සතොස භාණ්ඩ වර්ග 4 ක මිල අඩුකරයි

ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග 04ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව වියලි මිරිස්, ලොකු ලූණු, රතු කැකුළු (දේශීය), පාන් පිටි යන භාණ්ඩ වර්ගවල මිල මෙලෙස පහළ දමා ඇති බවයි සඳහන් වන්නේ.

අඩු කළ මිල හා නව මිල පහතින්,

* වියලි මිරිස් 1Kg – රු.25 කින් (නව මිල රු.1675)
* ලොකු ලූණු 1Kg – රු.15 කින් (නව මිල රු.165)
* රතු කැකුළු (දේශීය) සහල් 1Kg – රු.10 කින් (නව මිල රු.169)
* පාන් පිටි 1Kg – රු.5 කින් (නව මිල රු.230)

පෙට්‍රල් මිල ඉහළට

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30 කින් ඉහළ දැමීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 400 ක් වනවා.

එසේම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සංශෝධනයට සමගාමීව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිලද රුපියල් 30කින් ඉහළ දමා ඇති බවයි එම සමාගම සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්,

8dbb6a8863bc907cc4ffc843d46841c5

විදුලි කප්පාදුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ජාතික විභාග පැවැත්වෙන අවස්ථාවලදී විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

වසන්ත මුදලිගේ ඇප මත මුදා හැරේ

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ට ඇප හිමිවීමත් සමඟ ඔහුව ඇප මත මුදා හැරීමට කටයුතු කර තිබෙනවා.

ඒ, ඔහු අද (01) කොටුව මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහුට එරෙහිව පවතින තවත් නඩු 03කට අදාළව ඇප නියම වීමත් සමඟයි.

ඊයේ (31) ත්‍රස්ත පනත යටතේ ඇති චෝදනා සම්බන්ධයෙන් ඔහුව නිදොස් කොට නිදහස් කළ අතර අද ඇප හිමිවූ නඩු 03ට අදාලව ඔහුව නැවත බන්ධනාගාරගත කිරීමට කටයුතු කර තිබුණා.

ක්‍රීඩා ඇමතිගෙන් අධිකරණයට ප්‍රතිඥාවක්

විගණකාධිපතිවරයාගේ වාර්තාව ලැබෙන තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නා බව ක්‍රීඩා ඇමතිවරයා අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් විසින් ගොනුකළ පෙත්සමක් සලකා බැලු අවස්ථාවේදී ඔහු එම ප්‍රතිඥාව ලබාදීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ. පරීක්ෂණ කමිටුවක් මඟින් ඉදිරිපත් කළ වාර්තාවේ නිර්දේශ පදනම් කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අවලංගු කිරීම වළක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පෙත්සම ගොනුකර තිබෙනවා.

වසන්ත මුදලිගේට නඩු තුනකට ඇප

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු තුනකට ඇප ලබාදීමට නියෝග කර තිබෙනවා.

ත්‍රස්ත පනත යටතේ ඇති චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඊයේ (31) නිදහස් කළා.

කෙසේ නමුත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු තුනක් හේතුවෙන් ඔහු අද (01) දිනය දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ අතර මෝසමක් මාර්ගයෙන් එම නඩු අද දිනයේ කැඳවා එම නඩු තුන සඳහා මෙලෙස ඇප නියම කර ඇති බවයි සඳහන් වන්නේ.

නිදහස් සැමරුමට කාදිනල් හිමියන් ඇතුළු කතෝලික සභාව සහභාගී නොවීමට තීරණය කරයි

රට තුළ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක විශාල මුදලක් වැය කරමින් සිදුකරන නිදහස් සැමරුමට කාදිනල් හිමියන් ඇතුළු කතෝලික සභාව සහභාගී නොවන බව සිරිල් ගාමිණී පියතුමන් පවසනවා. ඒ අනුව අද (01) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් සිරිල් ගාමිණී පියතුමන් සඳහන් කළේ, ආර්ථික අර්බුදයත් සමඟ ඇති වූ ගැටලු රැසකින් ජනතාව පීඩා විඳින අවස්ථාවක රුපියල් මිලියන 200 කට අධික මුදලක් වැය කරමින් අභිමානවත් ලෙස සැමරීමට ඇති නිදහස කුමක්ද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවයි. මෙවැනි අර්බුදකාරී තත්ත්වයක මෙවැනි විශාල මුදලක් වැයකර පුහු නිදහස් දින උත්සවයක් පැවැත්වීම ජනතාවට එරෙහිව සිදුකරන මහා අපරාධයක් බවට අවධාරණය කරන බවයි සිරිල් ගාමිණී පියතුමන් සඳහන් කළේ.

වික්ටෝරියා නුලන්ඩ් හා ජනපති අතර හමුවක්

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ්, ජනපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබෙනවා.

එහිදී එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට සහාය දැක්වීම පිළිබඳව ජනාධිපතිවරයා විසින් වික්ටෝරියා නුලන්ඩ්ට සිය ස්තූතිය පළ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

ශ්‍රි ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙන තුරු තවදුරටත් සහාය දැක්වීමටද වික්ටෝරියා නුලන්ඩ් සිය එකඟත්වය පළ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

පසුගිය වසරේ මෙරටට ලැබුණු විදෙස් ප්‍රේෂණ ගැන දැනුම්දීමක්

විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් 2022 වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 3,789 ක් මෙරටට ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් 2021 වසරේදී ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය සටහන්වී ඇත්තේ ඩොලර් මිලියන 5,491 ක් ලෙස බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.

ඒ අනුව 2021 ට සාපේක්ෂව 2022 දී ප්‍රේෂණ 31.0% ක අඩුවීමක් පෙන්නුම් කළද 2022 වසරේ අග භාගයේදී ප්‍රේෂණ කැපී පෙනෙන ලෙස යථා තත්ත්වයට පත්වීමක් පෙන්නුම් කරන බවයි මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

වික්ටෝරියා නුලන්ඩ් දිවයිනට පැමිණෙයි

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.

ඇය සමඟ එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් දෙදෙනෙකු ද පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

ඔවුන් ඊයේ (31) ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL – 191 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.