අන්තරේ විරෝධතා පා ගමනට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවට කොළඹ විශ්වවිද්‍යාලය අසලදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

“රනිල් – රාජපක්ෂ ජුන්ටාව පන්නමු, ක්‍රම වෙනසකට පෙළ ගැසෙමු” යන තේමාවෙන් මෙම විරෝධතාව සංවිධානය කර තිබෙනවා.

අන්තරේ විරෝධතා පා ගමන ඇරඹේ

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාව මේ වන විට ආරම්භවී තිබෙනවා.

ඒ අනුව කොළඹ ලිප්ටන් වටරවුම අසළින් අසලින් ආරම්භ කළ විරෝධතාව මේ වන විට ඉදිරියට ගමන් කරමින් සිටින බවයි සඳහන් වන්නේ.

අන්තරේ කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට රැස්වෙයි

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මේ වනවිට කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට රැස්වී සිටිනවා.

ඒ අනුව ඔවුන් “රනිල් – රාජපක්ෂ ජුන්ටාව පන්නමු, ක්‍රම වෙනසකට පෙළ ගැසෙමු” යන තේමාවෙන් විරෝධතාවක් සංවිධානය කර ඇති බවයි සඳහන් වන්නේ.

මේ වන විට එම ස්ථානයට පොලීසිය කැඳවා ඇති අතර ජල ප්‍රහාරක රථද එම ස්ථානයට පැමිණ තිබෙනවා.

ඩොලරයේ මිල තවදුරටත් අඩු වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද තවදුරටත් අඩු වී තිබෙනවා.

ඒ අනුව අද (07) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 318.30 ක් ලෙස හා විකුණුම් මිල රු. 335.75 ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

පසුගිය මාර්තු 03 වනදා දිනයේ දී ඩොලරයක ගැනුම් මිල රු. 334.50 ක් ලෙස හා විකුණුම් මිල රු. 348.03 ක් ලෙසත් වාර්තාවී තිබුණා.

උද්ඝෝෂණ හරහා ස්ථාවරත්වය නැති කිරීමට කටයුතු කරනවා නම් ආණ්ඩුව දැඩිව ක්‍රියා කරනවා – ජනපති

උද්ඝෝෂණ මාර්ගයෙන් රටේ ආර්ථික ස්ථාවරත්වය නැති කිරීමට කටයුතු කරනවා නම් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව දැඩිව ක්‍රියා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරනවා.

ඒ අනුව අද (07) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා සාමකාමීව රැස්වීම් හා පෙළපාලි පැවැත්වීමට කිසිඳු ගැටලුවක් නොමැති බවයි.

ජූලි 9 වනදා රට කඩා වැටුනා නම් අද මෙම තත්ත්වයට පැමිණීමට නොහැකි වන බවත් ජුනි මාසය වන විට රටේ ආදායම් තත්ත්වය බලා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණය කිරීම සිදුකරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

IMF මූල්‍ය සහනය ලබා ගැනීමට ශ්‍රී ලංකාව සිදුකළ යුතු කාර්යයන් සිදුකර අවසන් – ජනපති

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ චීනයේ සහතිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමුකර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ අනුව ශ්‍රී ලංකාව විසින් මෙම මූල්‍ය සහනය ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙම මාසය අවසන් වීමට ප්‍රථම සිය කටයුතු සිදුකරනු ඇති බවයි ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කළේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව ලබා ගැනීමට ප්‍රථම ඔවුන් විසින් ප්‍රකාශ කළ කටයුතු කිහිපයක් කිරීමට සිදුවූ බවත් විදුලි මිල සංශෝධනය, ඛනිජ තෙල් මිල සංශෝධනය, මහ බැංකුවේ ස්වාධීනත්වය තහවුරු කිරීම වැනි කටයුතු සිදු කිරිමට සිදුවූ බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් එකඟතාව ලැබුණු පසු ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතිකරගත් ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට සහාය දෙන බවට චීනය සහතික වෙයි

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සිය සහාය ලබාදෙන බව චීනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහතිකවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව මේ සමඟම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන විස්තීරණ මුල්‍ය පහසුකම ලබාගැනීමට තිබූ ප්‍රධාන බාධකය ඉවත්වන බවයි Bloomberg වෙබ් අඩවිය වාර්තා කර තිබෙන්නේ.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ද්විපාර්ශවික ණයහිමියා වන චීනය එරට අපනයන – ආනයන බැංකුව හරහා මාර්තු 6 වනදා මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (07) පෙරවරු 09.30 ට රැස්වීමට නියමිතව තිබෙනවා.

අද සිට සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර අද දිනයේ මෝටර් වාහන පනත යටතේ ගැසට් පත්‍ර කිහිපයක පළ කර ඇති නියෝග කිහිපයක් විවාදයට ගැනීමට නියමිතයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් දැමීම සම්බන්ධයෙන් වන කල්තැබීමේ විවාදය 09 සහ 10 යන දින දෙකේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව අද සාකච්ඡාවක

වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව සහ වරාය, තෙල්, ජල විදුලිය ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (07) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කර ඇති අසාධාරණ බදු ඉවත් කර ගැනීම සඳහා ගත යුතු ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග තීරණය කිරීමට එම සාකච්ඡාව කැඳවා ඇති බවයි පොදුජන ප්‍රගතිශීලී සේවක සංමයේ ප්‍රධාන ලේකම් ශ්‍යාමල් සුමනරත්න සඳහන් කළේ.

වැඩ වර්ජනයක් දක්වා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගියහොත් රටට විශාල පාඩුවක් සිදුවන බවත් මේ හේතුවෙන් රජය මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

සාමාන්‍ය පෙළ විභාගය සති දෙකකින් පමණ කල් යා හැකියි – අධ්‍යාපන ඇමති

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ප්‍රමාදවීම හේතුවෙන්, සාමාන්‍ය පෙළ විභාගය සති දෙකකින් පමණ කල් යෑමේ හැකියාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් බලධාරීන් සමඟ සාකච්ඡා කර ඉදිරි සති කිහිපය තුළ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන නිශ්චිත දිනය ප්‍රකාශයට පත් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සඳහා ගෙවනු ලබන දීමනා සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මත ගුරුවරුන් ඒ සඳහා අයදුම් කිරීමේ ප්‍රමාදයක් සිදුව ඇති අතර මේ වන විට එම ගැටලුව නිරාකරණය කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.