අන්තරේ අද කොළඹට

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (07) දිනයේ දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

“රනිල් – රාජපක්ෂ ජුන්ටාව පන්නමු, ක්‍රම වෙනසකට පෙළ ගැසෙමු” යන තේමාවෙන් මෙම විරෝධතාව පැවැත්වෙන බවයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කළේ.

ඒ අනුව මෙම විරෝධතාව අද දහවල් 12.00 ට කොටුව දුම්රිය පොළ ඉදිරිපිටින් ආරම්භ වීමට නියමිතයි.

මැතිවරණ දිනය ගැන සාකච්ඡාවකට විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද මැතිවරණ කොමිසම හමුවෙයි

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (07) දිනයේ මැතිවරණ කොමිෂන් සභාව හමුවීමට නියමිතව තිබෙනවා.

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර ඔවුන් සඳහන් කරන්නේ, පළාත් පාලන මැතිවරණය මාර්තු 19 වනදා පැවැත්විය යුතු බවයි.

මැතිවරණ කොමිසමට ලිපියක් යොමු කරමින් මේ බව දැනුම්දී ඇති අතර ඒ අනුව අද (07) පෙරවරුවේ එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.

කොළඹ පැමිණෙන රියැදුරන්ට පොලීසියෙන් දැනුම්දීමක්

කුරුඳුවත්ත බෞද්ධාලෝක මාවතේ පිහිටි අතුලදස්සනාරාම විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර හේතුවෙන් එම ප්‍රදේශය ආශ්‍රිත මාර්ග භාවිත කරන්නන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව එම විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර අද රාත්‍රී 7.00 ට ආරම්භවීමට නියමිත අතර පෙරහැර බෞද්ධලෝක මාවත, කනත්ත වටරවුම, බේස්ලයින් පාර බොරැල්ල හන්දිය, මරදාන පාර බේස්ලයින් හරස් පාර, ලෙස්ලි රණගල හන්දියෙන් නැවත හැරී එම මාර්ගයේම විහාරස්ථානය දක්වා ගමන් කිරීමට නියමිතව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මේ හේතුවෙන් පෙරහැර ගමන් ගන්නා මාර්ග භාවිත කිරීමේදී වාහන තදබදයක් ඇති විය හැකි බැවින් එම අපහසුතා මගහරවා ගැනීමට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දෙනවා.

රාජ්‍ය ආයතන 04 ක් COPE කමිටුවට කැඳවයි

මෙම සතිය තුළ රාජ්‍ය ආයතන කිහිපයක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව කෝප් කමිටුව හෙට රැස්වීමට නියමිතව ඇති අතර හෙට (07) දිනය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ නිලධාරීන් කමිටුව හමුවට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

ලබන 8 වනදා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර මාර්තු 09 වන දින ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව කෝප් කමිටුවට කැඳවා ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මැතිවරණ කොමිසමට තවදුරටත් කිසිඳු පාර්ශවයක අනුමැතියක් අවශ්‍ය නැහැ – ජී.එල්. පීරිස්

මැතිවරණ කොමිසම විසින් හෙට (07) දිනයේ පාළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කළ යුතු බව නිදහස් ජනතා සන්ධානයේ මහාචාර්ය ජී.එල් පීරිස් පවසනවා.

ඒ අනුව හෙට දිනයේ සිට එම දිනය ප්‍රකාශයට පත් කිරීම කල් දැමීමට කිසිඳු හේතුවක් නොමැති බවයි ඔහු සඳහන් කළේ.

මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ හෝ වෙනත් කිසිඳු පාර්ශවකයක අනුමැතියක් මැතිවරණ කොමිසමට තවදුරටත් අවශ්‍ය නොවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මාර්තු 19 මැතිවරණය පැවැත්විය යුතු බවට විපක්ෂයේ සියලු පක්ෂ කොමිසමට ලිඛිතව දැනුම්දෙයි

පළාත් පාලන මැතිවරණය මාර්තු 19 වනදා පැවැත්විය යුතු බවට විපක්ෂයේ සියලුම පක්ෂ මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම්දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසම හමුවීම අවශ්‍ය බව අදළ ලිපිය මඟින් ඔවුන් දැනුම්දී ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව හෙට (07) දිනයේ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සමඟ අදාළ හමුව පැවැත්වීමට නියමිතයි.

පාසල් සිසුන්ට 30% ක මිල අඩුකිරීමක් යටතේ අභ්‍යාස පොත් ලබාදීමට තීරණය කෙරේ

පාසල් සිසුන් සඳහා 30% ක මිල අඩුකිරීමක් යටතේ අභ්‍යාස පොත් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඉදිරියේදී සතොස වෙළඳසැල් හරහා රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව මුද්‍රණය කරන අභ්‍යාස පොත් පාසල් සිසුන්ට මිලදී ගත හැකි බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ.

ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ එම පොත් සතොස වෙළඳසැල්වලට බෙදාහැරීමට කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් හෙට මැතිවරණ කොමිසම හමුවට

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් හෙට (07) දිනයේ මැතිවරණ කොමිෂන් සභාව හමුවීමට තීරණය කර තිබෙනවා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, මහාචාර්යය ජී.එල් පිරිස්, මනෝගනේෂන්, රිෂාද් බදියුදීන්, රංජිත් මද්දුමබණ්ඩාර, ඇතුළු මන්ත්‍රීවරුන් 09 දෙනෙකුගේ අත්සනින් යුක්තව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිඛිතව අදාළ හමුවීම පිළිබඳ දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව මාර්තු මස 20 වන දිනට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙස එම මන්ත්‍රීවරුන් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇති අතර ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා හෙට පෙරවරු 9ට මැතිවරණ මහා ලේකම් කාර්යාලය වෙත පැමිණෙන බවයි ඔවුන් වැඩිදුරටත් සිය ලිපිය මඟින් දැනුම්දී ඇත්තේ.

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා විදේශ විනිමය හිඟයක් දැන් රටේ නැහැ – මහ බැංකු අධිපති

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා විදේශ විනිමය හිඟයක් මේ වනවිට රට තුළ නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

තෙල්, ගෑස්, ගල්අඟුරු, අත්‍යවශ්‍ය ඖෂධ ආදිය සඳහා අවශ්‍ය විදේශ විනිමය දැන් මහ බැංකුවෙන් සැපයීමක් සිදු නොකරන බවයි සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

ඒ අනුව එම අවශ්‍ය විදේශ විනිමය සපයා ගැනීම සිදු කරන්නේ, බැංකු ක්‍රමය තුළින් බවත් එහි සංචිත, ඩොලර් මිලියන 600 ක් දක්වා වර්ධනය වී ඇති බව මහ බැංකු අධිපතිවරයා වඩිදුරටත් සඳහන් කළා.

මැදින් පුර පසළොස්වක පොහොය අදයි

මැදින් පුර පසළොස්වක පොහොය දිනය අද (06) ට යෙදී තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ ස්වකීය ජන්ම භූමිය වූ කිඹුල්වත් පුරයට වැඩම කිරීම ආරම්භ කළේ මැදින් පුර පසළොස්වක පෝය දිනයේ බවයි සඳහන් වන්නේ.

යසෝධරා දේවිය උදෙසා චන්ද කින්නර ජාතකය (සඳ කිඳුරු ජාතකය) දේශනා කිරිම. රාහුල කුමාරයා සහ නන්ද කුමාරයා පැවිදි කරවීම. එමෙන්ම දහම් අවබෝධ ලබාගත් ආනන්ද, අනුරුද්ධ, දේවදත්ත, උපාලි යන තරුණ කුමාරවරු පැවිදි බිමට පත්වීම, මහා ප්‍රජාපති ගෝතමි දේවිය සෝවාන් ඵලයට පත්වීමද අද වැනි දිනක සිදුවී ඇති බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.

අදට යෙදී තිබෙන මැදින් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් රට පුරා සෑම විහාරස්ථානයකම ආමිස සහ ප්‍රතිපත්ති පූජා රැසක් සංවිධාන කර තිබෙනවා.