අධ්‍යාපන ක්ෂේත්‍රය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීම අනුමත කරන්නේ නැහැ – විශ්වවිද්‍යාල ආචාර්යවරුන්

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින වෘත්තිමය ගැටලු මඟහැර යෑමේ උපක්‍රමයක් ලෙස එය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීම අනුමත නොකරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

ඒ අනුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා බලධාරීන් සාධනීය ලෙස කටයුතු කිරීම වැදගත් බවයි එහි සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක සඳහන් කළේ.

යම්කිසි සේවාවක් අත්‍යවශ්‍ය සේවාවක් විය යුත්තේ, ඒ සේවාවේ තිබෙන වැදගත්කම සහ ඒ සේවාව හරහා රටේ ජනතාවට ලබාදිය හැකි සේවය පිළිබඳව සලකා බලා බවයි ඔහු සඳහන් කළේ.

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ විධායක කමිටුව ඉදිරි දින කිහිපය තුළ රැස්වී උපරිම දෙයක් සිදුකිරීමට සූදානමින් සිටින බවයි මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක වැඩිදුරටත් සඳහන් කළේ.

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද (20) කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ලබන 25 වැනිදායින් ආරම්භ වන පාර්ලිමේන්තු සතියේ කටයුතු ඇතුළු කරුණු කිහිපයක් මෙහිදී සාකච්ඡාවට ලක් කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය එළඹෙන 26 සහ 27 දිනවලදී පැවැත්වීමටද නියමිතව තිබෙනවා.

බිත්තර සඳහා බර අනුව උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක්

අද (20) සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තර සඳහා බර අනුව උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සුදු බිත්තර කිලෝවක් රුපියල් 880 ක් හා දුඹුරු බිත්තර කිලෝවක් රුපියල් 920 ක් ලෙස සඳහන් කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

එසේම එම ගැසට් නිවේදනයේ එක් බිත්තරයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇති අතර සුදු බිත්තරයක් රුපියල් 44 ක් හා දුඹුරු බිත්තරයක් රුපියල් 46 ක් ලෙස මෙලෙස මිල නියම කර තිබෙනවා.

ආයතන කිහිපයක් ලබන සතියේ කෝප් කමිටුව හමුවට

ශ්‍රීලංකන් ගුවන් සමාගම, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු ආයතන කිහිපයක් එළඹෙන පාර්ලිමේන්තු සතියේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ලබන 25 වනදා ‘අපනයන ණය රක්ෂණ සංස්ථාව’ කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර ලබන 26 වනදා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව කැඳවා ඇති බවයි සඳහන් වන්නේ.

එසේම ශ්‍රීලංකන් ගුවන් සමාගම ලබන 27 වනදා කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර ලබන 28 වනදා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කැඳවා තිබෙනවා.

වෘත්තීය පුහුණු අධිකාරිය මැයි මස 9 වනදා කාරක සභාව හමුවට කැඳවීමට නියමිත අතර 2023.03.23 වනදා පැවති කෝප් කමිටු රැස්වීමේදී ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය මෙහිදී විමර්ශනය කිරීමට නියමිතයි.

අදත් ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 39-45 අතර මට්ටමක

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (20) දිනයේ ද අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර හා වයඹ පළාත්වල මෙන්ම හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලට මෙලෙස උෂ්ණත්වය සෙල්සියස් අංශක 39-45 අතර මට්ටමක පවතින බවයි සඳහන් වන්නේ.

ඒ අනුව එම ප්‍රදේශවල ජනතාව ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම වැනි සෞඛ්‍ය අංශවලින් ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

අප්‍රේල් 25 මැතිවරණය නොපැවැත්වෙන බවට ගැසට් නිවේදනයක්

අප්‍රේල් 25 දිනට නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්විය නොහැකි බවට තේරීම්භාර නිලධාරීන් විසින් ගැසට් නිවේදන නිකුත් කර තිබෙනවා.

භාණ්ඩාගාරයෙන් මුදල් මුදා හැරීමෙන් පසු හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවේ තීන්දුවක් දුන් පසුව නව දිනයක් ප්‍රකාශයට පත් කරන බවයි අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

IMF එකඟතා ගැන පාර්ලිමේන්තු විවාදය අප්‍රේල් 26 සහ 27 පැවැත්වෙනවා – රංජිත් සියඹලාපිටිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය එළඹෙන 26 සහ 27 දිනවලදී පැවැත්වෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඉන් අනතුරුව එම එකඟතා සඳහා බහුතරයේ අනුමැතිය ලබා ගැනීමට නියමිත බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225 රටේ අනාගතය සම්බන්ධයෙන් සිතා, එය පහළට දමා කටයුතු කරාවි යැයි තමා බලාපොරොත්තු නොවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඉදිරියේදී කිරිපිටි මිල ගණන් පහළ දැමීමට ආනයනකරුවන් එකඟතාව පළ කරයි

ආනයනික කිරිපිටි මිල තවදුරටත් අඩු කිරිමට ආනයනකරුවන් එකඟතාව පළකර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

කිරිපිටි ආනයනකරුවන් සමග ඊයේ (18) රාත්‍රියේ පැවැත්වූ සාකච්ඡාවකදී ඔවුන් ඒ සම්බන්ධයෙන් එකඟතාව පළ කළ බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් වාර්තාවක් වෙළෙඳ අමාත්‍යාංශය වෙත ලබා දීමටද නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මීට පෙර අප්‍රේල් මස පළමුවැනි දින සිට ආනයනික කිරිපිටි මිල අඩු කිරීමට එම සංගම් පියවර ගෙන තිබූ අතර එහිදී කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 200කින් සහ ග්‍රෑම් 400යේ කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80කින් අඩු තිබුණා.

රිලවුන් චීනයට යැවීම ගැන චීන තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

රිලවුන් 100,000 ක් චීනය වෙත ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවට පලවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මෙරට චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව වන සතුන් සහ ශාක ආනයනය සහ අපනයනය අධීක්‍ෂණය කරන සහ කළමනාකරණය කරන ප්‍රධාන රජයේ දෙපාර්තමේන්තුව වන චීන ජාතික වන විද්‍යා සහ තණබිම් පරිපාලනය සඳහන් කර ඇත්තේ තමන් එවැනි ඉල්ලීමක් සම්බන්ධයෙන් නොදන්නා බවයි.

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති වන සත්ත්ව හා වෘක්ෂලතා විශේෂවල (CITES) ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ සම්මුතියේ කොටස්කරුවෙකු ලෙස චීනය 1988 දී දැනටමත් සංශෝධන කිහිපයක් සමඟ වනජීවී ආරක්ෂණ නීතිය සම්මත කර ඇති බවයි චීන තානාපති කාර්යාලය පෙන්වා දෙන්නේ.

චීන රජය සෑම විටම වනජීවී ආරක්ෂාව සඳහා විශාල වැදගත්කමක් ලබා දෙන අතර ජාත්‍යන්තර වගකීම් සක්‍රීයව ඉටුකරන බවයි චීන තානාපති කාර්යාලය Twitter පණිවිඩයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

aefceaec18ff6033329cc3ba9fb74840

ප්‍රතිව්‍යුහගත කිරීමේ මාර්ග සිතියම ගැන සියලු පාර්ශව දැනුවත් කිරීමට පියවර

කැබිනට් අනුමැතිය හිමිවූ විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කීරීමේ මාර්ග සිතියම සහ යෝජිත කාල රාමුව සම්බන්ධයෙන් සියලුම පාර්ශව දැනුවත් කිරීමට අමාත්‍යවරයා හා ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අද උදෑසන විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය, අමාත්‍යවරයා සහ කමිටුව අතර සාකච්ඡාවක් පවත්වා ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

එහිදී මෙම යෝජිත ක්‍රියාවලිය වෙනුවෙන් ඔවුන්ගේ සම්පුර්ණ සහය ලබාදීමට කටයුතු කරන බව ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය පවසා ඇති බවයි සඳහන් වන්නේ.