විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ඉහළම වැටුප් තල 10 අතරට ගෙනැවිත් තිබෙනවා – අගමැතිනිය

විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ වැටුප්, ඉහළම වැටුප් ශ්‍රේණි 10 අතරට ගෙනවිත් තිබෙන බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

වැටුප් වැඩි කිරීමත් සමඟ වැටුප් ශ්‍රේණි අතර 07වන ස්ථානය විදුහල්පතිවරුන්ටත්, 08වන ස්ථානය ගුරුවරුන්ටත් ලබාදී ඇති බවයි අග්‍රාමාත්‍යවරිය අද (25) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සඳහන් කළේ.

ඒ අනුව විදුහල්පතිවරුන්ගේ වැටුප රු. 30,105කින් සහ ගුරුවරුන්ගේ වැටුප රුපියල් 25,360කින් වැඩි කර ඇති බව ද අගමැතිවරිය ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම පූර්ව ළමාවිය සංවර්ධනයේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා අධ්‍යාපනයේ සංවර්ධනය වෙනුවෙන් රුපියල් බිලියන 6,019ක් වැඩිපුර වෙන්කොට තිබෙන බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් පවසා සිටියේ.

අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.

අයවැය දෙවනවර කියවීමට පක්ෂව ඡන්ද 155 ක් හා විපක්ෂව ඡන්ද 46 ක් හිමිව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම ආරම්භ වෙයි

අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර මන්ත්‍රීවරුන්ට අසුන් ගැනීම සඳහා නාද කරන සීනුව මේ වන විට නාද කර තිබෙනවා.

ඉන් අනතුරුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අයවැය දෙවනවර කියවීම සඳහා සිය ඡන්දය භාවිතා කිරීමට නියමිතයි.

මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ සංචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අවධානය

මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ සංචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් Masood Imad අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (25) පැවැති හමුවේදී මේ පිළිබඳ සාකච්ඡා කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

පසුගිය මැතිවරණවලදී ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය ලබාගත් ජයග්‍රහණ වෙනුවෙන් මෙහිදී මාලදිවයින් ජනරජයේ සුබ පැතුම් එක් කළ මහ කොමසාරිස්වරයා, මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව රට තුළ සිදුව ඇති නව පරිවර්තන පිළිබඳව ද සතුට පළ කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

ඉෂාරාගේ මව සහ සොහොයුරා රඳවා ප්‍රශ්න කරන බව අධිකරණයට දැනුම්දෙයි

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින ප්‍රධාන සැකකාරියගේ මව සහ සොහොයුරා රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය අද (25) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාරියගේ මව වන සේසත්පුර දේවගේ සමන්ති සහ සොහොයුරා වන පිංපුර දේවගේ චමිඳු තිවංක වීරසිංහ යන අය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි හමුවට ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

සැකකරුට හා සැකකාරියට මෙම සිද්ධිය පිළිබඳව දැනුවත් භාවයක් තිබූ බවත්, ඔවුන් තොරතුරු වසන් කර තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

සිද්ධියට පෙර වෙඩික්කරුගේ Messenger ගිණුමෙන් උසාවිය අසල දී “සංජීවට ගහනවා” යනුවෙන් ප්‍රධාන සැකකාරිය සිය සොයුරාට පණිවිඩයක් එවා තිබූ බවත්, වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව “වැඩේ ඉවරයි” යනුවෙන් තවත් පණිවිඩයක් එවා ඇති බවත්, එසේම ප්‍රධාන සැකකාරිය මුදල් හුවමාරු කිරීම සිදු කර ඇත්තේ අත්අඩංගුවට ගෙන තිබෙන සිය මවගේ බැංකු ගිණුම හරහා බවත්, ප්‍රහාරයෙන් පසුව ඇය මීගමුව ප්‍රදේශයේදී රෙදි මිලදී ගෙන ඇත්තේද ඇයගේ මවගේ බැංකු ගිණුම හරහා බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ කාලය දීර්ඝ කිරීමට අනුමැතිය

කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියෙහි ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ව්‍යාපෘති අධීක්ෂණය, ගැටලු විසඳීම සහ උපයෝගී සේවා සම්බන්ධීකරණය සඳහා ශ්‍රී ලංකා රජය සහ CHEC Port City Colombo (Pvt) Ltd සම්බන්ධ කරන ප්‍රධානතම ඒකකය ලෙස කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය කටයුතු කරන ලබන බවයි සඳහන් වෙන්නේ.

මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ සැලසුම් කර ඇති කාර්යයන් 2027 ජුනි මාසය වන විට අවසන් කිරීමට අපේක්ෂිත බැවින්, කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය මගින් සිදු කරනු ලබන අධීක්ෂණ හා සම්බන්ධීකරණ කාර්යයන් අඛණ්ඩව තවදුරටත් සිදු කළ යුතු බව හඳුනාගෙන තිබෙන බවද සඳහන්.

ඒ අනුව, එකී ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ මෙහෙයුම් කාලය 2027-06-05 දින දක්වා දීර්ඝ කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

67bd9a9db1a06

මොරටුව විශ්ව විද්‍යාලයේ විද්‍යාගාරයක රසායනික කාන්දුවක්

මොරටුව විශ්ව විද්‍යාලයේ විද්‍යාගාරයේ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් සිදුවෙමින් තිබෙනවා.

ඒ අනුව කොළඹ ගිනි නිවන ඒකකයේ රථ 03ක් සහ පරමාණුක බලශක්ති අධිකාරීයේ නිලධාරීන් කණ්ඩායමක් ද අදාළ ස්ථානයට ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් සබරගමුව සහ ඌව පළාත්වල දෙමළ පාසල්වලට 27 වැනිදා නිවාඩු

අනිද්දා (27) දිනයේදී සබරගමුව සහ ඌව පළාත්වල දෙමළ පාසල් සඳහා නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන්, ඊට පසුදා මෙලෙස නිවාඩු ලබාදෙන බවයි පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සඳහන් කළේ.

මීට පෙර උතුරු සහ නැගෙනහිර පළාත්වල දමිළ පාසල් සඳහා ද ලබන 27 වැනිදා නිවාඩු ලබා දීමට තීරණය කර තිබුණා.

සූදු ක්‍රීඩා නියාමනය කිරීමට නව අධිකාරියක්

ශ්‍රී ලංකාව තුළ ඔට්ටු ඇල්ලීම සහ සූදු ආයතන ප්‍රමිතිකරණය කිරීම සඳහා නියාමන අධිකාරියක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මෙහිදී සමාජ හානි අවම කිරීම, සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම හා ආර්ථික වර්ධනය කිරීම සඳහා පුළුල් හා පුර්ණ විෂය පථයක් සහිත ස්වාධීන නියාමන ආයතනයක් ලෙස සූදු ක්‍රීඩා නියාමනය කිරීමේ අධිකාරිය පිහිටුවීමට නියමිත බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ඒ සඳහා වූ පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට 2023-06-26 වැනි දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙන අතර, ඒ අනුව එම පනත් කෙටුම්පත් කිරීමේ කාර්යය අඛණ්ඩව කරගෙන යාම සඳහා වත්මන් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය අවශ්‍ය බව නීති කෙටුම්පත් සම්පාදක විසින් දැනුම් දී තිබෙනවා.

එකී පනත් කෙටුම්පත කඩිනමින් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

67bd90b19e716

අයවැය ලස්සන වචන ටිකක් විතරයි අනුර කුමාර දිසානායක දක්ෂ කථිකයෙක් – අජිත් පී පෙරේරා….

https://www.youtube.com/embed/E869t9v4rFo?si=aARhw-2naXzd2CTM” title=