ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුගේ නම වැරදියට ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අධිකරණයට මෝසමක්

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (19) අත්අඩංගුවට ගත් සැකකරුගේ නම  මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් ලෙස ප්‍රකාශ කිරීම තුළින් එම නම් සඳහන් තැනැත්තාගේ පවුලේ සාමාජිකයින්ට අගතියක් සිදුවී ඇති බව සඳහන් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම මෝසම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිඥ දසුන් පෙරේරා සඳහන් කළේ, ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් නොවන බවයි.

මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් සහ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු එක් පුද්ගලයෙකු නොව, පුද්ගලයින් දෙදෙනකු බවත් මේ හේතුවෙන් මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් යන අයගේ පවුලේ ඥාතීන්ට නීතිමය වශයෙන් මෙන්ම සමාජීය වශයෙන්ද ගැටලු රැසකට මුහුණපෑමට සිදුවී තිබෙන බවත් මේ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසයි නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු තවමත් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බැවින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ පසු එම ඉල්ලීම ඉදිරිපත් කරන ලෙස නීතිඥවරුන්ට දන්වා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අද ඩොලරයේ විකුණුම් මිල රුපියල් 301 ලෙස සටහන් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (20) ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 292.72ක් ලෙස සටහන්වී ඇති අතර එහි විකුණුම් මිල රුපියල් 301.30 ක් ලෙසයි සටහන්වී ඇත්තේ.

67b728056cd53

ඉදිරි කාලය තුළ පාතාලය අවසන් කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නවා – ජනපති

ඉදිරි කාලය තුළ පාතාලය අවසන් කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ සඳහා යම් කාලයක් ගතවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජනතාවගේ ආරක්ෂාව සඳහා පවතින නිල ආයතනවල ඇතැම් පුද්ගලයන් දක්වාම පාතාලය පැතිරී ඇති බව විමර්ශනවලින් හෙළිවන බවයි ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.

10වන පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම අද (20) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සදහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

67b725f9d4894pdf_page_0

උෂ්ණාධික කාලගුණ තත්ත්වය හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් පාසල් සඳහා දැනුම්දීමක්

පවතින අධික උෂ්ණ තත්ත්වය සැලකිල්ලට ගනිමින්, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත නිර්දේශ ඇතුලත් ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ අනුව පාසල් ක්‍රියාකාරකම්වල දී ක්‍රියාකළ යුතු ආකාරය දැනුම්වත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කළ නිර්දේශ පදනම් කරගනිමින් මෙම නිර්දේශ යොමුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

එහිදී, අධික උෂ්ණත්වය සහිත දිනවල සිසුන් එළිමහනේ, ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම්වල යෙදීමෙන් වැලැක්විය යුතු බවත්, පාසල් විවේක කාලයේ දී දැඩි හිරු එළිය සහිත එළිමහනේ ගත කිරීම හා ක්‍රීඩා කිරීමෙන් වලක්වා ගත යුතු බවයි සඳහන් වෙන්නේ.

වැඩිපුර ජලය පානය කිරීමත්, වෙහෙස නිවා ගැනීම සඳහා කෙටි විවේක කාල දෙකක් ලබා දීමත් වඩාත් සුදුසු වන අතර, දහවල් අධික උෂ්ණත්වය සහිත කාලයේ දී අත්‍යවශ්‍ය නොවන අවස්ථාවල දී සිසුන් පිටතට ගෙනයාමෙන් වලක්වා ගැනීම සුදුසු බවද එහි සඳහන්.

එසේම ප්‍රාදේශීය මට්ටමින් පවතින උෂ්ණත්වය / කාළගුණ තත්ත්වයන් සලකා බලා නිවාසාන්තර ක්‍රීඩා තරඟ හා පුහුණුවීම් කටයුතු සැලසුම් කිරීම වඩාත් සුදුසු බවයි එම නිර්දේශවල දක්වා තිබෙන්නේ.

අදාළ නිර්දේශ පහතින්.

67b712e156a2b 67b712e137396

ගණේමුල්ල සංජීව ඝාතනයට සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුව

ගණේමුල්ල සංජීවට වෙඩි තැබිමේ සිද්ධියට සම්බන්ධව මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරියෙකු කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීගමුව මූලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව, අපරාධ අංශයේ උසාවි රාජකාරි කරනු ලබන මෙම සැකකරු වයස අවුරුදු 25ක් වන පාදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

ඔහු ගණේමුල්ල සංජීවට වෙඩි තැබිමේ සිද්ධියට අදාළව දැනට සැඟව සිටින සැකකාරියක් වන පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ යන අය සමග දුරකථනය ඔස්සේ සංවාදයක යෙදී ඇති බවට විමර්ශන නිලධාරීන් කරුණු අනාවරණය කරගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ත්‍රස්තවාදය මැඩ පැවැත්වීම සඳහා පුළුල් නීතියක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය

ත්‍රස්තවාදය මැඩ පැවැත්වීම සඳහා පුළුල් නීතියක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ජාතික ආරක්ෂාව සහ මහජන සාමය සම්බන්ධයෙන් එවකට පැවති තජනයන්ට මුහුණ දීම සඳහා 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත පනවා තිබු බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

පසුකාලීනව 2022 අංක 12 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත වශයෙන් එම නීතියට සංශෝධන හඳුන්වා දෙමින් ජාතික ආරක්ෂාව පිළිබඳ පුළුල් නීතියක් ප්‍රකාශ කිරීම සඳහා වන අන්තර්කාලීන පියවරක් අනුගමනය කර තිබෙනවා.

