පවතින ගැටලු සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ සාකච්ඡා කළ යුතුයි – ජෝසප් ස්ටාලින්

පවතින ගැටලු සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ සාකච්ඡා කළ යුතු බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා.

එකිනෙකාට චෝදනා කරමින් කුමන්ත්‍රණ කරමින් පිළිතුරු පත්‍ර ඇගයීම තවත් කල් යාම තුළින් සිදුවන්නේ දරුවන්ට අසාධාරණයක් බවයි ඔහු සඳහන් කරන්නේ.

ඒ අනුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ සාකච්ඡා කර විසඳුමකට පැමිණිය යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

පැළ සිටුවීමේ නැකත හෙට

2023 සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර අතර අවසන් නැකත වන පැළ සිටුවීමේ නැකත හෙට දිනට (20) යෙදී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව හෙට දිනයේ පෙරවරු 6.38ට යෙදෙන පැළ සිටුවීමේ නැකත තුළ ඵලයක් දෙන බහු වාර්ෂික බෝග පැළයක් රෝපණය කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

“නැකතට පැළයක් – ඵලයක් දෙන පැළයක් සිටුවමු” තේමාව යටතේ මෙවර පැළ සිටුවීමේ නැකත සැමරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සියලු කටයුතු සූදානම් කර ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

මෙහි ප්‍රධාන උත්සවය හෙට දින (20) පෙරවරු 6.38ට අඟුණකොළපැලැස්ස ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

ජාතික ඉෆ්තාර් උත්සවය ජනපති හා අගමැති ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී

ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් පවත්වනු ලබන ජාතික ඉෆ්තාර් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පවත්වා තිබෙනවා.

ජාතික සමගිය ඇති කිරීම වෙනුවෙන් ඉස්ලාම් බැතිමතුන් පසුගිය දශක ගණනාවක සිට සක්‍රිය දායකත්වයක් ලබා දී ඇති බවයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙහිදී සඳහන් කළේ.

එය අනාගතය සඳහාත් ගෙන යමින් සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට දායක වන ලෙසත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙහිදී ඉස්ලාම් බැතිමතුන්ගෙන් ඉල්ලා තිබෙනවා.

හිටපු නීතිපති අද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට

හිටපු නීතිපති දප්පුල ද ලිවේරාට අද (19) පෙරවරු 9.00 ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව පාස්කු බෝම්බ ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක් තිබූ බවට සිදුකර තිබුණු ඔහුගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අදත් ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 39-45 අත​ර මට්ටමක

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (19) දිනයේ ද අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත්වල මෙන්ම කුරුණෑගල සහ මොණරාගල දිස්ත්‍රික්කවලට මෙලෙස උෂ්ණත්වය සෙල්සියස් අංශක 39-45 අතර මට්ටමක පවතින බවයි සඳහන් වන්නේ.

ඒ අනුව එම ප්‍රදේශවල ජනතාව ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම වැනි සෞඛ්‍ය අංශවලින් ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

අදාළ නිවේදනය පහතින්,

0fd85a3f09df56895b9c7dd48c7bfafe

a075fe83ba7803f6483dac5095b8cf5d

හෙරොයින් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන්ට දින 7 ක රැඳවුම් නියෝගයක්

හෙරොයින් කිලෝ 179ක් සමග නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ සිටි සැකකරුවන් 06 දෙනා සම්බන්ධයෙන් දින 07ක රැඳවුම් නියෝග ලබාගැනීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව සැකකරුවන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර අදාළ රැඳවුම් නියෝග ලබාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම විදේශ රටක සිට මෙහෙයවනු ලබන බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ජාවාරම මෙහෙයවනු ලබන විදේශගතව සිටින සැකකරු සහ මෙරට සිට මෙහෙයවන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ නිවේදනය පහතින්.

22d63414c66132d7c03b335f2587decd

ආනයන සීමා ක්‍රමානුකූලව ලිහිල් කිරීමට ඉදිරියේදී කටයුතු කරනවා – රංජිත් සියඹලාපිටිය

තවත් භාණ්ඩ රැසක ආනයන සීමා ඉදිරියේදී ලිහිල් කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රේගුව වෙත පළමු මාස 03 සඳහා ලබාදී ඇති ආදායම් ඉලක්කය රුපියල් බිලියන 270 ක් බවත් නමුත් එම කාලය තුළ ලැබී ඇති ආදායම අපේක්ෂිත ආදායමට වඩා 12%ක අඩුවක් පෙන්නුම් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ භාණ්ඩ රැසක් සඳහා ආනයන සීමා පැනවීම බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඒ අනුව ආනයන සීමා ලිහිල් කිරීම ක්‍රමානුකූලව සිදුකළ යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

SLvsIRE 1st Test : ශ්‍රී ලංකාවට ඉනිමක හා ලකුණු 280 ක ජයක්

සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක හා ලකුණු 280 ක ජයක් ලබා ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 591 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයින් සිව්දෙනෙක් ශතක වාර්තා කිරීමට සමත් වූ අතර නායක දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල් හා සධීර සමරවික්‍රම මෙලෙස ශතක වාර්තා කළා.

ඉන් අනතුරුව සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදීමට පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 143 ක් ලබාගත් අතර විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ප්‍රභාත් ජයසූරිය කඩුලු 7 ක් හා විශ්ව ප්‍රනාන්දු කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

අනතුරුව යළිත් සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 168 ක් පමණයි.

පනදු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රමේෂ් මෙන්ඩිස් කඩුලු 4 ක්, ප්‍රභාත් ජයසූරිය කඩුලු 3 ක් හා විශ්ව ප්‍රනාන්දු කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයක් පිළියෙල කර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

සුබසාධන ප්‍රතිලාභ පනතේ විධිවිධාන අනුව සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයක් පිළියෙල කර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවයි සඳහන් වන්නේ.

යෝජිත සුබසාධන ප්‍රතිලාභ ක්‍රමයන් 2023-07-01 දින සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අතර, ඒ සඳහා වැයවන මුළු වියදම වාර්ෂිකව රුපියල් බිලියන 206 පමණ වන බවට ගණනය කර ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

2d5105ddfc874ccff682f0298211db9d

IMF මූල්‍ය පහසුකම ගැන විවාදය අප්‍රේල් 25 වනදා ඇරඹේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳ වැඩසටහන පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා.

එය සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදයෙන් අනතුරුව ඒ සඳහා ඡන්දයක් පැවැත්වෙන බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

ඒ අනුව අදාළ විවාදය අප්‍රේල් 25 වනදා සිට පැවැත්වෙන බවත් එයට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාවද ලබාදී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

762d7b58bde4c75fe30b41d01df7556c