දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හඳුන්ගොඩ කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

බිලියන 05 ක් වටිනා බහාලුම් 88 ක් රේගුවේ සිරවෙයි

වරාය අධිකාරියේ ගුදම් තුළ දිරාපත් වෙමින් තිබෙන රුපියල් බිලියන 05 ක පමණ වටිනාකමකින් යුත් භාණ්ඩ ඇතුළු බහාලූම් 88ක් සතියක් ඇතුළත ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා උපදෙස් ලබාදී තිබෙනවා.

එම භාණ්ඩ හා බහාලූ අතර පුවක්, බාස්මතී සහල්, ටයිල්, වාහන, වාහන අමතර කොටස්, රෙදිපිළි, ලිපිද්‍රව්‍ය, මත්පැන් හා එතනෝල් ද වන බවයි සඳහන් වන්නේ.

එම බහාලු හේතුවෙන් වරාය අධිකාරියට මූල්‍ය වශයෙන් විශාල පාඩුවක් හා පර්යන්තවල ඉඩ ඇහිරීම හේතුවෙන් විශාල පරිපාලනමය ගැටලුවකට මුහුණ දී ඇති බවයි විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා එම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී සඳහන් වන්නේ.

කුරුණෑගල රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍රයක තිබූ මුදල් සොරා ගනී

කුරුණෑගල, දුම්රිය පොළ ඉදිරිපිට ඇති රාජ්‍ය බැංකුවට අයත් ATM යන්ත්‍රයක තිබූ මුදල් කිසියම් පිරිසක් විසින් කොල්ල කා ඇති බව පොලීසිය පවසනවා.

ඊයේ (04) උදෑසන 9.30 – 10.00 අතර කාලයේ දී එම කොල්ලය සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ATM යන්ත්‍රය අලුත් වැඩියා කරන පිරිසක් ලෙස පැමිණ ඇති මංකොල්ලකරුවන් එහි මුදල් මෙලෙස කොල්ල කා ඇති බ පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

මහජන උපයෝගිතා කොමිසමට නව සාමාජිකයෙක් පත්කෙරේ

මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයෙකු ලෙස ඩග්ලස් එන්. නානායක්කාර පත්කර තිබෙනවා.

එම කොමිෂන් සභාවේ සාමාජිකයින් ලෙස කටයුතු කළ මොහාන් සමරනායක සහ බී.කේ.යූ.ඒ. වික්‍රමසිංහ පසුගියදා එම තනතුරුවලින් ඉල්ලා අස්වීමට කටයුතු කර තිබුණා.

ඒ අනුව ඔවුන්ගේ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ තනතුරු වලින් එක් පුරප්පාඩුවක් සඳහා රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරියෙක් වන ඩග්ලස් එන්. නානායක්කාර මුදල් අමාත්‍යාංශය විසින් පත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද (05) මධ්‍යම රාත්‍රීයේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල ඉහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව වැඩි වූ ගණන සහ නව මිල පහතින්.

* කිලෝ ග්‍රෑම් 12.5 – රු.334 කින් (නව මිල රු.4,743)

* කිලෝ ග්‍රෑම් 5 – රු.134 කින් (නව මිල රු.1,904)

* කිලෝ ග්‍රෑම් 2.3 – රු.61 කින් (නව මිල රු.883)

Bitcoin යෝජනාව ගැන මහ බැංකු අධිපති ප්‍රතිචාර දක්වයි

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස අතථ්‍ය මුදල් ඒකකයක් (Virtual Currency) වන Bitcoin භාවිතය සුදුසු බව බිලියනපති ආයෝජකයෙක් වන Tim Draper කළ යෝජනාව සම්බන්ධයෙන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රතිචාර දක්වා තිබෙනවා.

මහ බැංකු අධිපතිවරයා පෙන්වා දී ඇත්තේ, ශ්‍රී ලංකාව තුළ Bitcoin භාවිතය 100%ක් යථාර්තයක් නොවන බවත් එමගින් අර්බුදය තවත් උග්‍ර විය හැකි බවයි.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් සලකාබැලීමට ශ්‍රී ලංකා මහ බැංකුව තවමත් සූදානම් නොමැති බව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ව්‍යවස්ථාදායක සභාව හෙට රැස්වෙයි

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරු 03.00 ට ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිතව තිබෙනවා.

