යොමු විය.

ඒ අනුව, අමුල් (Amul) සහ ටාටා (Tata) වැනි ගුජරාටයේ ප්‍රමුඛ පෙළේ සමාගම් සමඟ පවතින කාර්මික සහයෝගීතාව පුළුල් කිරීම, දෙරටේ බෞද්ධ ජනතාව අතර සංස්කෘතික හුවමාරු වැඩසටහන්, සහ සංචාරක ක්ෂේත්‍රයේ නව ප්‍රවර්ධන අවස්ථා පිළිබඳව ද මෙහිදී සුබවාදී එකඟතාවන්ට එළඹ තිබේ

ශිරන්ති රාජපක්ෂ FCID කැඳවීම ගැන පොහොට්ටුවෙන් නිවේදනයක්….

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (03) පස්වරුවේ නිවේදනයක් නිකුත් කර තිබුණි.

එම නිවේදනයයේ සඳහන් කර තිබුණේ සිරිලිය සවිය සංවිධානයේ ගිණුම් වාර්තා, පොත්පත් සහ ලිපි ලේඛන සියල්ල 2015 වසරේ ඒ සම්බන්ධයෙන් විමර්ශනය සිදුකළ අවස්ථාවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිය භාරයට ගෙන තිබූ බවය.

එවැනි පසුබිමක අද දින යළි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා ඒ පිළිබඳ කරුණු විමසූ බව එම නිවේදනයේ දැක්වෙයි.

අදාළ නිවේදනය පහතින්

1111

 

 

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවගන්න – සජිත් ප්‍රේමදාස….

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගන්නා ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් සිදු කරයි.

එම නිලධාරින් මෙරට ගුරු හිඟය පියවීමට වසර 5 -10 කාලයක් පුරා කටයුතු කළ බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

ජනාධිපතිවරයාගේ කැබිනට් අනුමැතිය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශය තුළ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ කලාප කාර්යාලවල ලිඛිත නිර්දේශ තුළ 22,000කට ආසන්න සංවර්ධන නිලධාරී ගුරුවරුන් නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කළ බව ද ඔහු අවධාරණය කළේය.

විවිධ අවස්ථාවල මොවුන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කර ගන්නවායැයි පැවසුව ද  මේ වනවිට ඉන් 5,000ක් පමණ ඉවත්ව ඇති බවත් මේ වනවිට 17,000ක් පමණ ගුරු හිඟය මගහරවා ගැනීමට විශිෂ්ට සේවාවක් ඉටු කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.

වත්මන් රජය විපක්ෂයේ සිටින විට මේ සංවර්ධන නිලධාරින් ගුරු සේවයට බඳවා ගන්නවායැයි පොරොන්දුවී ඇත.

සමථකරණ යෝජනාවක් අනුව මොවුන් අභ්‍යාසලාභී ගුරුවරුන් ලෙස 2.2 ශ්‍රේණියට බඳවා ගෙන පශ්චාත් උපාධිය සමත් වීම හරහා ගුරුවරුන් ලෙස ස්ථිරවීමට හැකියාව පවතියි.

මෙවැනි තීන්දුවක් තිබියදී පවා සංවර්ධන නිලධාරින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගැනීමට නොහැකි බවට රජයේ ඇමතිවරුන් ප්‍රකාශ කරන බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

කෙසේවෙතත් මැතිවරණ සමයේ ආණ්ඩුවේ නියෝජිතයින් මෙවැනි කතා නොකියා දැන් ගුරු සංවර්ධන නිලධාරීන් රවටා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.

කාන්තාවන් රාත්‍රී කාලයේ සනීපාරක්ෂක සහ ආහාරපාන පිළිගන්වන සේවයේ යෙදවීමට තිබූ බාධා ඉවත් කරමින් ගැසට්ටුවක්…..

කාන්තාවන් රාත්‍රී කාලයේ සනීපාරක්ෂක සේවිකාවන් සහ ආහාරපාන පිළිගන්වන සේවිකාවන් වශයෙන් සේවයේ ‍යෙදවීමට අවසර ලබාදෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

කම්කරු අමාත්‍ය ආචාර්යය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් සාප්පු සහ කාර්යාලීය සේවකයින් පිලිබද පනතට සංශෝධනයක් සිදුකරමින් මෙම අවසරය ලබා දී ඇති බව වාර්තා වේ.

මෙතෙක් අවුරුදු 18ට වැඩි කාන්තාවන් කාන්තා වැසිකිලි සේවිකාවන් වශයෙන් පස්වරු 6.00න් පසුව සේවයේ යෙදවිය හැකි බවට අදාළ පනත මගින් ප්‍රකාශයට පත් කර තිබුණි.

එම පනත තවදුරටත් සංශෝධනය කරමින් කාන්තා සනීපාරක්ෂක සේවිකාවක් හෝ ආහාරපාන පිළිගන්වන සේවිකාවක් වශයෙන් අවුරුදු 18ට වැඩි කාන්තාවන් පස්වරු 6.00න් පසු පසුදා පෙරවරු 6.00ට පෙර සේවයේ යෙදවිය හැකි බව නව ගැසට් නිවේදනයේ සඳහන් වේ.

කෙසේවෙතත් එම කාලය තුළ  සේවය ලබා ගන්නා කාන්තාවන් වෙනුවෙන් සුදුසු නවාතැනක් සැපයීම, ප්‍රවාහන පහසුකම් සැපයීම, සෞඛ්‍ය ආරක්ෂාව සහ සුභ සාධනය සම්බන්ධයෙන් සේවා යෝජකයා වගකිවයුතු බව ද කම්කරු අමාත්‍යංශය දැනුම්දී තිබේ.