උසස් පෙළ පැවැත්වෙන කාලසීමා​වේ විදුලි කප්පාදුවක් නොකරන්න බලාපොරොත්තු වෙනවා – ජනක රත්නායක

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේදී විදුලි කප්පාදුව සිදුකරන ආකාරය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ අනුව විභාග කොමසාරිස්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් ලබාගෙන ඒ අනුව අවශ්‍ය පියවර කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සම්පාදනය කරමින් පවතින බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ.

විභාගය පැවැත්වෙන කාල සටහන විභාග දෙපාර්මේන්තුවෙන් ලබාගෙන විදුලි කප්පාදුවකින් තොරව කටයුතු කළ හැකි ක්‍රමවේදයක් සකස් කිරීමට බලාපොරොත්තුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන කමිටු වාර්තාව ක්‍රීඩා ඇමතිට භාරදෙයි

විස්සයි විස්ස ලෝක කුසලාන සංචාරයට එක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අදාළව වාර්තා වූ සිදුවීම් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කළ විමර්ශන කමිටුවේ වාර්තාව අද (10) අමාත්‍යවරයා වෙත භාරදී තිබෙනවා.

ඊට අදාළ විමර්ශන සඳහා අමාත්‍යවරයා විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ සභාපතීත්වයෙන් සහ සාමාජිකයින් පස්දෙනෙකුගෙන් යුත් විමර්ශන කමිටුවක් පත් කිරිමට කටයුතු කළා.

අතීතයට බලපාන ආකාරයට විදුලි බිල සංශෝධනය කරන්න බැහැ – ජනක රත්නායක

අතීතයට බලපාන ආකාරයට විදුලි බිල වැඩි කළ නොහැකි බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති යෝජනාවෙහි ඇති ගණනය කිරීම් වැරදි බැවින් ඊට අනුමැතිය ලබාදීමට පෙර එම යෝජනාව සම්බන්ධයෙන් ගැඹුරින් සලකා බලන බවයි අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

විදුලිබිල වැඩි කිරීමට අදාළ යෝජනාව ලැබුණේ ඊයේ දිනයේ බවත් මෙය සලකා බැලීම දින 45 ක 50 ක අතර කාලයක් යන බවත් විදුලිබල මණ්ඩලය අසාධාරණයක් නොවන ලෙසත් පාරිභෝගිකයන්ට සාධාරණයක් වන ලෙසත් සියලු කටයුතු සිදුකරන බවයි ජනක රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.

ලෝකයේ කිසිදු රටක් ඡන්දයක් තියලා බංකොලොත්වෙලා නෑ – මැතිවරණ කොමිසමේ සභාපති

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මෙතෙක් ගත් සෑම තීරණයක් සඳහාම මැතිවරණ කොමිසමේ සාමාජිකයන් 5 දෙනාගේ ඒකමතික අනුමැතිය හිමිව ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා පවසනවා.

ලොව කිසිදු රටක් ඡන්දයක් පවත්වා බංකොලොත් වී නොමැති බවත් ඡන්ද පවත්වා බංකොලොත් බවින් ගොඩ ආ රටවල්ද තිබෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

රටක් ඉදිරියට යන්නේ මහජන සම්මුතියෙන් බවයි රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

කැබිනට්ටුව පළාත් පාලන මැතිවරණයේ ඇප මුදල් භාර ගැනීම නවත්වන්න තීරණය කරලා – විපක්ෂ නායක

පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් භාරගැනීම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවීම කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලිපි යොමු කර ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වැළැක්වීමට ජාතික කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කර අද එහි ප්‍රතිඵල නිකුත් වූ බවද විපක්ෂ නායකවරයා සඳහන් කළා.

වහාම මැතිවරණය පවත්වන ලෙස ආණ්ඩුවට දැනුම්දෙන බවත් රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය කෙලෙසීමට ආණ්ඩුවට කිසිම අයිතියක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

පන්දුවාර 26 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව – 141/4

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පළමු එක්දින තරගය මේ වන විට Guwahati හි දී පැවැත්වෙනවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 26 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 141 ක් ලබා සිටිනවා.

පන්දුවට පහරදෙමින් සිටින පැතුම් නිස්සංක ලකුණු 57 ක් හා දසුන් ශානක ලකුණු 3 ක් ලබා සිටිනවා.

