SLvsIRE 1st Test : අයර්ලන්ත පළමු ඉනිම ලකුණු 143 කට සීමා වෙයි

සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායම ලකුණු 143 කට සීමාවී තිබෙනවා.

ඒ අනුව අයර්ලන්ත කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලබාගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 143 ක් පමණයි.

පන්දුවට පහරදීමේදී Lorcan Tucker ලකුණු 45 ක්, Harry Tector ලකුණු 34 ක් හා James McCollum ලකුණු 35 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ප්‍රභාත් ජයසූරිය කඩුලු 7 ක් හා විශ්ව ප්‍රනාන්දු කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට අයර්ලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 448 ක් ඉදිරියෙන් පසුවනවා.

සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන අයර්ලන්තය මේ වනවිට කඩුළු 02ක් දැවී ලකුණු 24 ක් ලබා සිටිනවා.

ලකුණු පුවරුව පහතින්,

8934be98de40cabf3f57ceef170c3be8

වැඩි කළ ඉන්ධන සලාක​ය තවත් සතියක් ලබාදීමට තීරණයක්

උත්සව සමය වෙනුවෙන් වැඩි කරන ලද ඉන්ධන කෝටාව අද (18) මධ්‍යම රාත්‍රියේ සිට යාවත්කාලීන වන මීළග සතියේදීත් එලෙසම ලබාදීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක පවසනවා.

පසුගිය 04 වනදා මධ්‍යම රාත්‍රියේ සිට උත්සව සමය වෙනුවෙන් ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර තිබුණා.

අදාළ ඉහළ දැමූ ඉන්ධන කෝටාවන් පහතින්,

4a23bb2642ac5bdefba557e6f176d361

ගාලු මුවදොර පිටියේ සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් ආදි​ය පැවැත්වීම සඳහා අවසර ලබානොදීමට තීරණයක්

මහජනතාවට නිදහසේ කාලය ගත කිරීම සඳහා පමණක් ගාලු මුවදොර පිටිය වෙන්කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව සමාජ වගකීම් ව්‍යාපෘතියක් වශයෙන් ගාලු මුවදොර පිටිය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් භාරගෙන ඇති අතර එම අධිකාරිය විසින් රුපියල් මිලියන 220ක් පමණ ඒ සඳහා වැය කිරීමට නියමිතයි.

අප්‍රේල් 20 වැනිදායින් පසුව මහජනතාවට නිදහසේ කාලය ගත කිරීමට හා සුවිශේෂී ආගමික කටයුතු සඳහා පමණක් ගාලු මුවදොර පිටිය ලබාදීමට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ගාලු මුවදොර පිටියේ සුන්දරත්වයට හානි වන හෝ හානි කළ හැකි සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් හෝ වෙනත් කටයුතු සඳහා මින් ඉදිරියට එම භූමියේ පැවැත්වීමට අවසර හිමි නොවන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්,

3feab3e5d5df57d1285ae046d3b4c1f9

සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ගැසට් නිවේදනයක්

විදුලි බල සැපයීම, ඛණිජ තෙල්, තැපැල් සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියෝගය පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්

571ee0221e27e08dbda1344aa838d562

අදත් ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (18) දිනයේ ද අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව කිලිනොච්චිය, වව්නියාව, මන්නාරම, අනුරාධපුරය, කුරුණෑගල, මොණරාගල, හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක මෙලෙස උෂ්ණත්වය ඉහළ මට්ටමක පවතින බවයි සඳහන් වන්නේ.

ඒ අනුව එම ප්‍රදේශවල ජනතාව ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම වැනි සෞඛ්‍ය අංශවලින් ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

7ebe5662bab12cafc74bffefd99a68e4

 

අර්ධ සුඛෝපභෝගි බස් රථ ලබන මාසයෙන් පසුව අහෝසි කෙරේ

අර්ධ සුඛෝපභෝගි බස් රථ ලබන මාසයෙන් පසුව අහෝසි කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

අර්ධ සුඛෝපභෝගි බස් රථ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බවයි එහි අධ්‍යක්‍ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා සඳහන් කළේ.

