වැසිබර කාලගුණ තත්ත්වය තවදුරටත්

ශ්‍රී ලංකාව ආශ්‍රිතව මධ්‍ය වායු ගෝලයේ පවතින කැලඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයින පුරා බොහෝ ස්ථානවල පවතින වැසිබර තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, නැගෙනහිර සහ උතුරු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට තරමක් වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

සෙසු ප්‍රදේශවල ද ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර තද සුළං ඇතිවිය හැකි බවද සඳහන්.

මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 988 කට නිදහස

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා.

ඒ අනුව අපරාධමය වැරදි නොවන පිරිමි සිරකරුවන් 982 ක් සහ ගැහැණු සිරකාරියන් 06ක් ද ඇතුලුව පුද්ගලයින් 988 දෙනෙකු දිවයිනේ සෑම බන්ධනාගාරයක් ම ආවරණය වන පරිදි නිදහස් කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊට අමතරව පොහෝ දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් හට අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ද ලබා දී ඇති අතර ඒ අනුව අද සහ හෙට දින දෙක තුළ සිරකරුවන් සඳහා අමුත්තන් බැලීමට අවස්ථාව ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.

රැඳවූවන්ගේ ඥාතීන් විසින් රැගෙන එනු ලබන ආහාර පාර්සල සහ රසකැවිලි එක් අයෙකුට පමණක් ප්‍රමාණවත් වන අයුරින් ලබාදීමට ද එම දින දෙක තුළ අවස්ථාව ලබා දී ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

වෙසක් පොහොය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක්

දිවයිනේ සියලු වෙසක් කලාප ආශ්‍රිත ප්‍රදේශ සහ විශේෂ පුජනීය ස්ථාන ආවරණය වන පරිදි විශේෂ බස් රථ සේවාවක් අද සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

ඒ අනුව වෙසක් සතිය තුළ උදෑසන 6.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මෙම ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

එමෙන්ම වෙසක් පොහොය නිමිත්තෙන් විශේෂ දුම්රිය කිහිපයක් ද ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැළසුම් කර ඇති බවයි දුම්රිය නියෝජ්‍ය සාමානාධිකාරී එම්. ජේ ඉදිපොලගේ සඳහන් කළේ.

වෙසක් උත්සවයට දන්සැල් 7000 ක් ලියාපදිංචි වෙයි

වෙසක් උත්සවය වෙනුවෙන් දන්සැල් 7,000ක් පමණ ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

ලියාපදිංචි වී නොමැති දන්සැල් සම්බන්ධයෙන් ද සොයාබැලීමට තීරණය කර ඇති බවයි එම සංගමය සඳහන් කළේ.

දන්සැල් කටයුතු පරීක්ෂාව සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3000 ක් පමණ යොදවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අද කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙයි

වෙසක් සැමරුම් උත්සව වෙනුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය මහජනතාවට දැනුම් දෙනවා.

වෙසක් කලාපවලට පැමිණෙන රථවාහන ගාල් කිරීම සඳහා ද නම්කරන ලද ස්ථාන කිහිපයක් වෙන්කර ඇති බවයි පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

ඒ අනුව ගංගාරාම බුද්ධ රශ්මි වෙසක් කලාපයට අයත් රථ ගාල්, බෞද්ධාලෝක වෙසක් කලාපයකට අයත් රථ ගාල් සහ ගාලු මුවදොර ප්‍රදේශය ආශ්‍රිත රථ ගාල් කිහිපයක් සකස් කර ඇති බවයි පොලීසිය මහජනතාවට දැනුම්දෙන්නේ.

මේ අතර වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළා.

මහජනතාවගේ ආරක්ෂාව සඳහා වෙසක් කළාප ආශ්‍රිතව පොලිස් නිලධාරීන් සහ බුද්ධි නිලධාරීන් සිවිල් ඇඳුම්වලින් යෙදවිමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

වෙසක් පුර පසළොස්වක පෝය දිනය අදයි

සම්බුදු තෙමඟුල සිදුවූ වෙසක් පුන් පුර පසළොස්වක පොහෝ දිනය අදට (05) යෙදී තිබෙනවා.

සිද්ධාර්ථ කුමාරයාගේ උප්පත්තිය, ශ්‍රී සම්බුද්ධත්වයට පත්වීම සහ පරිනිර්වාණය කිරීම යන අවස්ථා තුන සිදුවූ දිනය ලෙස වෙසක් පුන් පොහෝ දිනය සැමරනු ලබනවා.

මීට අමතරව බුදුන් වහන්සේ තෙවන වරට ශ්‍රී ලංකාවේ කැලණිය පුදබිමට වැඩම කිරීම ද සුමන සමන් දෙවියන්ගේ ආරාධනය මත සමනල කන්ද මුදුනේ බුදු සිරිපා පිහිටුවීම ද අද වැනි දිනක සිදුවූ බවට බෞද්ධ ඉතිහාසයේ සඳහන් වනවා.

වෙසක් පොහෝ දිනය ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ලෝකවාසි බෞද්ධ ජනතාව සමරන අතර ශ්‍රී ලංකාවේද සෑම විහාරස්ථානයකම ආගමික වැඩසටහන් සංවිධානය කර තිබෙනවා.

වෙසක් සැමරුම් උත්සව වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

වෙසක් සැමරුම් උත්සව වෙනුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය මහජනතාවට දැනුම් දෙනවා.

ඒ අනුව වෙසක් කලාපවලට පැමිණෙන රථවාහන ගාල් කිරීම සඳහා ද නම්කරන ලද ස්ථාන කිහිපයක් වෙන්කර ඇති බවයි පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවල නිරතවීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තීරණය කරයි

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවල නිරතවීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කළ බව පවසනවා.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද (04) දහවල් රැස්වී මේ සම්බන්ධයෙන් තීරණය කළ බවයි එම සමිති සම්මේලනය වැඩිදුරටත් සඳහන් කළේ.

බුද්ධ රශ්මි වෙසක් කලාපය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කරන ‘බුද්ධ රශ්මි’ වෙසක් කලාපය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) විවෘත කර තිබෙනවා.

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍ය වෙනුවෙන් ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ සහ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ මැයි 03, 04, 05 සහ 06 යන දිනයන්හි දී තොරණ, පහන් කූඩු, භක්ති ගීත, දන්සැල්, සීල භාවනා ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවයි සඳහන් වන්නේ.

එම වෙසක් වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් විදුලි පහන් ආලෝකය දැල්වීම ජනාධිපතිවරයා අතින් සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පත්කෙරේ

වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පත් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකයට සහභාගි වීම සඳහා එංගලන්තය බලා පිටත්ව යාම හේතුවෙන් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

19579f18276e595336dff7a55967eb51