සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, අප්‍රිකානු සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පසුගිය 13 වැනිදා සිට මාස තුනක කාලයක් සඳහා වලංගු වන පරිදි, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමාලි කොතලාවල විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

පසුගිය මාස කිහිපය තුල ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල අප්‍රිකානු සූකර උණ රෝගය පැතිරී ගිය බැවින් හා තවදුරටත් පැතිරීමට ඉඩ ඇති බැවින් මෙම පියවර ගත් බව අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කර තිබෙනවා.

ඒ අනුව කොට්ඨාශ භාර පශු වෛද්‍යවරයා විසින් නිකුත් කරන ලද අවසර පත්‍රයක් නොමැතිව අවදානම් සහිත ඌරන් හෝ ඌරු මස් හෝ එම නිෂ්පාදනයන් ආසාදිත හා අවදානම් ප්‍රදේශ තුල හෝ ඉන් පිටතට ප්‍රවාහනය කිරීම, ඉවත් කිරීම, රැගෙන යාම හෝ පලවා හැරීම මෙන්ම ආසාදිත සතුන් මස් පිණිස ඝාතනය හා අවදානම් සතුන් භාවිත කොට ගෙන සජීවි සත්ත්ව වෙළෙඳපොල පැවැත්වීම තහනම් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

news images

news images

news images

හදිසි පරික්ෂාවකින් පසු, ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට

හැටන් – මහනුවර ප්‍රධාන මාර්ගයේ ඊයේ (19) ධාවනය වූ ලංගම හා පෞද්ගලික බස් රථ ඇතුළු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

මෙලෙස තාවකාලිකව ධාවනය තහනම් කළ වාහන අතර ලංගම සහ පෞද්ගලික බස් රථ 15ක් ඇතුළත්ව තිබෙනවා.

ඒ අනුව, හැටන් – මහනුවර ප්‍රධාන මාර්ගයේ බගතොලුව ප්‍රදේශයේ දී වාහන 115ක් පමණ හදිසි පරීක්ෂාවට ලක්කර ඇති අතර, එහිදී අධික ලෙස වායු විමෝචනය කළ වාහන සහ අඩුපාඩු සහිතව ධාවනයට නුසුදුසු තත්ත්වයේ තිබූ වාහන මෙලෙස ධාවනයෙන් තාවකාලිකව ඉවත්කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එමෙන්ම බස් රථ ඇතුළු වාහනවල සවිකර තිබූ, මගීන්ගේ ජීවිතවලට අවදානමක් සහිත උපාංග ගලවා ඉවත් කිරීමටද මෙම වාහන පරීක්ෂාවේදි මෝටර් රථ පරික්ෂකවරුන් උපදෙස් ලබාදී තිබෙනවා.

ධාවනය තාවකාලිකව තහනම් කරන ලද වාහනවල වාර්ෂික ආදායම් බලපත්‍රය මෝටර් රථ පරික්ෂකවරයාගේ භාරයට ගෙන ඇති අතර, එම වාහන අලුත්වැඩියා කර මේ මස 30 වැනිදා වාහන පරීක්ෂා කළ ස්ථානයටම රැගෙන විත්, යළිත් පරීක්ෂාවට ලක් කළ යුතු බවයි වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.

SL vs BAN 1st TEST : තෙවන දිනය අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව – 368/4

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය අද (19) අවසන් වුණා.

එහිදී සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04 ක් දැවී ලකුණු 368 ක් ලබා සිටිනවා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක විශිෂ්ට ලෙසින් ලකුණු 187 ක් ලබාගත් අතර අද දිනයේදී ඔහු තම ටෙස්ට් ලකුණු 1000 සීමාව ද ඉක්මවා යාමට සමත් වුනා.

ඊට අමතරව දිනේෂ් චන්දිමාල් ලකුණු 54 ක් ලබාගත් අතර, සිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 39 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Hasan Mahmud, Taijul Islam, Nayeem Hasan හා Mominul Haque එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 495 ක් ලබාගත් අතර, මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 127 ක් පිටුපසින් පසුවනවා.

තරගයේ සිව්වන දිනය හෙට (20) පැවැත්වීමට නියමිතයි.

සජබය පහත හේවාහැට, බිංගිරිය, වත්තල-මාබෝල, වැලිගෙපොළ හා පන්නල යන පළාත් පාලන ආයතනවල බලය හිමි කරගනී

පහත හේවාහැට, බිංගිරිය, වත්තල-මාබෝල, වැලිගෙපොළ සහ පන්නල යන පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සමගි ජන බලවේගය අද (19) සමත් වුණා‍.

පහත හේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද උදෑසන පැවති අතර එහීදී සමගි ජන බලවේගයේ අපේක්ෂක කේ.එස්.පී. රාජනායක ඡන්ද 23ක් ලබා ගනිමින් සභාපතිවරයා ලෙස තේරීපත් වුණා.

බිංගිරිය ප්‍රාදේශීය සභාවේ අද උදෑසන පැවති ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගය ජය තහවුරු කරගෙන ඇති අතර, ඒ අනුව එම පක්ෂයෙන් ඉදිරිපත් වූ කමල් විශ්වනාත එහි නව සභාපතිවරයා ලෙස තේරීපත් වී තිබෙනවා.

මේ අතර, වත්තල-මාබෝල නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස W. ප්‍රකාශ් ‍තේරීපත් වී ඇති අතර, වැලිගෙපොළ ප්‍රදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ චමින්ද දසනායක 11 ක් ලබා ගනිමින් තේරීපත් වුණා.

එසේම පන්නල ප්‍රදේශීය සභාවේ බලය ලබා ගැනිමට ද සමගි ජන බලවේගය සමත් වූ අතර, එහි නව සභාපතිවරයා ලෙස H.M. නන්දසිරි තේරීපත් වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

හික්කඩුව, තලවකැලේ ලිඳුල සහ ‍දොඩංගොඩ පළාත් පාලන ආයතනවල බලය ජාතික ජන බලවේගයට

හික්කඩුව නගර සභාව, තලවකැලේ ලිඳුල නගර සභාව හා දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීමට ජාතික ජන බලවේගය අද (19) සමත් වුණා.

ඒ අනුව, හික්කඩුව නගර සභාවේ නගාරාධිපතිවරයා ලෙස යසස්වින් ගොඩකන්ද තේරීපත් වුනා. පැවති රහස් ඡන්දයෙන් ඔහු ඡන්ද 11 ක් ලබා ගැනීමට සමත් වූ අතර, සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ චමින්ද රුවන්ට හිමිවූයේ ඡන්ද 07 ක් පමණයි.

මේ අතර, තලවකැලේ ලිඳුල නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස එම්.එල්. උපාලි තේරීපත් වුනා. පැවති විවෘත ඡන්ද විමසීමේදී ඔහුට ඡන්ද 06 ක් හිමිවී තිබූ අතර, විපක්ෂයෙන් ඉදිරිපත් වූ අනෙක් අපේක්ෂකයාට ලැබුණේ ඡන්ද 05 ක් පමණයි.

එසේම, දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ නිලූෂ කවිරත්න තේරීපත් වූ අතර, එහිදී ඔහු ඡන්ද 14 ක් ලබා ගැනීමට සමත් වුණා.

ප්‍රතිදේහ එන්නත් ලෙස ලබාදී ඇත්තේ විෂ බැක්ටීරියා සහ ලුණු වතුර බව නීතිපති අධිකරණයට දැනුම්දෙයි

ප්‍රමිතියෙන් තොර ප්‍රදේහ එන්නත් තුළ තිබී ඇත්තේ මිනිස් ශරීරයට අහිතකර බැක්ටීරියා සහ ලුණු බවට ජර්මනියේ රසායනාගාරයකදී සිදුකළ පරීක්ෂණ‍කදී තහවුරුවී ඇති බව නීතිපතිවරයා අද (19) අධිකරණයට කරුණු දක්වා තිබෙනවා.

ඒ අනුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සහ රිටොක්සිමැප් යන ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සම්බන්ධයෙන් ආරම්භ කළ විමර්ශන මේ වන විට අවසන් කර ඇති බවයි.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙම ‍ඖෂධ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලත් ජර්මනියේ ප්‍රතීතකරණ විද්‍යාගාරයක සිදුකළ පරීක්ෂණ වාර්තාවේ අවසන් වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළා.

එහි දක්වා ඇති පරිදි හිමියුන් ඉමියුනෝග්ලොබියුලින් යැයි යොමු කළ ද්‍රවණයේ කිසිඳු ඖෂධමය ගුණාත්මකභායකින් යුතු නොමැති බවත් හිමියුන් ඉමියුනෝග්ලොබියුලින් නමින් මිනිසුන්ට ලබාදීමට මිලදීගෙන ඇත්තේ මිනිස් සිරුරට අහිතකර විෂ බැක්ටීරියා ඇතුළත් ද්‍රවණයක් බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළා.

එසේම පිලිකා ‍ඖෂධයක් වන රිටොක්සිමැප් නමින් තිබී ඇති ද්‍රවණයේ පිළිකාවකට එරෙහිව සටන් කළ හැකි කිසිඳු ප්‍රෝටීන අඩංගු අන්තර්ගතයක් තිබී නොමැති බවත් එහි තිබී ඇත්තේ සෝඩියම් ක්ලෝරයිඩ් එසේත් නොමැති නම් ලුණු බවට පෙන්වාදුන් ඇය වැඩිදුරටත් සඳහන් කළේ, ප්‍රතිදේහ එන්නත් ලෙස මනුෂ්‍ය ශරීරයට අහිතර විෂ ජලය සහ ලුණු වතුර ලබාදී ඇති බවත් මේ සඳහා රජයේ මුදල් රුපියල් ලක්ෂ 1444 ක මුදලක් වියදම් කර ඇති බවයි.

