මහනුවර-මහියංගනය මාර්ගයේ වසා දැමූ කොටසේ එක් මංතීරුවක් විවෘත කෙරේ

මහනුවර – මහියංගනය මාර්ගයේ 18 වංගුව ප්‍රදේශයේ 14 වන වංගුව ආසන්නයේ තාවකාලිකව වසා දැමූ මාර්ගයේ එක් මංතීරුවක් මේ වනවිට විවෘත කර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ සිදුවූ නායයෑම හේතුවෙන් එම මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවරගෙන තිබුණා.

මහනුවර වැටලීමකදී කාන්තාවන් ඇතුළු පුද්ගලයින් 10 ක් අත්අඩංගුවට

මහනුවර, බෝගම්බර ප්‍රදේශයේ සිදුකළ විශේෂ මත්ද්‍රව්‍ය වැටලීමකදී කාන්තාවන් ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව එහිදී සැකකරුවන් 06 දෙනෙකු සහ සැකකාරියන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 39යි මිලිග්‍රෑම් 265ක් පොලීසිය විසින් සොයාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

සැකකරුවන් අවුරුදු 26ත් 52ත් අතර වයස්වල පසුවන හීරැස්සගල, සුදුහුම්පොළ, මහයියාව, මහනුවර සහ දිගන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකාරියන් අවුරුදු 24ත් 49ත් අතර වයස්වල පසුවන කටුගස්තොට සහ රෝහල් පටුමග ප්‍රදේශවල පදිංචිකාරිනියන් බව සඳහන් වන්නේ.

ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයෙන් මහ බැංකුවට ඉල්ලීමක්

ලීසිං සඳහා දඩ පොලී අය කිරීම සහ අනාගත පොලී අය කිරීම නතර කිරීම සඳහා මැදිහත් වන ලෙස ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය මහ බැංකුවෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව එහි සභාපති අසංක රුවන් පොතුපිටිය සඳහන් කළේ, ගෙවා ගැනීමට නොහැකි වූ ණය මුදල් මාර්තු 31 ට පෙර ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු නොකර දඩ පොලිය 100% ක් අය කරන බවයි.

දඩ පොලී අය කිරීම, අනාගත පොලී අය කිරීම හා වාහන SEIZE කරන ආයතනවලට එරෙහිව මාර්තු 31 ට පෙර ආයතන අත්හිටුවීමේ ක්‍රියාවලිය ආරම්භ කරන ලෙසයි ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

ගෑස් මිලෙහි වෙනසක් සිදු නොකිරීමට ලිට්‍රෝ සමාගම තීරණය කරයි

මාර්තු මාසයේ ගෑස් මිලෙහි වෙනසක් සිදු නොකිරීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව පවතින මිල යටතේම ගෑස් අලෙවිය සිදු කරන බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කරන්නේ.

මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ ගෑස් මිල වැඩි වීමක් සිදුවිය යුතු වුවද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත්වීම හේතුවෙන් ගෑස් මිලෙහි වෙනසක් සිදු නොකරන බවයි ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක්

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව විදුලිබල මණ්ඩලයේ ඉහළ පාලනාධිකාරිය දැනුවත් කිරීමට සහ යෝජනා ලබා ගැනීමට පියවර ගෙන තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටු සාමාජිකයන්, විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා, සාමාන්‍යධිකාරීවරයා, අතිරේක සාමාන්‍යධිකාරීවරුන් සහ ප්‍රධාන මූල්‍ය කළමනාකරු ඇතුළු ඉහළ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මෙම සාකච්ඡාවේදී නව නීති කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර සිදුකළ හැකි ප්‍රතිව්‍යුහගත සැලසුම් පිළිබඳව අවධානය යොමුකර ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ.

මහනුවර-මහියංගනය ප්‍රධාන මාර්ගය වසා දැමේ

මහනුවර- මහියංගනය ප්‍රධාන මාර්ගය වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

නායයෑමක් හේතුවෙන් එම මාර්ගය මෙලෙස වසා දමා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඒ් අනුව මහනුවර- මහියංගනය මාර්ගයේ 18 වංගුව ප්‍රදේශයේ 14වන වංගුව ආශ්‍රිතව මෙලෙස නායයාමක් සිදුව තිබෙනවා.