එජාපය සහ පොහොට්ටුව මැතිවරණයට එක්ව තරග කිරීමට තීරණය කරයි

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදි එක්ව තරග කිරීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග අද (10) දහවල් පැවති රැස්වීමකින් අනතුරුව පාලිත රංගේ බණ්ඩාර මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.

ඒ අනුව පක්ෂ දෙකෙහි දිස්ත්‍රික් ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවකදී එක්ව තරග කරන පළාත් පාලන ආයතන සහ වෙන් වෙන්ව තරග කරන පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් තීරණයකට පැමිණි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට නම් ශ්‍රී ලංකාවට දුන් ණය අවලංගු කළ යුතුයි – ආර්ථික විද්වතුන්

ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා එම ණය ලබා දුන් ණය හිමියන් විසින් ඒවා අවලංගු කළ යුතු බව ජාත්‍යන්තර විද්වතුන් පිරිසක් පවසනවා.

ආර්ථික විශේෂඥයින් 182 දෙනෙකු නිවේදනයක් ද නිකුත් කරමින් සඳහන් කරන්නේ, මෙරට බාහිර ණයවලින් 50% ක් වන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මිලදී ගෙන ඇති එම ණය හිමියන් මේ වනවිටත් විශාල ලාභයක් උපයා ඇති බවත් ඔවුන් එම ලාභ උපයා ඇත්තේ අවදානම් සාධකය ද සහිතව බැවින්, ශ්‍රී ලංකාව ණය ගෙවීම් නතර කිරීමේ ප්‍රතිඵලය ද විඳගත යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම ශ්‍රී ලංකාවට වඩාත් කඩිනම් අවශ්‍යතාවක් ඇති මොහොතේ සිය වගකීම් ඉටුකරමින් නිසි ප්‍රතිචාර දැක්වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි බහුපාර්ශ්වික ආයතන ද අපොහොසත් වී ඇති බව ජාත්‍යන්තර ආර්ථික විශේෂඥයින් විසින් පෙන්වාදී තිබෙනවා.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාව විසින් ගෙවීමට ඇති ණය කපා හරිමින් හෝ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට සහාය වෙමින් ණය හිමියන් ඇතුළු සියලු පාර්ශ්වයෙන් ශ්‍රී ලංකාවට සහාය විය යුතු බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්,

ff95441a78f5f7d0bd654e28ec07d1c4

පළාත් පාලන ආයතන මැතිවරණය කල් දැමීමට රජය නොගහන තුරුම්පුවක් නෑ – ජී.එල්. පීරීස්

පළාත් පාලන ආයතන මැතිවරණය කල් දැමීමට රජය හැකි සෑමදේම සිදුකළද, එය සාර්ථක නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් පවසනවා.

මේ වන විට මැතිවරණ කොමිෂන් සභාව බෙදී ඇති බවට ප්‍රවෘත්ති පළකරන බවත්, එවැනි බෙදීමක් මැතිවරණ කොමිසම තුළ නොමැති බවයි මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු සඳහන් කළේ.

එම පුවත් මවා එළියට දමන ප්‍රවෘත්ති බවත්, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ සාමාජිකයන් එකම ස්ථාවරයක ඇති බවත් එයට හොඳම සාක්ෂිය මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ නිල ගැසට් නිවේදනය බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් වැඩිදුරටත් සඳහන් කළේ.

බ්‍රසීලයේ ඇති වූ ප්‍රචණ්ඩත්වය ගැන දැඩි කනස්සල්ලට පත්වෙනවා – ජනපති

බ්‍රසීලයේ ඇති වූ ප්‍රචණ්ඩත්වය ගැන තමා දැඩි කනස්සල්ලට පත්ව සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ව්‍යවස්ථා විරෝධී ක්‍රම මගින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් පෙරලා දැමීමේ කණ්ඩායම් විසින් සිදුකළ එවැනිම උත්සාහයන් ශ්‍රී ලංකාවද අත්දුටු බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

ප්‍රජාතන්ත්‍රවාදය සහ එහි ආයතන සියලු පුරවැසියන් විසින් ගෞරවයට පාත්‍ර වීම අත්‍යවශ්‍ය බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ.