උද්ධමන​ය තවදුරටත් අඩු වීමක් – ​සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු මාසයේ උද්ධමනය 49.2% ක් දක්වා අඩුවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව පෙබරවාරි මාසයේදී 49% ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය මාර්තු මාසයේදී 42.3% ක් දක්වා අඩුවී ඇති බවයි සඳහන් වන්නේ.

එසේම පෙබරවාරි මාසයේ 57.4% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය මාර්තු මාසයේදී 54.9% ක් දක්වා අඩුවී ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

8407dbc3b75e31749ce4cdb200701046

 

මැංගුස් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද සහ හෙට

කළුතර විද්‍යාලය සහ තිස්ස මධ්‍ය මහා විද්‍යාලය අතර “මැංගුස් සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (21) සහ හෙට (22) පැවැත්වෙනවා.

ඒ අනුව මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී මෙම ක්‍රිකට් තරගය පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

මෙවර එම “මැංගුස් සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගය පැවැත්වෙන්නේ 63 වන වරටයි.

මධ්‍යම සහ ඌව පළාත්වලට නව ප්‍රධාන ලේකම්වරුන් පත් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පළාත් දෙකක් සඳහා නව ප්‍රධාන ලේකම්වරුන් පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඒ අනුව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ලෙස අජිත් ප්‍රේමසිංහ සහ ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස දමයන්ති පරණගම මෙලෙස පත්කර ඇති බවයි සඳහන් වන්නේ.

දැනට අදාළ තනතුරු හොබවන නිලධාරීන් විශ්‍රාම යෑමෙන් පසුව මෙම පත්වීම් බලපැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

උසස් පෙළ දෙමළ මාධ්‍ය පිළිතුරු පත්‍ර ඇගයීම ඇරඹේ

උසස් පෙළ දෙමළ මාධ්‍යය පිළිතුරු පත්‍ර ඇගයීමේ මූලික කටයුතු අද (21) ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව විෂයයන් කිහිපයකට අදාළව පාලක පිළිතුරු පත්‍ර සළකුණු පටිපාටිය සම්මත කර ගැනීමේ ක්‍රියාවලිය මේ වන විට සිදු වෙමින් පවතින බවයි සඳහන් වන්නේ. විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර සඳහන් කර සිටියේ හින්දු ධර්මය, ක්‍රිස්තියානි ධර්මය, හින්දු ශිෂ්ටාචාරය, භරත නැටුම්, පෙරදිග සංගීතය, කර්නාටක සංගීතය, බටහිර සංගීතය, චිත්‍ර, නාට්‍ය හා රංග කලාව සහ හින්දි යන විෂයයන්ට අදාළව එම කටයුතු ආරම්භ කර ඇති බවයි. යාපනය, කොළඹ, මඩකලපුව, ගම්පහ, කලුතර සහ කුරණෑගල යන නගර ආශ්‍රිත පිළිතුරු පත්‍ර ඇගයීම් මධ්‍යස්ථානවල දී එම කටයුතු සිදු කෙරෙන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

88421251fe6ef116f8542698a0ea8cfe

බිත්තර මිල තීරණය කිරීමේ අයිතිය ගොවියන්ට ලබාදිය යුතුයි – කුකුළු ගොවීන් සුරැකීමේ සංවිධාන එකමුතුව

බිත්තර මිල තීරණය කිරීමේ අයිතිය ගොවියන්ට ලබාදෙන ලෙස කුකුළු ගොවීන් සුරැකීමේ සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සංජීව කරුණාරත්න පවසනවා.

මීට පෙර බිත්තර නිෂ්පාදකයින් විසින් මිල තිරණය කළ බවත් මේ වන විට එය සම්පූර්ණයෙන්ම ආණ්ඩුව උදුරාගෙන ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

බිත්තර නිෂ්පාදකයින්ව දිරිගන්වා බිත්තර නිෂ්පාදනය වැඩිකළේ නම් ඉල්ලුම සැපයුම මත සාධාරණ මිලක් නියම වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

යුරෝපා සංගමයෙන් යූරියා පොහොර කෘෂිකර්ම අමාත්‍යාංශය​ට ලබාදීම හෙට

යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් මෙවර යල කන්නයේ දී ගොවි ජනතාවට යුරියා පොහොර සහනාධාරයක් ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

රුපියල් මිලියන 15,000 ක යුරියා පොහොර හා කෘෂි උකරණ කට්ටල රැසක් කෘෂිකර්ම අමාත්‍යාංශයට නිල වශයෙන් භාරදීම හෙට (22) දින සිදු කරන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

පොළොන්නරුව, හම්බන්තොට, බදුල්ල, අම්පාර, මාතලේ, පුත්තලම හා කුරුණෑගල ඇතුලු දිස්ත්‍රික්ක 07ක හෙක්ටෙයාර් බාගයකට වඩා අඩු ඉඩම් ප්‍රමාණයක වී වගා කරන ගොවි පවුල් 71,000කට නොමිලයේ කිලෝ ග්‍රෑම් 50ක යුරියා පොහොර මිටියක් බැගින් ලබාදීම ද සිදු කිරීමට නියමිතයි.