පසුගිය 25 වනදා රැස්වූ ව්‍යවස්ථාදායක සභාවේදී කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත්කිරීමේ ක්‍රමවේදය පිළිබඳ එහිදී සාකච්ඡාවට ලක්වූ අතර ඒ සඳහා අයදුම්පත් කැඳවීමට තීරණය කර තිබුණා.

ඒ අනුව, පෙබරවාරි මස පළමුවැනිදා සිට 15 වැනිදා දක්වා කොමිෂන් සභා සාමාජිකයින් සඳහා අයදුම්පත් යොමුකිරීමේ අවස්ථාව හිමිව තිබෙනවා.

දිවයින පුරා මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානවල දුරකථන අංක ජනගත කෙරේ

2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානවල දුරකථන අංක පිළිබඳව දැනුවත් කරමින් මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම දුරකථන අංකවලට ඇමතීමෙන් 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මහජන ගැටලු යොමු කිරීමේ හැකියාව පවතිනවා.

අදාළ දුරකථන අංක පහතින්.

480cf8178ee914259360be24be47af88

නවම් පුර පසළොස්වක පොහොය අදයි

නවම් පුර පසළොස්වක පොහොය අද (05) ට යෙදී තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ දී සැරියුත් මුගලන් දෙනමට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, තථාගතයන් වහන්සේ විසින් මහා සංඝයාට ඕවාද ප්‍රාතිමෝක්‍ෂය දේශනා කිරීම, බුදුන් වහන්සේ පිරිනිවනට මාස තුනකට ප්‍රථම ආයු සංස්කාරය අත්හැරීම ආදී කරුණු රැසක් නවම් පුර පසලොස්වක පොහොය දිනයේ සිදුවී ඇති බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.

ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ සියලු භික්ෂූ වහන්සේලා රජගහ නුවර වේළුවනාරාමයට එක්රැස් කර පළමු වරට සංඝ සම්මේලනයක් පවත්වන ලද්දේ අද වැනි නවම් පොහොය දිනයක බවයි සඳහන් වන්නේ.

නිදහස් දින සැමරුමට විරෝධය පළ කරමින් අද රට පුරා විරෝධතා

75 වන නිදහස් දින සැමරුමට විරෝධය පළ කරමින් අද (04) දිවයින පුරා ස්ථාන රැසක මහජන විරෝධතා පැවැත්වුණා.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ජ’පුර විශ්වවිද්‍යාල අසළින් විරෝධතා පාගමනක් සංවිධානය කර තිබූ අතර එහිදී ත්‍රස්තවාදය වැළැක්විමේ පනත අහෝසි කිරීම සහ ජීවන වියදම පහළ දමන ලෙස බල කරමින් එම විරෝධතාවය පැවැත්වුණා.

අන්තරේ විරෝධතා පාගමන වැළැක්වීම සඳහා පොලීසිය, කැරලි මර්දන අංශ සහ හමුදාව යොදවා තිබූ අතර පසුව විරෝධතාකරුවන් විසින් ජ’පුර විශ්වවිද්‍යාල ඉදිරිපිට සිය විරෝධතාවය පැවැත්වීමට කටයුතු කර තිබුණා.

‘නව නිදහස් අරගලයක්’ යන තේමාව යටතේ අලුත් පියාපත් සංවිධානය විසින් බත්තරමුල්ල දියත උයන පරිශ්‍රය ආසන්නයේ විරෝධතාවයක් සංවිධානය කර තිබූ අතර මරදාන ප්‍රදේශයේ දී කතෝලික පියතුමන්ලා ඇතුළු පිරිසක් විසින් තවත් විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශානක්‍යයන් රාසමානික්කම්ගේ සහ එම්.ඒ සුමන්තිරන්ගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව, කල්ලඩි පාලම අසළ දී නිදහස් දින සැමරුම් උළෙලට විරෝධය පළ කරමින් විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.

‘නිදහස තව කළු දිනයක්’ යන තේමාව යටතේ යාපනය විශ්වවිද්‍යාල සිසුන් විසින්ද විරෝධතා පාගමනක් සංවිධානය කර තිබූ අතර එයට සහයෝගය පළ කරමින් යාපනයේ වෙළෙඳසැල් වසා දමමින් හර්තාල් ව්‍යාපාරයක් ද පවත්වා තිබුණා.