ඉන් අනතුරුව, ත්‍රස්තවාදය මැඩපැවැත්වීම පිළිබඳව පනත් කෙටුම්පතක් සකස් කර ඇති අතර, එකී පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් කර තිබූ බවත්, ඒ අනුව එකී පනත් කෙටුම්පත සඳහා තවදුරටත් සිදු කළ යුතු සංශෝධන හඳුනාගෙන එකී සංශෝධන ඇතුළත් කරමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් සංශෝධික පනත් කෙටුම්පතක් සකස් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති අවසන් කෙටුම්පත පිළිබඳව තවදුරටත් කරුණු අධ්‍යයනය කර, එකී පනත් කෙටුම්පත තවදුරටත් වැඩිදියුණු කිරීම පිණිස සුදුසු යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්නගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

67b7084635e6b

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවන් දෙදෙනා රඳවා ගෙන ප්‍රශ්න කරයි

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෙඩික්කරු සහ වෑන් රථ රියැදුරා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන විමර්ශන සිදු කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය අද (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දී තිබෙනවා.

ඒ අනුව වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මෙම දැනුම්දීම සිදු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

බංකොලොත් වෙච්ච රටක් ඒ බංකොලොත්භාවයෙන් ගොඩ අරගෙන ඉදිරිපත් කරන පළමු අයවැය මේක – වසන්ත සමරසිංහ

බංකොලොත් වූ රටක් එම බංකොලොත්භාවයෙන් ගොඩ ගෙන ඉදිරිපත් කළ පළමු අයවැය මෙවර ඉදිරිපත් කළ බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම් ලබාදීමට ද මෙවර අයවැය මඟින් කටයුතු කර ඇති බවයි අද (18) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

වැටුප් වැඩි කිරීම සඳහා 2025 වසරට රුපියල් බිලියන 102ක්, 2026 වසරට රුපියල් බිලියන 128 ක් හා 2027 වසරට රුපියල් බිලියන 95 ක් වැය වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

සමස්තයක් ලෙස එම වසර තුන සඳහා වැටුප් වැඩි කිරීමට රුපියල් බිලියන 325ක් වැයවන බවයි අමාත්‍ය මහින්ද සමරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

සමන්ත මට ඉඳලා හිටලා ඇරලා දානවා, ඒක ප්‍රශ්නයක් නෑ – චාමර

ජනාධිපතිවරයා විසින් ලස්සන අයවැයක් ඉදිරිපත් කළ බවත්, ජනාධිපතිවරයා නියමාකාරයෙන් බටර් ගෑමට සමත් වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසනවා.

ඒ අනුව චේතිය රජතුමාගෙන් පසු බටර් ජනාධිපතිවරයෙක් මේ වන විට පත්වී ඇති බවයි අද (18) අයවැය විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මහපොළ ශිෂ්‍යාධාර මුදල් රුපියල් 2500 කින් වැඩි කළද, එය ප්‍රමාණවත් නොමැති බවත්, වත්මන් රජය බලයට ගෙන ඒමට වැඩිම කැපකිරීමක් කළේ විශ්ව විද්‍යාල සිසුන් බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ අයවැය තුළ හොඳ කාරණා ඇති බවද, වකුගඩු රෝගීන්ගේ දීමනා වැඩි කිරීම, වැඩිහිටි පොලී වැඩි කිරීම හොඳ කාරණා බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

මහින්ද රාජපක්ෂ හම්බන්තොටත්, මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුවත් සංවර්ධනය කළ බවත්, වත්මන් ජනාධිපතිවරයා අනුරාධපුරට හැරී ඇති බවත්, එය හොඳ කාරණාවක් බවත් ඔහු සඳහන් කළා.

බදුල්ල දිස්ත්‍රික්කයට ද සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීවරයා වැඩ කිරීම සම්බන්ධයෙන් තමන් සතුටට පත් වන බවට සඳහන් කළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ “සමන්ත මට ඉඳලා හිටලා ඇරලා දානවා. ඒක ප්‍රශ්නයක් නෑ” යන ලෙසටයි.

IMF විධායක මණ්ඩලය පෙබරවාරි 28 රැස්වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය එළඹෙන පෙබරවාරි 28 දින රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එහිදී ශ්‍රී ලංකා රජයේ 2025 අයවැය යෝජනා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පරාමිතීන්ට කොපමණ ආකාරයකින් අනුකූල වන්නේද යන්න වග තීරණය කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන තුන්වන සමාලෝචනයට අනුමැතිය ලැබුණහොත්, එක්සත් ජනපද ඩොලර් මිලියන 333ක පමණ මූල්‍ය පහසුකමක් ශ්‍රී ලංකාවට හිමිවන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.