මාර්තු මාසයේ දී ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය ඉහළට – මහ බැංකුව

මෙම වසරේ ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය පෙබරවාරි මාසයේ පැවති සියයට 48.8හි සිට මාර්තු මාසයේ දී සියයට 51.7 දක්වා ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

කෙසේ‍ වෙතත් ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය පෙබරවාරි මාසයේ පැවති සියයට 54.4හි සිට මාර්තු මාසයේ දී සියයට 47.6 දක්වා පහළ ගොස් ඇති බවය මහ බැංකුව පවසන්නේ.

2023 මාර්තු මාසයේ දී කො.පා.මි. දර්ශකයේ මාසික වෙනස, සියයට 2.92ක් ලෙස වාර්තා වී ඇති අතර මෙයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි මාසික ඉහළ යෑම බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.

ප්‍රවීන රංගන ශිල්පී අමරසිරි කලංසූරිය අභවප්‍රාප්ත වෙයි

සිංහල සිනමාවේ තවත් පුරෝගාමියෙකු වූ ප්‍රවීන රංගන ශිල්පී අමරසිරි කලංසූරිය අද (01) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හන්තානේ කතාව චිත්‍රපටය තුළින් සිංහල සිනමාවට පිවිසෙන ඔහු සම්මාන රැසකින් ද පිදුම් ලැබූ කලාකරුවෙකු ද වනවා.

ඔහු මිය යන විට 82 වන වියේ පසුවුණා.

දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණයට අවශ්‍ය වැඩ කටයුතු ලබන මාසයේ ආරම්භ කිරීමේ සූදානමක්

දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා අවශ්‍ය වැඩකටයුතු ලබන මාසයේ දී ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකු සහ භාණ්ඩාගාර ප්‍රධානීන් පවසනවා.

ඒ අනුව එය මැයි මාසය වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි වානිජ ණය හිමියන් යාවත්කාලීන කිරීමේ සැසියක් අමතමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් තොගයේ ප්‍රතිව්‍යූහගතකරණයක් කිරීමට අවධානය යොමුව ඇති බව එසේම සෙසු භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර දේශීය ණය සඳහා ස්වෙච්ඡා ණය ප්‍රශස්තකරණයක් බලාපොරොත්තු වන බවයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

වෘත්තීය සමිති එකමුතුවේ විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද (31) පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වෙන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

සිය ගැටලු සඳහා රජයෙන් මේ වන තෙක් සාධනීය විසඳුමක් ලැබී නොමැති බවයි එම වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ.

රත්‍රං මිල යළිත් ඉහළට

මෙරට රන් මිල යළිත් වරක් ඉහළගොස් ඇති බව හෙට්ටිවීදිය රත්‍රං වෙළඳුන් පවසනවා.

ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රුපියල් 165,600ක් ලෙස අද (31) දිනයේ සටහන්ව ඇති බවයි සඳහන් වන්නේ.

එසේම කැරට් 24 රන් පවුමක මිල අද දිනයේ සටහන්ව ඇත්තේ රුපියල් 180,000ක් ලෙස බවයි හෙට්ටිවීදිය රත්‍රං වෙළඳුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

SLvsNZ 3rd ODI : නවසීලන්තය තරගාවලිය ජයගනී

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවති තෙවන හා අවසන් එක්දින තරගය කඩුළු 6 කින් ජය ගනිමින් නවසීලන්ත කණ්ඩායම එක්දින තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට සමත් වුණා.

තෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 41 ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 157 ක් පමණයි.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 57 ක්, නායක දසුන් ශානක ලකුණු 31 ක් හා චාමික කරුණාරත්න ලකුණු 24 ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම කඩුලු 4 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ළහිරු කුමාර කඩුලු 2 ක්ද, කසුන් රාජිත හා දසුන් ශානක එක් කඩුල්ල බැඟින්ද බිඳ හෙළිමට සමත් වුණා.

තරග 3 කින් සමන්විත වූ එක්දින තරගාවලියේ දෙවැනි තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා අතහැර දැමූ අතර ඒ අනුව පැවති තරග දෙකම ජයගෙන තරඟ‍ාවලිය තරග 2-0 ලෙස ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

අද ඩොලරයේ විකුණුම් මිල රු.336 දක්වා ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (31) නැවත වැඩිවීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු 318.27 ක් ලෙස හා විකුණුම් මිල රු 336.01 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

රාජ්‍ය පරිපාලන නව ලේකම්වරයෙක් පත් කෙරේ

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ නව ලේකම් ධුරයට කේ. ඩී. එන්. රංජිත් අසෝක පත්කර තිබෙනවා.

ඒ අනුව 21 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

21b962ba3b2e9b7c2c65b3b56eb20aca

SLvsNZ 3rd ODI : නවසීලන්තයට ලකුණු 158 ක ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර තෙවන හා අවසන් එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 41 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 157 ක් පමණයි.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 57 ක්, නායක දසුන් ශානක ලකුණු 31 ක් හා චාමික කරුණාරත්න ලකුණු 24 ක් ලබාගත් අතර අනෙක් කිසිඳු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව හෝ ඉක්මවා යාමට නොහැකි වුණා.

ජයග්‍රහණය සඳහා නවසීලන්ත කණ්ඩායම හිමිවී ඇති ඉලක්කය ලකුණු 158 ක්.

ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය නැවත සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා – ඛනිජ තෙල් සංස්ථාව

දිවයිනේ සියලු ඉන්ධනහල් වෙත සිදුකරන ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

ඉල්ලීම් කිහිපයක් මත ඛනිජ තෙල් වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගයක් හේතුවෙන් ඉන්ධන සැපයුම් ක්‍රියාවලියේ යම් ප්‍රමාදයන් සිදුව තිබුනා.

මේ වනවිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා සේවකයින් බහුතරයක් වර්ජන ක්‍රියාමාර්ග නවතා සාමාන්‍ය පරිදි රාජකාරියේ නිරතව සිටින බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරනවා.