SL vs BAN 1st TEST : පළමු දිනය අවසානයේ බංග්ලාදේශ ලකුණු පුවරුව – 292/3

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අද (17) අවසන් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම දිනය නිමා වන විට කඩුලු 3 ක් දැවී ලකුණු 292 ක් ලබා සිටිනවා.

පන්දුවට පහරදීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටින නායක Najmul Hossain Shanto නොදැවී ලකුණු 136 ක් හා Mushfiqur Rahim නොදැවී ලකුණු 105 ක් ලබාගෙන සිටිනවා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තරිඳු රත්නායක කඩුලු 02 ක් හා අසිත ප්‍රනාන්දු එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.

ලකුණු පුවරුව පහතින්.

news images

ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අත්අඩංගුවට

ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව එම සංස්ථාව යටතේ ක්‍රියාත්මක කර ඇති වේරැස් ගඟ ව්‍යාපෘතියේ පළමු අදියර විවෘත කිරීමේ උත්සව කටයුතු වෙනුවෙන්, ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව ආයතනයක් තෝරා ගනිමින් එම ආයතනය වෙත වාසියක් සිදු කිරීම හා එම උත්සවය සඳහා ව්‍යාපෘති අරමුදලින් කිසිදු මුදලක් වෙන් කර නොතිබියදී එම උත්සවය සඳහා ව්‍යාපෘති අරමුදලින් රුපියල් ලක්ෂ 276ක මුදලක් වැය කිරීමෙන් රජයට පාඩුවක් සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

2029 සාමාන්‍ය පෙළ විභාගය නව විෂය නිර්දේශය යටතේ පවත්වනවා – අගමැතිනිය

2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලියට අදාළ මාර්ගෝපදේශ මෙම වසරේ අගෝස්තු මාසයේ එළි දැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන විෂයභාර ඇමතිනී හරිනි අමරසූරිය පවසනවා.

ඒ සම්බන්ධයෙන් ගුරුවරුන් පුහුණු කිරීම පිළිබඳව සාකච්ඡාවක් අග්‍රාමාත්‍යවරියගේ සහභාගිත්වයෙන් ඊයේ (16) මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේදී පවත්වා ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

2026 වසරේ සිට 01 සහ 06 ශ්‍රේණි සඳහා නව විෂය නිර්දේශය හඳුන්වා දෙන බවත්, 2028 වර්ෂයේදී 10 ශ්‍රේණියට නව විෂය නිර්දේශය හඳුන්වා දීමට නියමිත බවත් නව විෂය නිර්දේශයට අනුකූලව 2029 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්විමට කටයුතු කරන බවයි පැවසෙන්නේ.

09 වන ශ්‍රේණියේ සිට වෘත්තිය අධ්‍යාපනය හඳුන්වා දීමට නියමිත බව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්.

news images

Air India ගුවන් සමාගමට අයත් ගුවන් යානයක තාත්ෂණික දෝෂයක් හේතුවෙන් ගුවන් ගමනක් අවලංගු කෙරේ

Air India ගුවන් සමාගමට අයත් ගුවන් යානයක ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන්, එම ගුවන් යානය ගුවන්ගත කිරීමට පෙර ගුවන් ගමන අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව එම යානය අහමදාබාද් සිට ලන්ඩන් බලා පියාසර කිරීමට නියමිතව තිබුණු අතර, එම ගුවන් ගමන අවලංගු කිරීම හේතුවෙන් මගීන් 200කට වැඩි පිරිසක් පීඩාවට පත් වූ බවයි සඳහන් වෙන්නේ.

ජුනි 12 වන දින සිදුවූ මාරාන්තික ගුවන් අනතුරෙන් පසු අහමදාබාද් සිට ලන්ඩන් බලා පිටත්වීමට සූදානම් වූ පළමු ගුවන් යානය මෙය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

දුම්රිය නියාමක සංගමය සිකුරාදා සිට සංකේත වැඩ වර්ජනයකට සූදානම් වෙයි

දීර්ඝකාලීනව නොවිසඳුනු පරිපාලන ගැටලු මුල් කරගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීමට තීරණය කළ බව ලංකා දුම්රිය නියාමක සංගමය පවසනවා.