මැතිවරණය ගැන අධිකරණ නියෝගය අනුව කටයුතු කරනවා – රංජිත් සියඹලාපිටිය

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අයවැයෙන් වෙන්කර ඇති මුදල් රඳවාගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (03) දිනයේ ලබාදුන් තීන්දුව අනුව කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා පවසා සිටියේ අධිකරණ තීන්දුවට ගරු කළ යුතු බවත් එම තීන්දුව පැහැදිලිකරගෙන කටයුතු කිරීම හැමදෙනාගෙම වගකීමක් බවයි.

ඒ අනුව අධිකරණ තීන්දුව අනුව ඉදිරියේ දී වියදම් පෙළගැස්වීම සිදුකළ යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කරනවා.

අතගගා ඉන්නේ නැතිව වහාම මැතිවරණ දිනය නියම කරන්න – ලක්ෂ්මන් කිරිඇල්ල

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුළු ලෝකයටම අපේ රටේ නීතිය උත්තරීතර බව පෙන්වා දී ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

දැන් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට මුදල් ලබා නොදීමට නොහැකි බවත්, අතගාමින් නොසිට මැතිවරණය පැවැත්වීමට දිනයක් ප්‍රකාශයට පත් කළ යුතු බවත් ඔහු පෙන්වා දෙනවා.

තවදුරටත් සාකච්ඡා නොපවත්වා මැතිවරණය කොමිෂමේ අභිමතය පරිදි, ස්වාධීනත්වය භාවිතා කොට හැකි ඉක්මණින් මැතිවරණයක් පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන ලෙසත්, ආණ්ඩුවේ සැලැසුම් ක්‍රියාත්මක කිරීමට කල් ලබා නොදී, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව උපයෝගී කරගෙන මැතිවරණය පැවැත්වීම සඳහා ඉක්මණ් දිනයක් ප්‍රකාශයට පත් කරන ලෙසත් මන්ත්‍රීවරයා ඉල්ලා සිටිනවා.

ඔහොම යමු ගිහින් බලමු කවුද මේ සෙල්ලමෙන් දිනන්නේ කවුද කියලා – ළහිරු වීරසේකර

විදුලිබිල වැඩි කිරීම හමුවේ ඉදිරියේ දී සේවා රැසක මිල ගණන් ඉහළ යාමට නියමිතව ඇති බව Youth For Change සංවිධානයේ ජාතික සංවිධායක ළහිරු විරසේකර පවසනවා.

ලබන සතියේ දී මෙරට වෘත්තීය සමිති, බහුජන සංවිධානයන් සහ සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු සියලු දෙනා විරෝධතාවයකට පෙළ ගැසෙමින් සිටින බවත්, ජනතාව රටපුරාවටම විරෝධතාවයන් සඳහා පැමිණෙමින් සිටින බවයි ළහිරු වීරසේකර පවසන්නේ.

තමන්ට වාසි මැතිවරණය ‍මොකක්ද යන්න පිළිබඳවත්, තමන්ට දිනන්න පුළුවන් මැතිවරණය මොකක්ද යන්න පිළිබඳවත්, වාසි සහගතවම ලබාගත හැකි මැතිවණය මොකක්ද යන්න පිළිබඳවත් ආණ්ඩුව ගණන් බලමින් සිටින බවයි ඔහු කියා සිටින්නේ.

මුළු රටක ක්ෂේත්‍ර රැසක පිරිස් ආණ්ඩුවට විරෝධය පළ කරද්දී ආණ්ඩුව ඒවා විහිළුවට ගෙන ඇති බවත්, මෙලෙස ගොස් මෙම සෙල්ලමෙන් දිනන්නේ කවුද යන්න පිළිබඳව බලාගත හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ජනතා පෙත්සමක් අත්සන් ගැනීමට සැරසෙයි

බදුල්ල සහ මොණරාගල නගර කේන්ද්‍ර කර ගනිමින් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ජනතා පෙත්සමක් අත්සන් ගැනීම ආරම්භ කරන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් ප්‍රධානි නීතිඥ ඩී.එම් දිසානායක පවසනවා.

ලබන 07 වනදා සිට එම පෙත්සම අත්සන් ගැනීම ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.