ප්‍රවාහන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි අර්ධ සුඛෝපභෝගී සේවාව සාමාන්‍ය සේවාවක් හෝ සුඛෝපභෝගී සේවාවක් බවට පත්කරන ලෙස සියලු බස් හිමියන් දැනුවත් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

මේ වනවිට බස්රථ 430ක් පමණ අර්ධ සුඛෝපභෝගී ලෙස ඇති බවත් මේ වන විට බස් 20ක් පමණ එවැනි සේවා සංශෝධනවලට ඉල්ලීම් ලැබී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අද ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර උපායමාර්ගික සාකච්ඡාවක්

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර අද (18) උපායමාර්ගික සංවාදයක් පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව එම සංවාදය සඳහා විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන සහභාගී වීමට නියමිත අතර එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර විදේශ ලේකම් මට්ටමේ ප්‍රථම උපායමාර්ගික සංවාදය මෙය බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 75ක් සපිරීමට සමගාමීව මෙම සංවාදය පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

අප්‍රේල් 21 වනදා කොච්චිකඩේ සිට කටුවපිටිය දක්වා ජන පවුරක් නිර්මාණය කරනවා – කාදිනල් හිමි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සිව් වසරක් සපිරීම නිමිත්තෙන් ජන පවුරක් සකස් කරන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසනවා.

ඒ අනුව එළඹෙන සිකුරාදා යුක්තිය ඉල්ලා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිට කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැදුර දක්වා මෙම ජන පවුරක් සකස් කරන බවයි සඳහන් වන්නේ.

අප්‍රේල් 21 උදේ 8 සිට පෙරවරු 9 දක්වා කොච්චිකඩේ දේවස්ථානයේ සිට කටුවපිටිය දේවස්ථානය දක්වා කොළඹ මීගමු මහ මාර්ගයේ මෙම ජන පවුර නිර්මාණය කරන බවත් පෙරවරු 8.45 ට විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කරන්නට කටයුතු කරන බවයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ.

අප්‍රේල් 20 වනදා දෙමුහුන් සූර්යග්‍රහණයක්

අප්‍රේල් 20 වනදා දෙමුහුන් සූර්යග්‍රහණයක් සිදුවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා සම්මත වේලාවට අනුව සූර්යග්‍රහණය, අප්‍රේල් 20 දින ඉන්දියන් සාගරයෙන් පෙරවරු 7.04 ට ආරම්භ වී දහවල් 12.29 ට පැසිෆික් සාගරයෙන් අවසන් වීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත්, මෙම ස්ථාන දෙක ද සාගරේ මැද පිහිටා ඇති බැවින් මෙම සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවට මෙන්ම ලෝකයේ බොහෝ රටවලට දෘෂ්‍යමාන නොවන බවයි සඳහන් වන්නේ.

බටහිර ඕස්ට්‍රේලියාව, නැගෙනහිර ටිමෝරය සහ නැගෙනහිර ඉන්දුනීසියානු දූපත් වල සිටින අයට සූර්යග්‍රහණය දෘශ්‍යමාන වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළඳසැල් 700 කට එරෙහිව නඩු

උත්සව සමයේ වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළඳසැල් 700 කට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

ඒ අනුව එහි සභාපති ශාන්ත නිරිඇල්ල සඳහන් කළේ, බිත්තර වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් වැටලීම් 700 ක් හා සියලු භාණ්ඩ සම්බන්ධයෙන් වැටලීම් 6000 ක් පමණ සිදුකර ඇති බවයි.

මේ අතර සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක සඳහන් කළේ, මැයි 1 වනදා සිට පාලන මිලට වඩා අඩුවෙන් බිත්තර පාරිභෝගිකයන්ට ලබාදීමට කටයුතු කරන බවයි.