පවතින උණුසුම් කාලගුණය සමඟ ජලය ප්‍රවේශමෙන් භාවිතා කරන්න – ජල සම්පාදන මණ්ඩලය

මේ දිනවල දිවයිනේ පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මුලාශ්‍රයන් හි ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

එසේම, උෂ්ණාධික බව නිසා ජනතාවගේ ජල පරිභෝජනය ද ඉතා ඉහළ මට්ටමක පවතින බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

පානීය ජල සැපයුම සීමාසහිත වන බැවින්, එය සැමගේ අත්‍යවශ්‍ය පානීය හා සනීපාරක්ෂක කටයුතුවලට සම සේ බෙදාහැරිය යුතු බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පෙන්වා දෙනවා.

එබැවින් වාහන සේදීම, ගෙවතු වගාව වැනි කටයුතු සඳහා ජලය භාවිතා කිරීම අවම කොට, අවශ්‍ය දෛනික කටයුතුවලට පමණක් ජලය භාවිතා කරන මෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

කෙහෙළියගේ දුරකථන බිල් නඩු​වේ සාක්ෂි විභාගය ඇර​ඹේ

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හීන්කෙන්දට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද (18) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගෙන තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිස්සංක ඉදිරියේ අද නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම සිදුකර තිබෙනවා.

අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ජුනි මස 13 වනදා දක්වා කල් තැබීමට ද අධිකරණය නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල් වලින් රුපියල් 240,000/- කට ආසන්න සිය පෞද්ගලික ජංගම දුරකථන බිල ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ යැයි චෝදනා කොට, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හීන්කෙන්දට චෝදනා එල්ල වී තිබෙනවා.

ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, ටී, ප්ලේන්ටී මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

ආපන ශාලාවල ආහාර මිල ගණන් අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීටම කටයුතු කරන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව ප්ලේන්ටියක මිල රුපියල් 05 කින් හා කිරි තේ එකක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

එසේම ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 30කින් ද, ෂෝටීස් වර්ගවල මිල රුපියල් 10 කින් ද ඉහළ දැමීමට කටයුතු කරන බවයි එම සංගමය ප්‍රකාශ කළේ.

ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මෙලෙස ආහාර මිල ඉහළ දැමීමට තීරණය කළ බවයි එම සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

වැඩ තහනම්​ව නැවත සක්‍රීය සේවයට එක්ව​න පොලිස් නිලධාරීන් සම්බන්ධව නියෝගයක්

වැඩ තහනම්ව සිට හෝ සේවය අතහැර ගොස් සිට නැවත සක්‍රීය සේවයට එක්වීමට නියමිත නිලධරයන්, මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව අනාවරණය කර ගැනීමට වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටීම අනිවාර්ය කර ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව ඉහත සඳහන් පොලිස් නිලධරයින් සේවයේ පිහිටුවීමට හෝ නැවත සක්‍රීය සේවයට එක් කිරීමට පෙර, මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීමට, පොලිස් රෝහලේදී අදාළ පරීක්ෂණයකට පෙනී සිටිය යුතු බවට වැඩබලන පොලිස්පතිවරයා විසින් දිවයිනේ සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු ස්ථානාධිපතිවරුන් වෙත දැනුම් දී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

කිසියම් නිලධරයෙක් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට වෛද්‍ය වාර්තාවෙන් අනාවරණය වන්නේ නම්, එම නිලධාරියා වෙත නැවත සේවයේ පිහිටුවීමට හෝ නැවත සක්‍රීය සේවයට එක්වීමට අවස්ථාව ලබා නොදෙන බවයි වැඩබලන පොලිස්පතිවරයා විසින් වැඩිදුරටත් නියෝග කර තිබෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

67b4070ce2543pdf_page_0

ඝාතනයකට සම්බන්ධ 15 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු ඇහැළියගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඇහැළියගොඩ පොලිස් වසමේ, මෝරගල හන්දිය ප්‍රදේශයේදී 15 හැවිරිදි සැකකරුවෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

2025 ජනවාරි 17 වන දින ඇහැළියගොඩ පොලිස් වසමේ හොරගොඩ මාර්ගයේදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර, තවත් පුද්ගලයින් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුකර තිබුණු සිද්ධියක් සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

නීතිවිරෝධී දුම්වැටි තොගයක් මෙරට​ට ගෙනා සැකකරුවන් 04 ක් අත්අඩංගුවට

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගීන් සිව් දෙනෙකු ඊයේ (17) දින ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි පනස් එක් ලක්ෂ පනස් දහසක් බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන් ඇත්තේ 23, 35, 48 හා 51 හැවිරිදි විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

ඔවුන් සිය ගමන් මලු තුළ සඟවා විදේශීය නිෂ්පාදිත දුම්වැටි 101,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 505 ක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ශ්‍රී ලංකාව කාසි සහ නෝට්ටු රහිත ​ආර්ථිකයක් කරා ගෙනියනවා – ජනපති

ආර්ථිකය විධිමත් කිරීම සහ ආදායම් එකතු කිරීම වැඩිදියුණු කිරීම සඳහා වන පුළුල් ඩිජිටල්කරණ න්‍යාය පත්‍රයේ කොටසක් ලෙස, ශ්‍රී ලංකාව කාසි සහ නෝට්ටු රහිත ආර්ථිකයක් කරා ගමන් කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඩිජිටල් ගනුදෙනු සඳහා පහසුකම් සැලසීම සහ මුදල් මත යැපීම අඩු කිරීම සඳහා ප්‍රධාන මුල පිරීමක් ලෙස, විශේෂයෙන් VAT බදු ලියාපදිංචි ව්‍යවසායන් තුළ, ව්‍යාපාර පුරා Point of Sales යන්ත්‍ර (POS Machines) භාවිතය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි අද (17) අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

කාසි සහ නෝට්ටු රහිත ආර්ථිකයක්, බදු පැහැර හැරීම් සහ නීති විරෝධී මූල්‍ය ක්‍රියාකාරකම් මැඩ පවත්වීමට පමණක් නොව, ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනයට දායකවන මූල්‍ය කාර්යක්ෂමතාව ද වැඩි දියුණු කරනු ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

Clean Sri Lanka වැඩසටහන සමස්ත ශ්‍රී ලාංකීය සමාජයම ඉහළට ඔසවා තබන වැඩසටහනක් – ජනපති

Clean Sri Lanka වැඩසටහන ශ්‍රී ලංකා‍ව සහ සමස්ත ශ්‍රී ලාංකීය සමාජය ඉහළ මට්ටමකට තිරසාරව ඔසවා තැබීම සඳහා සාමාජීය සංවර්ධනය, පාරිසරික සංවර්ධනය සහ ආචාර ධර්ම සංවර්ධනය යන ප්‍රධාන කුළුණු තුන ඔස්සේ ක්‍රියාත්මක කරන දැවැන්ත වැඩසටහනක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

මේ සඳහා සමස්ත මහජනතාව, රාජ්‍ය යාන්ත්‍රණය, ව්‍යවසායකයින්, ව්‍යාපාරිකයින් ඇතුළු පෞද්ගලික අංශය, ජාතික සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන, විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව, ජාත්‍යන්තර ආධාර දෙන ආයතන, විවිධ වෘත්තිකයින්, විශේෂඥයන් ඇතුළු සියළු දෙනාගේ සහයෝගය ලබා ගැනීමට සැලසුම් කර ක්‍රියාත්මක කරමින් පවතින බවයි අද (17) අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

මේ යටතේ ශ්‍රී ලාංකික සමාජයේ විවිධ ජාතීන්, විවිධ ආගම් සහ විවිධ වූ ජන කොටස් අතර සබැඳියාව, අවබෝධය සහ සහයෝගීතාවය ප්‍රවර්ධනය කරමින්, සියළු ජන කොටස්වලට එක්ව සතුටු විය හැකි සංස්කෘතික උළෙලක්ද පැවැත්වීමට අදහස් කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

සංචාරක ව්‍යාපාරය සඳහා ත්‍රීවීල්, ටැක්සි රියදුරන් සහ සංචාරක මග පෙන්වන්නන් වැනි පහසුකම් සපයන්නන්ගේ ආචාරධර්ම ප්‍රවර්ධනය සහ ධාරිතා වර්ධනය, පෞරාණික උරුමයන් සහිත තෝරාගත් නගර කිහිපයක් පෞරාණික අනන්‍යතාවය සහිතව ප්‍රතිනිර්මාණය කිරීම, අඩු පහසුකම් සහිත තෝරාගත් පළාත් පාසල් සඳහා ගොඩනැගිලි අළුත්වැඩියාව, පාසල් උපකරණ අළුත්වැඩියාව සහ සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීම, පූර්ව ළමාවිය සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයේද දායකත්වයෙන් ඉහළ ප්‍රමිතියෙන් යුතු අධ්‍යයන පරිසරයක් ගොඩනැගීම, නාගරික ප්‍රදේශවල සනීපාරක්ෂක පහසුකම් ප්‍රවර්ධනය, ආහාරපානවල පිරිසිදුභාවය තහවුරු කිරීම, මාර්ග ආරක්ෂාව ප්‍රවර්ධනය, මත්ද්‍රව්‍ය නිවාරණය, අයාලේ යන වීදි සතුන් කළමනාකරණය, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, වෙරළ තීරය ආකර්ෂණීය සහ පාරිසරිකව තිරසාර ලෙස නිර්මාණය කිරීම, ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය සහ ගංගාවල ජලයේ ගුණාත්මකභාවය ප්‍රවර්ධනය කිරීම, රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම, ඉහළ සම්පත් උපයෝගීතාවයක් ඇති කිරීම සහ සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැගීම, සහ Clean Sri Lanka සංකල්පය ප්‍රවර්ධනය සහ ප්‍රචාරණය සිදු කිරීමට අපේක්ෂිත බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

විශ්‍රාම වැටුප අදියර 03 කින් වැඩි කිරීමට යෝජනාවක්

විශ්‍රාම වැටුප මේ වනවිටත් රුපියල් 3,000 කින් වැඩි කර ඇති බව අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

කෙසේ නමුත් 2017.12.31 දක්වා විශ්‍රාම ගිය සියලුම විශ්‍රාමිකයන් එකම වැටුප් පරිමාණයක සිටින බැවින් 2016 – 2020 දක්වා විශ්‍රාම ගිය රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප පමණක් සංශෝධනය කිරීම තුළින් වැටුප් විෂමතා ඇති වන බව නිරීක්ෂණය කර ඇති බවයි අද (17) අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

ඒ අනුව 2020.01.01 දිනට පෙර විශ්‍රාම ගිය සියලුම විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප රාජ්‍ය පරිපාලන චක්‍රලේඛනයේ 3/2016 අනුව 2020 වසරට අදාළ වැටුප් පරිමාණයන්ට අනුරූපව අදියර තුනකින් සංශෝධනය කිරීමට මෙවර අයවැය මඟින් යෝජනා කර තිබෙනවා.

ඒ අනුව 2020 ජනවාරි 01 වැනිදාට පෙර විශ්‍රාම ගිය සියලු විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප අදියර 03 කින් වැඩි කරන බවයි අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.