එසේම රටේ උසස් තත්ත්වයේ බීජ, වී සැකසීමේ නව තාක්ෂණික ක්‍රම හා ඒවාට අවශ්‍ය උපාංග ලබා දීම ද සිදු කිරීමට නියමිත බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

ඉදිරි සති දෙක තුළ බිත්තර මිල අඩු කිරීමට කටයුතු කරනවා – වෙළඳ ඇමති

ඉදිරි සති දෙක තුළ බිත්තර මිල අඩු කිරීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව පාලන මිලට අනිවාර්යෙන්ම බිත්තර අලෙවි කිරීමට කටයුතු කළ යුතු බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව නීති දැඩිව ක්‍රියාත්මක කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

විදුලිබල ඇමති හා වෘත්තීය සමිති අතර හමුවක්

ලංකා විදුලිබල බණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරිමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් විදුලි වෘත්තීය සමිති නියෝජිතයින් දැනුවත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව අමාත්‍ය කංචන විජේසේකර විසින් සියලු වෘත්තීය සමිති කැඳවා අදාළ ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිශ්චිත පැහැදිලි කිරිමක් සිදුකළ බවයි සඳහන් වන්නේ.

විදුලිබල ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීය සමිති 31 ක නියෝජිතයින් මෙම සාකච්ඡාව සඳහා සහභාගි වී ඇති අතර ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා ඔවුන් විසින් ද මෙහිදී යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

ප්‍රතිසංස්කරණ ව්‍යුහය සකස් කිරීමට අදාළ ඉදිරි කටයුතු වලදී එම යෝජනා සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට සූදානම් බවයි එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

පාස්කු ඉරිදා ඛේදවාචකය​ට අද​ට වසර හතරයි

2019 වසරේ අප්‍රේල් 21 වෙනිදාට යෙදුණු පාස්කු ඉරුදිනයේ කුරිරු ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට වසර හතරක් ගතවනවා.

කතෝලික දේවස්ථාන 03 කට හා කොළඹ ප්‍රධාන පෙලේ හෝටල් 03ක් ඇතුළු ස්ථාන 08ක් ඉලක්ක කර ගනිමින් ත‍්‍රස්තවාදීන් විසින් මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව එල්ල කර තිබුණා.

එදිනම දෙමටගොඩ පිහිටි නිවාස සංකීර්ණයක සහ දෙහිවල ලැගුම්හලකද කුඩා පිපිරීම් සිදුවුණා. මෙම සියලු පිපිරීම්වලින් පුද්ගලයන් 269 දෙනෙක් පමණ මියගිය අතර විදේශිකයන් 45 දෙනෙක් සහ පොලිස් නිලධාරීන්ද ඇතුළුව අවම වශයෙන් 500 ක් පමණ මෙම සිදුවීමෙන් තුවාල ලැබුවා.

ප්‍රහාරය සිදුවී වසර හතරක් ගතවන අද දිනයේදී දිවයින පුරා කතෝලික පල්ලි ඇතුලු විවිධ ස්ථාන වලදී මියගිය අය සිහිපත් කිරීම සඳහා විවිධ වැඩසටහන් සංවිධානය කර තිබෙනවා.

පාස්කු වින්දිතයින්ට යුක්තිය ඉල්ලා පා ගමනක් පවත්වයි

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානය දක්වා පාගමනක් ඊයේ (20) රාත්‍රියේ ආරම්භ කර තිබෙනවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සිව් වසරක් සපිරීම නිමිත්තෙන් මෙම පාගමන පැවැත්වූ බවයි සඳහන් වන්නේ.

මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සිව්වන වර්ෂ පූර්ණය අද (21) දිනයේ, ප්‍රහාරයෙන් මියගිය තැනැත්තන් සිහිකරමින් වින්දිතයින්ට යුක්තිය ඉල්ලා සිටිමින් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා ජන පවුරක් නිර්මාණය කිරීමට නියමිතව තිබෙනවා.