නව තානාපති කාර්යාලය සම්බන්ධයෙන් ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය තුළ වර්තමානයේ පවතින ගැටුම්කාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වෙනත් ස්ථානයක ස්ථානගත කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව Amini Villa, Kohestan Alley, Imam Khomeini Street, Owlom, Masal, Rasht යන ලිපිනයේ තානාපති කාර්යාලය තාවකාලික ස්ථාපිත කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම දුරකථන අංක +98 939 205 5161 / +98 991 205 7522 / +98 936 636 0260 හා slembiran@yahoo.com යන විද්‍යුත් තැපැල් ලිපිනය ඔස්සේ ඉරානයෙන් පිටවීමට අපේක්ෂා කරන හෝ සහාය අවැසි ඕනෑම අයෙකුට තානාපති කාර්යාලය හා සම්බන්ධ විය හැකි බවයි සඳහන් වෙන්නේ.

ජරාජීරණ වූ ඩීල් දේශපාලනය යළි හදන්න ආණ්ඩුව මූලික වෙලා – හෙක්ටර් අප්පුහාමි

ජරාජීරණ වූ ඩීල් දේශපාලනය යළි හදන්නට ආණ්ඩුව මූලික වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පවසනවා.

ඒ අනුව හොරුන්ට දඬුවම් දෙන බවත්, ‘සුද්ද කරන’ බවත් ආණ්ඩුව පැවසුවද, ආණ්ඩුව විසින් හොරුන් යැයි පැවසූ පිරිස් සමගම සභා පිහිටුවීමට කටයුතු කර ඇති බවයි අද (18) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මෙරට ඡන්ද ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් විය යුතු බවද, ඡන්දයට පරිබාහිරව සභාපති හා උප සභාපති තෝරා ගැනීමේ අවස්ථාවලදී බොහෝ තැන්වල ගැටලු නිර්මාණය වී ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

ඇතැම් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේ දී මතු වූ අර්බුද සම්බන්ධයෙන් අධිකරණය හමුවට යෑමට කටයුතු කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

SL vs BAN 1st TEST : දෙවන දිනය අවසානයේ බංග්ලාදේශ ලකුණු පුවරුව – 484/9

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අද (18) අවසන් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම දිනය නිමා වන විට කඩුලු 09 ක් දැවී ලකුණු 484 ක් ලබා සිටිනවා.

පන්දුවට පහරදීමේදී  බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටින නායක Najmul Hossain Shanto ලකුණු 148 ක්, Mushfiqur Rahim ලකුණු 163 ක් හා Litton Das ලකුණු 90 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ප්‍රනාන්දු, මිලාන් රත්නායක හා තරිඳු රත්නායක කඩුලු 03 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

ලකුණු පුවරුව පහතින්.

news images

පරණ දේශපාලනය තවමත් බූවල්ලෙක් වගේ හැම තැනම අඬු විහිදුවාගෙන ඉන්නේ – ජනපති

සෑම තැනකම බූවල්ලෙක් මෙන් අඬු විහිදුවාගෙන ඇති පැරණි දේශපාලනය නව පරිවර්තනයකට ලක් කරන්නේ කෙසේදැයි වන අභියෝගය ආණ්ඩුව හමුවේ ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ගමන් කරමින් තිබූ දේශපාලනය, තීරණාත්මක පරිවර්තනයකට ලක්වෙමින් ඇති බවත්, පැරණි දේශපාලනය හරහා දීර්ඝ කාලයක් බලය ‍හෙබවීම හේතුවෙන්, එම බලය විසින් නතු කරගත් ආයතන ව්‍යුහයන් රාශියක් ඇති බවයි අද (18) මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ධුරයෙන් විශ්‍රාම යාම වෙනුවෙන් පැවති උත්සවය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

තවමත් එම බූවල්ලාගේ අඬු සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට නොහැකි වී ඇති බව තමන් පිළිගන්නා බවද ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා සිටියා.

ආණ්ඩුව විසින් බලය ලබා ගැනීම යන කාරණය නිසා ආර්ථිකයට සමීප සංවිධාන, ආයතන, පුද්ගලයින් හා ක්ෂේත්‍රවල යම් තැති ගැන්මක් ඇතිවූ බවද, විකෘති කරන ලද අදහස් ගොඩනගා තිබුණු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

අත්පත් කර ගන්නා ලද දේශපාලන පරිවර්තනය ස්ථාවර කර ගැනීමට නම් මෙම අභියෝගයට මුහුණ දී එය සමනය කරගත යුතු බවත්, එසේ නොමැතිව දිගු කාලීන ආණ්ඩුකරණයට ඉඩ ප්‍රස්ථාවක් නිර්මාණය නොවන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් කෙහෙළිය, බිරිඳ සහ දියණිය බන්ධනාගාරයට රැගෙන යයි

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරින ලද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය යන අයට ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන්, බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන් තිදෙනාව බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් ඔවුන් තිදෙනා එක් සැකකරුවෙකු රුපියල් 50,000/- ක මුදල් ඇප සහ රුපියල් මිලියන 05 බැගින් වූ ශරීර ඇප තුනක් බැගින් මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග නියෝග කර තිබුණා.

මත්තල ගුවන්තොටුපොළේ අලි වැට සම්බන්ධයෙන් සාකච්ඡාවක්

මත්තල රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වටා ඉදිකර ඇති ආරක්‍ෂිත වැට සම්බන්ධව පවත්නා ගැටලු සාකච්ඡා කිරීම සඳහා ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පවත්වා තිබෙනවා.