ඒ අනුව දිස්ත්‍රික් ප්‍රවාහන පරීක්ෂක ප්‍රවාහන/වාණිජ තනතුරේ බඳවා ගැනීම් සිදු කිරීම ප්‍රමාදවීම, නියාමක විශේෂ පංතියේ උසස්වීම් ලබාදීම ප්‍රමාදවීම, නියාමක විශේෂ පංතියේ වැටුප් ගැටලුව නොවිසඳීම, දෙපාර්තමේන්තු පරීක්ෂණ පැවැත්වීම ප්‍රමාදවීම ඇතුළු ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

සිය ගැටලු සඳහා විසඳුම් ලබාදීමට කටයුතු නොකළහොත්, 20 වැනි සිකුරාදා දින මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක සංකේතාත්මක වැඩ වර්ජනයක නිරතවන බවයි දුම්රිය නියාමක සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

සරණක් අවැසි වැඩිහිටියන් පිළිබඳ තොරතුරු ලබාදීමට WhatsApp අංකයක් හඳුන්වාදෙයි

‘ලෝක වැඩිහිටි අපයෝජන පිළිබඳ දැනුවත් කිරීමේ දිනය’ට සමගාමීව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධ ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය මගින් වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් ‘සරණ’ නමින් උපකාරක සේවාවක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව දරුවන් විසින් නොසලකා හරින, සරණක් අවැසි වැඩිහිටියන් පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය WhatsApp අංකයක් හඳුන්වා දී තිබෙන අතර 070-7898889 යන අංකයට මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදිය හැකි බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් ඊයේ (16) ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ හා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්සගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ පරිශ්‍රයේදී නිල වශයෙන් එම අංකය හඳුන්වා දෙනු ලැබුවා.

එමෙන්ම වැඩිහිටි අපයෝජනය පිළිබඳව දීප ව්‍යාප්තව ජනතාව දැනුවත් කිරීමේ අවස්ථාව සංකේතවත් කරමින් කොඩි පැළඳවීමක් ද සිදු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

තෙල් හිඟයක් ගැන පැතිරෙන පුවත් ව්‍යාජයි – බලශක්ති අමාත්‍යාංශය

තෙල් හිඟයක් ගැන පැතිරෙන ව්‍යාජ ප්‍රවෘත්තිවලට නොරැවටෙන ලෙස බලශක්ති අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මැද පෙරදිග යුද වාතාවරණය හේතුවෙන් මෙරට ඛනිජ තෙල් හිඟයක් ‍ඇතිවිය හැකි බවට වන විවිධ ව්‍යාජ හා නොමඟ යවන සුළු පුවත් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව නිරීක්ෂණය වී ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කරන්නේ.

ඉදිරි මාස දෙකකට අවශ්‍ය තෙල් තොග ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ඇති බවත්, ඉදිරියට ඇනවුම් කරන ලද තෙල් තොග ගැටලුවකින් තොරව ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images

“අපේ හමුදාවේ ඉන්නේ සෙබළු තමයි”..හිටපු හමුදාපති ෆිල්ඩ් මාශල් සරත් ෆොන්සේකා කියන කතාව….

https://youtube.com/watch?v=H_JXHKXgm8g%3Fsi%3DfUtH-UOjR6dz_rBU

සමගි ජන බලවේගයේ දඹුල්ල ප්‍රාදේශීය සභා සභිකයින් 06කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ සභිකයින් 06 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති හා උප සභාපති පත්කිරීමේදී සමගි ජන බලවේගයේ පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයට අනුකූලව ක්‍රියා නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව,

* සුසිල් හේරත්

* අනිල් ඉන්ද්‍රජිත් දසනායක

* ධනංජය සම්පත් කරදගොල්ල

* ප්‍රියරංජන කුමාර රත්නායක

* කුසුමා කුමාරි

* ක්‍රිෂාන්ති දිල්රුක්ෂි ප්‍රේමරත්න

යන අයගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙන බවයි සඳහන් වන්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අදියර 1 යටතේ, ‘විමසිලිමත් බවින් සිටින ලෙසට’ මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, අගලවත්ත, වලල්ලාවිට, පාලින්දනුවර හා බුලත්සිංහල, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, යටියන්තොට හා දෙහිඕවිට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, ඇහැලියගොඩ, පැල්මඩුල්ල, ඇලපාත, කලවාන, නිවිතිගල, අයගම හා රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙනවා.