අදත් ප්‍රදේශ කිහිපයක සිරුරට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 39-45 අතර මට්ටමක

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (21) දිනයේ ද අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර හා වයඹ සහ බස්නාහිර පළාත්වල මෙන්ම හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මෙලෙස මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 39-45 අතර මට්ටමක පවතින බවයි සඳහන් වන්නේ.

එම ප්‍රදේශවල ජනතාව ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම වැනි සෞඛ්‍ය අංශවලින් ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

අදාළ නිවේදනය පහතින්,

18a7aa775eae01093698456eaf964b02

3e793420ffd1c3e905eb0448c882828e

අමෙරිකානු තානාපතිනිය හා අධිකරණ ඇමති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ අතර හමුවක් අද (20) කොළඹ දී පවත්වා තිබෙනවා.

ජාත්‍යන්තර එකඟතා වලට අනුකූල නොවන ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතේ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් එම පනත් කෙටුම්පතේ කරුණු සම්බන්ධයෙන් ජනතාව අතර සහ පාර්ලිමේන්තුව තුළ පුළුල් අදහස් හුවමාරුවක් අවශ්‍ය බවත් ඇය පෙන්වා දෙනවා.

එසේම අදහස් ප්‍රකාශ කිරීමේ හෝ රැස්වීමේ නිදහස සීමා නොකර ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා ඵලදායි මෙවලමක් ලෙස නීති සම්පාදනය ක්‍රියා කරන බව සහතික කිරීම සඳහා සිවිල් සමාජය, ශාස්ත්‍රාලිකයින් සහ නීති සම්පාදකයින් ඇතුළු සියලුම දෙනාගේ අදහස් සලකා බැලීම වැදගත් බවයි ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ Twitter පණිවිඩය පහතින්.

a21fb9f6c46798d120ec6390c0f742ee

91a035415a3958fc0929173bdd0f034d

හිටපු ජනපති නිල නිවසේ ඉෆ්තාර් උත්සවයක්

ඉස්ලාම් ආගමික ඉෆ්තාර් උත්සව අවස්ථාවක් ඊයේ (19) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.

මෙම අවස්ථාවට ඉස්ලාම් ආගමික නායකයින්, අමාත්‍යවරුන්, තානාපතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී වූ බවයි සදහන් වන්නේ.

බණ්ඩි පොහොර මිල පහළ දැමීමට අවධානය

මෙවර යල කන්නයේ වී වගාව සඳහා බණ්ඩි පොහොර මිල රුපියල් 4,500කින් පහළ දැමීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

බණ්ඩි පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් රුපියල් 18,500 ක පමණ මිලකට අලෙවි වන බැවින් එම මුදල ගොවි ජනතාවට දරාගැනීමට අපහසු නිසා මෙලෙස මිල අඩු කිරීමට තිරණය කළ බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ.

මේ පිළිබඳ අවසන් තීරණය ලබන සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩ‍ල සාකච්ඡාවේදී ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

6 ශ්‍රේණිය සඳහා පාසල්වලට ඇතුළත් වීමේ අභියාචනා අයදුම්පත් Online ක්‍රමයට

2022 වර්ෂයේ පැවැත්වූ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2023 වර්ෂයේ 06 ශ්‍රේණිය සඳහා පාසල්වලට ඇතුළත් වීමේ අභියාචනා ඉදිරිපත් කිරීම Online ක්‍රමයට සිදුකිරීම සඳහා අයදුම්පත් කැඳවා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

අද (20) දින දහවල් 12.00 සිට මැයි මස 08 දින රාත්‍රී 12.00 දක්වා මේ සඳහා කාලය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

https://g6application.moe.gov.lk/#/ යන ‍වෙබ් සබැඳිය වෙත පිවිසීමෙන් මාර්ගගත අභියාචනා අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකියාව පවතින අතර පාසල් ඉල්ලුම් කිරීමට අදාළ පාසල් සංගණන අංක (Census No.) සහිත ලේඛනය www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීම මඟින් ලබාගත හැකි බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වීමට දින නියම වෙයි

ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වූ එකඟතා සම්මත කරගැනීම සඳහා වූ පාලිමේන්තු විවාදයට දින නියම කර තිබෙනවා.

ඒ අනුව අප්‍රේල් මස 26, 27 සහ 28 යන දින තුන තුළ විවාදය පැවැත්වීමට අද (20) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබෙනවා.

එසේම පාර්ලිමේන්තුව ලබන 25 වනදා සිට 28 වනදා දක්වා රැස්වන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සහල් මිල සඳහා සහනයක් ලබාදීමට හැකියාවක් නැහැ – ඩඩ්ලි සිරිසේන

සහල් මිල සඳහා සහනයක් ලබාදීමට මේ මොහොතේ හැකියාවක් නොමැති බව සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසනවා.

ඩීසල් මිල ඉහළයාම, අධික බදු සහ විදුලි ගාස්තු හේතුවෙන් සිය නිෂ්පාදන පිරිවැය අධික ලෙස ඉහළ ගොස් ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව රුපියල් 220 ට සහල් මිල නියම කරන විට ඩීසල් මිල රුපියල් 112 ක්, විදුලි ඒකකයක් රුපියල් 16 ක් හා බැංකු පොළිය 8% ක් පමණ වූ බවත් මේ වන විට ඩීසල් රුපියල් 380 ක්, විදුලි ඒකකයක් රු.75 ක් හා බැංකු පොලිය 28% ක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අධික බදු ඇතුළු කරුණු හේතුවෙන් ජනතාවට ලබාදිය යුතු සහන ලබාදීමේ ක්‍රමයක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව පුර්ණ ඩිජිටල්කරණය කිරීම ආරම්භ කරයි

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ දත්ත පද්ධති ක්‍රියාවලිය ස්වයංක්‍රීයකරණය කිරීමේ ව්‍යාපෘතිය නිල වශයෙන් දියත් කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් සිදුකර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය යටතේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව තුල සිදුවන සේවාව ස්වයංක්‍රීය පරිගණක වැඩසටහනක්‌ හරහා ක්‍රියාත්මක වන අතර කිසිඳු බාහිර බලපෑමකින් තොරව පද්ධතිය ක්‍රියාත්මක වන බවයි සඳහන් වන්නේ.

පැය 24 පුරාම ක්‍රියාත්මක වන පාලක මැදිරිය හරහා අඛණ්ඩව රැස් කෙරෙන දත්ත විශ්ලේෂණය කිරීම තුළින් ආයතනික කාර්යයන් සඳහා මෙන්ම ඉදිරියේදී ආරක්ෂක අංශය සහ නීතිමය කටයුතු ඇතුලු අනෙකුත් අංශ සඳහාත් විශාල ප්‍රයෝජනයක් වන බවයි සඳහන් වන්නේ.

ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ගැන විදුලි අධිකාරිවරුන්ගේ සංගමයේ නිළධාරීන් සමඟ සාකච්ඡාවක්

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව විදුලි අධිකාරිවරුන්ගේ සංගමයේ නිළධාරීන් සහ අමාත්‍ය කංචන විජේසේකර අතර ඊයේ (19) සවස සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ අනුව යෝජිත ක්‍රියාවලිය වෙනුවෙන් ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කරන ලද බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ.

එමෙන්ම එම ක්‍රියාවලිය විනිවිදභාවයෙන් සිදු කල යුතු බවත්, සේවකයන් පිළිබඳව කටයුතු කිරීමේදී සැලකිය යුතු කරුණු පිළිබඳවත් ඔවුන් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

දෙමුහුන් සූර්යග්‍රහණයක් අද

අද (20) දින සූර්යග්‍රහණයක් සිදුවන අතර එය දෙමුහුන් සූර්යග්‍රහණයක් ලෙස හඳුන්වනු ලබන බව කොළඹ විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා.

එකම සූර්යග්‍රහණය තුළ එය පූර්ණ සූර්යග්‍රහණයක සිට වළයාකාර සූර්යග්‍රහණයක් දක්වා මාරුවීම එයට හේතුව බවයි ඔහු සඳහන් කළේ.

ශ්‍රී ලංකා සම්මත වේලාවට අනුව මෙම සූර්යග්‍රහණය, අද පෙරවරු 7.04 ට ඉන්දියන් සාගරයෙන් ආරම්භ වී දහවල් 12.29 ට පැසිෆික් සාගරයෙන් අවසන් වීමට නියමිතයි.

කෙසේ වෙතත්, අවාසනාවන්ත ලෙස මෙම ස්ථාන දෙක ද සාගරයේ මැද පිහිටා ඇති බැවින් එම සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවට මෙන්ම ලෝකයේ බොහෝ රටවලටද දෘෂ්‍යමාන නොවන බවයි සඳහන් වන්නේ.