පාස්කු වින්දිතයින්ට වන්දි ගෙවීමට හිටපු ජනපති මෛත්‍රී ඇතුළු පිරිසකට නියෝග

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන අය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබූ නඩුවක තීන්දුව ලබා දෙමින් මෙම නියෝගය ලබාදී තිබෙනවා.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රුපියල් මිලියන 100ක් ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු රාජ්‍ය සේවයේ බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් රුපියල් මිලියන 75 බැගින් ද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් රුපියල් මිලියන 50ක් ද, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් පියල් මිලියන 10ක් ද සිය පුද්ගලික මුදල්වලින් වන්දි වශයෙන් ගෙවිය යුතු බවයි අධිකරණය නියම කර තිබෙන්නේ.

ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව කල්යයි

කාන්තාවකට අතවර කිරීමේ චෝදනා එල්ලවී ඇප මත නිදහස්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩුව නැවත කැඳවීම පෙබරවාරි 23 වැනිදා දක්වා කල්දමා තිබෙනවා.

සිඩ්නි හි ඩව්නිං සෙන්ටර් අධිකරණයේදී එම නඩුව අද (12) කැඳවු අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

29 හැවිරිදි කන්තාවක් විසින් සිඩ්නි නුවර පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගත් අතර පසුව ඔහු ඇප මත නිදහස් කෙරුණා.

වසන්ත මුදලිගේ පිළිබඳව සොයාබැලීමට මානව හිමිකම් කොමිසම වැලිකඩ බන්ධනාගාරයට

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩල කැඳවුම්කරු වසන්ත මුදලිගේ හමුවීම සඳහා වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත ගොස් තිබෙනවා.

ඒ අනුව එම නිලධාරීන් කණ්ඩායම වසන්ත මුදලිගේ රඳවා සිටි රැඳවුම් ස්ථානය වෙත ගොස් ඇති අතර ඔහුගේ රැඳවුම් තත්ත්වය පරීක්ෂා කර එය වැඩිදියුණු කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳව බන්ධනාගාර නිලධාරීන් දැනුවත් කර තිබෙන බවයි සඳහන් වන්නේ.

මේ සඳහා එම කොමිෂන් සභාවේ කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි, අධීක්ෂණ හා ඇගයුම් අධ්‍යක්ෂ නිහාල් චන්ද්‍රසිරි මහතා ඇතුළු කණ්ඩායමක් ගොස් ඇති බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළේ.

ආදර්ශා කරදන අත්අඩංගුවට

ආදර්ශා කරදන පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහාචාර්ය ආශු මාරසිංහ විසින් කරන ලද පැමිණිල්ලකට අදළව ඇය අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

සතියක් තුළ ඩෙංගු රෝගීන් 2,142ක් වාර්තා වෙයි

2023 වසරේ පළමු සතිය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 2,142 දෙනෙකු හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඒ අනුව පසුගිය 02 වනදා සිට 07 වනදා දක්වා කාලය තුළ එම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බවයි සඳහන් වන්නේ.

එම කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 440ක් වන අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 433ක්, පුත්තලම ප්‍රදේශයෙන් 273ක්, කල්මුණේ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 147ක්, යාපනය දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගින් 128 දෙනෙකු හඳුනාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා පිළිබඳව ජපාන ව්‍යාපාරිකයින්ගේ අවධානය

ජපානයේ කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය සටෝෂි ෆුජිමරු ( Satoshi Fujimaru) මහතා ඇතුළු ජපාන ව්‍යාපාරිකයින් කණ්ඩායමක් අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

ආගන්තුක සත්කාරය සහ සංචාරක ව්‍යාපාරය, පතල් කැණීම, ශ්‍රම බලකාය පුහුණු කිරීම ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳ විශේෂ අවධානය යොමු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

2023 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික හැකිලීම 4.2% කට සීමා වේවි – ලෝක බැංකුව

2023 වසරේ මෙරට ආර්ථික හැකිලීම 4.2% කට සීමාවනු ඇති බව ලෝක බැංකුව පවසනවා.

2022 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකය 9.2% කින් හැකිළීමට ලක්ව තිබෙන බවයි 2023 වසර සඳහා ලෝක බැංකුවේ ගෝලීය ආර්ථික දැක්ම ඉදිරිපත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ.

