සුමිත්‍රා පීරිස් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ආදරණීය බිරිඳ වන ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඇය 88 හැවිරිදි වියේ පසු වුණා.

ගැහැණු ළමයි, ගඟ අද්දර, යහළු යෙහෙළි, මායා, සාගර ජලය මදි හැඬුවා නුඹ හින්දා, ලොකු දුව, දුවට මවක මිස, සක්මන් මළුව, වෛශ්නාවී ආදී චිත්‍රපට රැසක් ඇය විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා.

උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2021 (2022) වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර ඇති අතර www.doenets.lk ඔස්සේ එම ප්‍රතිඵල ලබාගැනීමට හැකියාව තිබෙනවා.

2021 (2022) වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි අපේක්ෂකයන් 27,012 දෙනෙකු ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා අයදුම් කර තිබුණා.

මැතිවරණ වියදම් නියාමන​ය කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවාදයක්

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට තීරණයක් ගෙන තිබෙනවා.

එම තීරණය ගෙන ඇත්තේ අද (18) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා අවස්ථාවේ දීය.

මෙම විවාදය හෙට (19) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

IMF දෙන ණය ආධාරවලින් විතරක් රටේ ප්‍රශ්න විස‍ඳෙන්​නේ නැහැ – අලි සබ්‍රි

අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) විසින් ලබාදෙන ඇමෙරිකානු ‍ඩොලර් බිලියන 2.9කින් පමණක් රටේ සියලු ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය නොහැකි බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි පවසනවා.

කෙසේ වෙතත් අමාත්‍යවරයා කියා සිටියේ එමඟින් මෙරටට දීර්ඝ කාලයක් තිස්සේ අවශ්‍යව තිබූ ජනප්‍රිය නොවන එහෙත් ගත යුතුව තිබුණු තීන්දු තීරණ ගැනීමට හැකි වතාවරණයක් සැලැසෙන බවයි.

ඒ හා සමානවම රට සම්බන්ධයෙන් පොදුවේ ජාත්‍යන්තරය මීට වඩා වැඩි විශ්වාසයක් ඇතිවන බවත්, එමඟින් යම් ස්ථානයකට ගමන් කිරීමට හැකියාව ලැබෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.

යුක්රේනයේ හෙලිකොප්ටර් අනතුරකින් අමාත්‍යවරයෙකු ඇතුළු 18 කට දිවි අහිමි වෙයි

යුක්රේනයේ කිව් අගනුවර නැගෙනහිර ප්‍රදේශයේ සිදුවූ හෙලිකොප්ටර් යානා අනතුරකින් යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පුද්ගලයින් 18 දෙනෙකුට දිවි අහිමි වී ඇති බව BBC වාර්තා කරනවා.

මෙලෙස මිය ගිය Denys Monastyrsky අමාත්‍යවරයා යුක්රේනයේ සටන් වෙනුවෙන් දැඩි දායකත්වයක් ලබාදුන් පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

මෙම හෙලිකොප්ටර් යානය යුක්රේන හදිසි ඒකකයන්ට අයත් එකක් වන අතර එය කඩාවැටෙන අවස්ථාවේ දැඩි මීදුම් ස්වභාවයක් පැවති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

චීනය සහ ශ්‍රී ලංකාව අතර විරසකයක් ඇති කිරීමට ​ඇමෙරිකාව උත්සාහ කරනවා – චීනය

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සාකච්ඡාවලදී චීනය කඩාකප්පල්කරුවෙකු ලෙස කටයුතු නොකරනු ඇතැයි කියා තමා සිතන බවට අමෙරිකානු තානාපති ජුලි චන්ග් විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් චීනය සිය විරෝධය පළ කර තිබෙනවා.

එහිදී ඔවුන් චෝදනා කර සිටින්නේ ශ්‍රී ලංකාව සඳහා වඩාත් සහනදායී විසඳුමක් මූල්‍ය අරමුදල වෙතින් ලබාදීම සඳහා කටයුතු නොකර, චීනය සහ ශ්‍රී ලංකාව අතර විරසකයක් නිර්මාණය කිරීමට අමෙරිකාව උත්සාහ කරමින් සිටින බවයි.

සැබෑ කඩාකප්පල්කරු කවුරුන් ද යන්න වටහා ගැනීමට චීන සහ ශ්‍රී ලංකා ජනතාව බුද්ධිමත් බවද මෙරට චීන තානාපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියා.

පසුගිය වසර හත තුළ රජය ලබාගෙන ඇති ණය ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් මිලියන 29,000 ඉක්මවයි

2015 ජනවාරි 01 වනදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා කාලය තුළදී ශ්‍රී ලංකා රජය විසින් විදේශ රටවලින්, නියෝජිතායතනවලින් සහ බැංකුවලින් ලබාගෙන ඇති ණය ප්‍රමාණය අමෙරිකානු ‍ඩොලර් මිලියන 29,922ක් බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය විසින් නිකුත් කළ වාර්තාවක දැක්වෙනවා.

එම කාලය තුළදී මෙරටට ලැබී ඇති ප්‍රදාන ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 349ක් බවත් අදාළ වාර්තාවේ දැක්වෙනවා.

එම ණය සහ ආධාර ඒවා ලබාගත් නිශ්චිත අරමුණු වෙනුවෙන් භාවිතා කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

සම්පුර්ණ වාර්තාව පහතින්,

9ab9a862ae48ada445190f4f0b3fa3a2

88c26976355a321f60b29920e6788d37

පුනරුත්ථාපන පනතෙන් අරගලකරුවන් මර්දනය කරන්නේ නැහැ – විජේදාස රාජපක්ෂ

පුනරුත්ථාපන කාර්යාංශයේ පනත් කෙටුම්පත හරහා අරගලකරුවන් හෝ විරුද්ධවාදීන්ට මර්දනය කිරීමට උත්සාහ කරන බවට වන චෝදනා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප කළා.

එහිදී මුල් පනත් කෙටුම්පත තුළ නොමඟ ගිය අය සහ සටන්කාමීන් ලෙස අර්ථ ගන්වා ඇත්තේ එල්.ටී.ටී.ඊ. සටන්කාමීන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සහ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

පාස්කු සිදුවීමේ දී එම අන්තවාදී සමඟ කටයුතු කොට අන්තවාදී මත දැරූ තරුණ පිරිස් පුනරුත්ථාපනය කිරීම සිදු කරන බවත්, කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ඇතුළත ක්‍රියාත්මක කිරීමට හැකි කටයුතු පමණක් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

ජනතාවගේ ඡන්ද බලය යටපත් කරන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා – සජිත්

අණ පනත් මගින් ජනතාවගේ ඡන්ද බලය යටපත් කරන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් එවන් කුමන්ත්‍රණ හරහා මැතිවරණය කල් දැමිමට ඉඩ නොදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (18) පාර්ලිමේන්තුවේ දී පවසා සිටියා.

එහිදී විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙලෙස ක්‍රියාත්මක වන්නේ ජනතාවගේ හඬට සවන් නොදී බලහත්කාරයෙන් අණපනත් නීතී ගෙනවිත් මැතිවරණ ක්‍රියාවලිය කුඩුපට්ටම් කිරීමේ කූඨ කුමන්ත්‍රණයක් බවයි.

එම කුමන්ත්‍රණයේ හවුල්කරුවෙකු නොවන ලෙස විපක්ෂ නායකවරයා විසින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගෙන් ඉල්ලීමක්ද කර සිටියා.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ – නීතිපති

පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් විසින් ගොනුකර තිබෙන නඩු අද (18) කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

එහිදි නීතිපතිවරයා විසින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට වන්දි ඉල්ලා ගොනුකර ඇති නඩුවල වගඋත්තරකරුවෙකු වන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනී නොසිටින බව අධිකරණයට දැනුම් දුන්නා.