බේරුවල නගර සභාවේ සභාව පිහිටුවීම තාවකාලිකව නවතා දමයි

අද (19) සවස ආරම්භ කිරීමට නියමිතව තිබූ බේරුවල නගර සභාවේ සභාව පිහිටුවීම තාවකාලිකව නවතා දමා ඇති බව බේරුවල නගර සභාවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම පවසනවා.

ඒ අනුව සභාව පිහිටුවීමට අද සූදානම් කර තිබුණද, බේරුවල නගර සභාවට තේරී පත්වූ සජබ මන්ත්‍රීවරුන් 06 දෙනාගෙන් 04 දෙනෙකුට ඒ බව දන්වා එවන ලිපිය නොලැබීම නිසා එම මන්ත්‍රීවරුන් හතරදෙනා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනු බවයි සඳහන් වන්නේ.

එහිදී අදාළ ලිපි නිසියාකාරව ලබාදී, දැනුවත් කිරීමෙන් අනතුරුව නගර සභාව පිහිටුවීමට කටයුතු කරන ලෙස එහිදී අභියාචනාධිකරණය විසින් තීන්දුවක් ලබාදී තිබෙනවා.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී බේරුවල නගර සභාව සඳහා ස්වාධීන කණ්ඩායමක් විසින් මන්ත්‍රී ආසන 07ක්, සමගි ජන බලවේගය විසින් මන්ත්‍රී ආසන 06ක් හා ජාතික ජන බලවේගය විසින් මන්ත්‍රී ආසන 03ක් දිනාගත්තා‍.

සංචාරක ක්ෂේත්‍රයේ නිරත ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප සංවර්ධනයට වැඩසටහනක්

සංචාරක ක්ෂේත්‍රයේ නියැළෙන ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප හා ආචාර ධාර්මික බව වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට Clean Sri Lanka ලේකම් කාර්යාලය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එහි මූලික සාකච්ඡාවක් Clean Sri Lanka ලේකම් කාර්යාලයේදී පැවැත්වුණ අතර, මෙම වර්ෂය තුළදී දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි කුලී රථ රියදුරන් දස දහසක් පුහුණු කිරීමට එහිදී සැලසුම් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඊට වියදම වශයෙන් රුපියල් මිලියන 25ක මුදලක් ඇස්තමේන්තු කර ඇති අතර, එක් පළාතක වැඩසටහන් 10 බැගින් පැවැත්වීමට අපේක්ෂා කෙරෙනවා.

මෙහිදී ත්‍රිරෝද රථ රියදුරන් සඳහා මාර්ග නීති සම්බන්ධයෙන් පුළුල් දැනුමක් ලබා දීම, වගකීම් සහගත බව ඇති කිරීම, ප්‍රවාහන සේවා සැපයීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම, සංචාරකයාගේ අභිමතාර්ථ ඉටුවන අයුරින් සේවා සැපයීම, සංචාරක ත්‍රිරෝද රථ රියදුරන් සඳහා මෘදුකාංග යෙදවුමක් හඳුන්වා දී සංචාරක කර්මාන්තය ආශ්‍රිත සේවාවල ගුණාත්මක බව වැඩිදියුණු කිරීම ආදිය සිදුකෙරෙන බවයි සඳහන් වෙන්නේ.

මීට අමතරව, මිත්‍රශීලීව හා ගුණාත්මක ලෙස පාරිභෝගික සේවා පවත්වාගෙන යාම සඳහා ත්‍රීරෝද රථ රියදුරන් තුළ යහපත් ආකල්ප ප්‍රවර්ධනය, පුද්ගලික සනීපාරක්ෂාව සහ වෘත්තීමයභාවය වැඩි දියුණු කිරීම, තමන් ආවරණය කරන ප්‍රදේශ හා ස්ථාන පිළිබඳ දැනුම වර්ධනය කිරීම ආදිය සිදු කිරීමටද අපේක්ෂා කෙරෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්

news images

ඇප කොන්දේසි සපුරාලීම නිසා ඊයේ අත්අඩංගුවට ගත් කෙහෙළිය, ඔහුගේ බිරිඳ සහ දියණිය අද මුදා හැරේ

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය, ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියම කර තිබෙනවා.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමෙන් අනතුරුව, ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් ඊයේ දිනයේ ඔවුන් නැවත රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

දුම්රිය නියාමකවරුන්ගේ වැඩ වර්ජනය කල් දැමීමට තීරණය කෙරේ

ගැටලු කිහිපයක් මුල් කර ගනිමින්, අද (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය නියාමකවරුන්ගේ වැඩ වර්ජනය සති දෙකක කාලයක් සඳහා කල්දමා තිබෙනවා.

ඒ අනුව අද (19) දුම්රිය නියාමකවරුන් හා බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.