ආහාර සහ ඉන්ධන, ණය සේවාකරණය සඳහා අවශ්‍ය විදේශ විනිමය නොමැතිවීම නිසා හටගත් අර්බුදය හේතුවෙන් මෙලෙස ආර්ථිකය හැකිළීමට ලක්ව ඇති බවයි ලෝක බැංකුව ප්‍රකාශ කළේ.

වර්තමානයේ රට තුළ ක්‍රියාත්මක ආර්ථික ස්ථායිකරණය කිරීමේ වැඩසටහනත් සමඟ අර්බුදයේ ප්‍රතිවිපාක සහ දරිද්‍රතාවය ඉහළ ගොස් පසුගිය දශකය තුළ රට තුළ ලැබූ වර්ධනයන් ආපසු හැරවීමට ලක්ව තිබෙන බවයි එම වාර්තාව මඟින් පෙන්වා දෙන්නේ.

2024 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 1% වර්ධනයක් ලඟා කරගනිමින් වර්ධනීය මාවතට අවතීර්ණ වනු ඇති බවද ලෝක බැංකුව වැඩිදුරටත් පවසනවා.

හෙලිකොප්ටරය එළිදකී

විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් එක්ව “නිදහස් ජනතා සන්ධානය” නමින් නව සන්ධානයක් හෙලිකොප්ටරය ලකුණින් එළිදක්වා තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය ඇතුළු දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 10 ක් එක්ව මෙම සන්ධානය පිහිටවා ඇති අතර, එළඹෙන පාළාත් පාලන මැතිවරණයට එක්වී තරග කිරීම සඳහායි මෙම සන්ධානය බිහිකර තිබෙන්නේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, ජී.එල්.පීරිස්, දයාසිරි ජයසේකර, උදය ගම්මන්පිළ, වාසුදේව නානායක්කාර, අනුර ප්‍රියදර්ශන යපා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් පාර්ලිමෙන්තුවට පිවිසි මන්ත්‍රීවරු 35 දෙනෙකු මේ සඳහා සහභාගීවී තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවට පැවරී ඇති බලතල ක්‍රියාත්මක කිරීමට ඉඩදිය යුතුයි – නීතිඥ සංගමය

පළාත් පාලන මැතිවරණයේදී ජනතාවගේ ඡන්ද බලය ක්‍රියාත්මක කිරීමට මැදිහත් වීමට රජය දරන උත්සාහයන් පිළිබඳව දැඩි කනස්සල්ලට පත්ව සිටින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ අනුව ජනතාවගේ ඡන්ද බලය ආරක්ෂා වන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට අනුව කටයුතු කරන ලෙසයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ සියලුම රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතිය යටතේ මැතිවරණ කොමිෂන් සභාවට පැවරී ඇති බලතල බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට ඉඩදිය යුතු බව එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

lawyers-bar-association

ගෝඨාභය සහ මහින්ද ඇතුළු පිරිසකට කැනඩාවෙන් සම්බාධක

1983 සිට 2009 වසර දක්වා ශ්‍රී ලංකාවේ පැවති සන්නද්ධ ගැටුම් වලදී මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් හතරදෙනෙකුට එරෙහිව විශේෂ ආර්ථික පියවර පනතට අනුව රෙගුලාසි යටතේ සම්බාධක පනවන බව කැනඩා විදේශ කටයුතු අමාත්‍යවරයා පවසනවා.

ඒ අනුව මෙරට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක සහ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන සිව් දෙනාට මෙලෙස සම්බාධක පනවා ඇති බවයි සඳහන් වන්නේ.

මානව හිමිකම් සම්බන්ධයෙන් සිය වගවීම ආමන්ත්‍රණය කරන ලෙස කැනඩාව සහ ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවෙන් දිගින් දිගටම ඉල්ලා සිටියද, ශ්‍රී ලංකා රජය සිය මානව හිමිකම් බැඳීම් ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇත්තේ සීමිත අර්ථවත් සහ සංයුක්ත ක්‍රියාමාර්ග පමනක් බව එම නිවේදනයේ දැක්වෙනවා.

මෙම සම්බාධක පැනවීම මගින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සිදු කළ පුද්ගලයන්ට අඛණ්ඩව දණ්ඩමුක්තිය ලබාදීම කැනඩාව පිළි නොගන්නා බවට පැහැදිලි පණිවිඩයක් යවන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.