රට බේරගන්න ගිහින් බැනුම් අහනවා – ජනපති

වඩා හොඳ ප්‍රයෝගික යෝජනා සමඟ පැමිණෙන්නේ නම්, ජනතා විමුක්ති පෙරමුණට හා සමගි ජන බලවේගයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන් සමඟ සාකච්ඡාවක් ලබාදී එම යෝජනා ක්‍රියාත්මක කිරීමට තමා සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

රටේ පවත්වන්නට යන මැතිවරණය ආණ්ඩු මාරු කරන ඡන්දයක් නොවන බවත් එම වැඩ කටයුතු සඳහා ආර්ථිකය ශක්තිමත් නොවන බවත් ව්‍යාපාරිකයන් සමඟ පැවති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළා.

ඡන්දය පවත්වන දිනය සම්බන්ධයෙන් වන ගැටලුව දේශපාලන පක්ෂවලට අධිකරණයෙන් විසඳාගත හැකි බවත්, එහෙත් ආර්ථිකය සම්බන්ධයෙන් වන ගැටලු අධිකරණය හරහා විසඳා ගැනීමට නොහැකි බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

තමා රටේ ආර්ථිකය බාර ගැනීමට කටයුතු කළේ කවුරුත් නොමැති අවස්ථාවක බවත් රට බේරා ගැනීමට ගොස් බැනුම් ඇසීමටද සිදුව ඇති බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

කොහෙද ඡන්දෙ කල් දාලා තියෙන්නේ? – මහින්ද රාජපක්ෂ

පළාත් පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අද (21) පාර්ලිමේන්තුවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් විමසා සිටියා.

එයට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කළේ, මැතිවරණ කල් නොදැමිය යුතු බවත් මැතිවරණ පැවැත්විය යුතු බව තම ස්ථාවරය බවයි.

මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවේ විරෝධතාවක්

පලාත් පාලන මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා විපක්ෂය පාර්ලිමේන්තුවේදී විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් විසින් මෙම විරෝධතාව ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.

කිඹුලාවල Street Food අලෙවිසැල් ඉවත් කිරීම ගැන අද සාකච්ඡාවක්

තලවතුගොඩ – කිඹුලාවල ප්‍රදේශයේ වීදි ආහාර අලෙවිසැල් ඉවත්කිරීම සම්බන්ධයෙන් අද (21) සාකච්ඡාවක් පැවැත්වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

කිඹුලාවල ප්‍රදේශයේ වීදි ආහාර අලෙවිසැල් ඉවත් කිරීමට තීරණයක් ගෙන නොමැති බවත් ඒ සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මැතිවරණය කල් දැමීම ගැන විපක්ෂය විවාදයක් ඉල්ලයි

මැතිවරණය කල් දැමීම ඇතුළු රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විවාදයක් ලබාදෙන ලෙස විපක්ෂය නියෝජනය කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවා තීරණයක් ගන්නා බවයි එහිදී කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට සඳහන් කළේ.

හෙට ජාතික විරෝධතා දිනයක්

හෙට (22) ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසනවා.

රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව මෙම විරෝධතා දිනය වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් ප්‍රකාශයට පත් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද විශේෂ සාකච්ඡාවක

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද (21) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන කාර්යාලයට රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව කැඳවා ඇති බවයි සඳහන් වන්නේ.

ඉදිරි සතිය තුළ ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණ රැසක් අද ගැනීමට නියමිත බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

අද (21) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද පෙවරවරු 9.30 ට කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

අද තේ මණ්ඩල පනත යටතේ නියෝග කිහිපයක් විවාදයට ගෙන සම්මත කිරීමට නියමිතව ඇති බව වැඩිදුරටත් සඳහන්.

සුනඛ පැටවුන් යටකළ සිදුවීමට අදාලව කාන්තාවක් අත්අඩංගුවට

කුඩා සුනඛ පැටවුන් දෙදෙනෙකු යටකර පළායන මෝටර් රථයක CCTV දර්ශන පෙළක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා.

ඒ අනුව සත්ත්ව සංවිධාන කිහිපයක් එක්ව සිදුකළ පැමිණිල්ලකට අනුව මතුරට පොලීසිය විසින් අදාළ මෝටර් රථය පැදවූ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව වලපනේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැර ඇති අතර සැකකාර කාන්තාව අධිකරණයේදී තමන් සිදුකළ වරද පිළිගෙන තිබෙනවා.

නඩුව යළි ජුනි මස 01 වනදා කැඳවීමට නියමිතව තිබෙනවා.

අද මධ්‍යම රාත්‍රියෙන් පසු පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය ජනපති අතට

අද (20) මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවක දී පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට බලය හිමිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී G.L. පීරිස් පවසනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම බලය ජනාධිපතිවරයාට හිමිවන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.