වන අලින්ගෙන් ගුවන්තොටුපොළ ආරක්‍ෂිත වැටට නිරන්තරයෙන් සිදුවන හානි සහ එම හානි වළක්වා ගැනීමට ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුව ඇති බවයි සඳහන් වෙන්නේ.

ගුවන්තොටුපොළ මෙහෙයුම් සහ මහජන ආරක්‍ෂාව යන දෙඅංශයටම ඇති විය හැකි තර්ජනය හඳුනා ගනිමින්, ගැටලු විසඳලීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස එහිදී ආරක්‍ෂක ලේකම්වරයා විසින් ත්‍රිවිධ හමුදාව ඇතුළු අදාළ සියලුම පාර්ශ්වකරුවන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

මෙම සාකච්ඡාව සඳහා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) පුද්ගලික සමාගම සමඟ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී වී ඇති බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.

සබරගමුවේ සරසවි සිසුවෙකු සිය දිවි නසා ගැනීමේ සිද්ධියට අදාළ නීතීඥ සංගමයේ පෙත්සම කැඳවීමට දින නියම කෙරේ

සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ චරිත් දිල්ෂාන් බරපතල නවක වධ සිද්ධියකට මුහුණ පා සියදිවි නසා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජූලි 18 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) නියෝග කර තිබෙනවා.

අදාළ සිසුවා බරපතල නවක වධ සිද්ධියකට මුහුණ පා සියදිවි නසා ගැනීමේ සිද්ධිය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි නීතීඥ සංගමය ඉල්ලා සිටින්නේ.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ රජීව් අමරසූරිය, එහි ලේකම් චතුර ගල්හේන යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

එහි වග උත්තරකරුවන් ලෙස සබරගමුව විශ්ව විද්‍යාලය, එහි උප කුලපතිවරයා ඇතුළු පාලක සභාවේ සාමාජිකයින්, උසස් අමාත්‍යාංශයේ ලේකම්, ආරක්ෂක ලේකම්, පොලිස්පති, වැඩබලන පොලිස්පති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා, නීතිපතිවරයා ඇතුළු 69 දෙනෙකු නම් කර ඇති බවයි වැඩිදුර‍ටත් සඳහන් වන්නේ.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනගේ සේවය ඇගයීමට ලක් කෙරේ

අයහපත් දේ වළක්වා ගැනීමට පොරබැඳීම මෙන්ම යහපත් දේ නිර්මාණය කිරීමට දායකවීම රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බවත්, එහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන රටට මහඟු ආදර්ශයක් සැපයූ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

එසේම, පසුගිය ආර්ථික අර්බුදයෙන් පසු ඇතිවූ පරිවර්තනීය යුගයේදී ඉතා සුමට ලෙස මෙරට ආර්ථිකය හසුරවමින්, රටට ආර්ථික ජයග්‍රහණ අත්කර දීමට එතුමා ලබා දුන් සුවිශේෂී දායකත්වය සහ කැපවීම අගය කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් සිය කෘතඥතාව ඔහුට පිරිනැමූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ධුරයෙන් විශ්‍රාම යාම වෙනුවෙන්, අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සංවිධානය කර තිබූ උත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කරනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නි‍වේදනය පහතින්.

news images

IMF විධායක මණ්ඩලය ජුලි 01 රැස්වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ජූලි 01 වනදා රැස්වීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් පවසනවා.

ඒ අනුව විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ වන ශ්‍රී ලංකාවේ සිව්වන සමාලෝචනය එහිදී ඇගයීමට නියමිත බවයි ඇය සඳහන් කළේ.

ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිත මීළඟ වාරිකය ලෙස ඩොලර් මිලියන 344ක පමණ මූල්‍ය පහසුකමක් සඳහා ප්‍රවේශය ලබා ගැනීමට හැකිවනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ටිල්වින් සිල්වා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තු ප්‍රධානියා අතර හමුවක්

චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් මත මේ දිනවල චීනයේ සංචාරයක නිරත වන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු පිරිස, චීන කොමියුනිස්ට් පක්ෂයේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ මූලස්ථානයේදී එහි ප්‍රධානියා වන Liu Jianchao ඇතුළු ඉහළ පෙළේ නායකයින් සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ සහ චීන කොමියුනිස්ට් පක්ෂය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය කිසිවෙකුටත් පලුදු කළ නොහැකි බවත්, එම මිත්‍රත්වය පලුදු කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බවයි Liu Jianchao අවධාරණය කර තිබෙන්නේ.

රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළට අවශ්‍ය ඕනෑම විටෙක සහාය ලබාදීමට චීනය සූදානම් බවද, කිසිදු රටක ස්වෛරීභාවයට හානිවන අකාරයේ ක්‍රියා මාර්ගවලට චීනය සූදානම් නැති බවද ඔහු සඳහන් කර තිබෙනවා.

චීනය සහ ලංකාව අතරත්, ජනතා විමුක්ති පෙරමුණ සහ චී‍න කොමියුනිස්ට් පක්ෂය අතරත් පවතින මිත්‍රත්වය මෙම වසරේ මුලදී සිදු කෙරුණු ජනතා විමුක්ති පෙරමුණේ නායක, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සංචාරයේදී තව දුරටත් වර්ධනය වූ බවත්, එමෙන්ම තමන් ඇතුළු පිරිස සිදු කරන මෙම සංචාරයේදී එම මිත්‍රත්වය තවදුරටත් වර්ධනය වන බවයි එහිදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කර ඇත්තේ‍.