වසර 5කට වැඩි කාලයක් වාහන ආදායම් බලපත්‍රය අලුත් නොකළ වාහන අසාදු ලේඛනගත කෙරේ

වසර 5ක් පුරා ආදායම් බලපත්‍ර ලබාගෙන නොමැති වාහන අසාදුගත කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතියෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ පවසනවා.

මේ වනවිට වාහන ලක්ෂ 83ක ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇතත් QR කේතය හරහා ලියාපදිංචි වී ඇත්තේ ලක්ෂ 60ක පමණ ප්‍රමාණයක් බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව වසර 5කට වඩා අඛණ්ඩව ආදායම් බලපත්‍ර ලබා නොගෙන සිටින වාහන සොයා දිස්ත්‍රික් මෝටර් රථ පරීක්ෂකවරු හරහා එම වාහන තොරතුරු පද්ධතියෙන් ඉවත්කරන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ප්‍රදේශ කිහිපයක් සඳහා නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

ප්‍රදේශ කිහිපයක් සඳහා නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, ඇල්පිටිය, බද්දේගම සහ යක්කලමුල්ල යන ප්‍රදේශවලටත් බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රදේශටත් නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

එසේම කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, රඹුක්කන, දැරණියගල, මාවනැල්ල, කෑගල්ල සහ ගලිගමුව ප්‍රදේශවලට සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාවතගම, අලව්ව ප්‍රදේශවලටත් මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලෙපොල ප්‍රදේශයටත් මෙලෙස නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

එම ප්‍රදේශවල සිටින ජනතාව නාය යෑම් සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

සීනි සහ තිරිඟු පිටි මිල ඉහළට

සීනි සහ තිරිඟු පිටි මිල ගණන් ඉහළ දමා ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව සීනි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 25කින් ඉහළ දමා ඇති බවයි එහි සභාපති නිහාල් සෙනෙවිරත්න සඳහන් කළේ.

එසේම තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 10 කින් ඉහළ දමා ඇති බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

තිරිඟු පිටි සඳහා පනවා තිබූ රුපියල් 03 ක බදු සහනය ඉවත් කිරීම මෙලෙස තිරිඟු පිටි මිල ඉහළ දැමීමට හේතුවූ බවයි සඳහන් වන්නේ.

ජනපති යළි දිවයිනට පැමිණෙයි

එංගලන්තය බලා පිටත්ව ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (08) උදෑසන යළි දිවයිනට පැමිණ තිබෙනවා.

තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා පසුගිය මැයි 4 වනදා එංගලන්තය බලා පිටත්ව ගොස් තිබුණා.

විපක්ෂයේ දේශපාලන පක්ෂ අතර අද විශේෂ සාකච්ඡාවක්

විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් අතර විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී එම සාකච්ඡාව අද (08) පෙරවරුවේ පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙහිදි අවදානය යොමුකිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

අද කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10 ක ජල කප්පාදුවක්

අද (08) පෙ.ව.10.00 සිට රාත්‍රී 8.00 දක්වා පැය 10ක කාලයක් සඳහා ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ, කොළොන්නාව නගරසභා බලප්‍රදේශය, මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, අතුල්කෝට්ටේ, නාවල, කොස්වත්ත, රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාල දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධ සියලූම අතුරු මාර්ගවල බවයි සඳහන් වන්නේ.

ලංකා විදුලි පුද්ගලික සමාගම (LECO) විසින් සිදුකරනු ලබන නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළොන්නාව පොම්පාගාරය වෙත සැපයෙන විදුලි සැපයුම අත්හිටුවීමට සිදුවන බැවින් එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය වැඩිදුටත් සඳහන් කළා.

ඩෙංගු රෝගයෙන් ළමුන් ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක්

ඩෙංගු රෝගයෙන් ළමුන් ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙලට අදාළ චක්‍රලේඛය අද (08) විදුහල්පතිවරුන් වෙත නිකුත් කරන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් පවසනවා.

ඒ අනුව පාසල් පරිශ්‍ර පිරිසිඳුව තබා ගැනීම සඳහා දෙමව්පියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු නිලධාරීන් සම්බන්ධ කර ගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු සඳහන් කළේ.

බස්නාහිර පළාත තුළ ඩෙංගු ව්‍යාප්තියේ වර්ධනයක් සිදුව ඇති බැවින් පාසල් පරිශ්‍ර පිරිසිඳුව තබා ගැනීම සඳහා කටයුතු කරන ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාරයාද උපදෙස් ලබාදුන් බවයි බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් වැඩිදුරටත් සඳහන් කළේ.

QR ක්‍රමය හරහා බස් ටිකට් ලබාදීමේ ක්‍රමවේදයක් මාස දෙකක් තුළ සකස් කරනවා – බන්දුල

මාස දෙකක් තුළ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවල QR ක්‍රමය හරහා ටිකට්පත් ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කරන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ අනුව මේ තුළින් ලංකා ගමනාගමන මණ්ඩලයේ ආදායම දෙගුණයක් දක්වා වර්ධනය කළ හැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එසේම කිසිදු හේතුවක් මත ලංකා ගමනාගමන මණ්ඩලය පෞද්ගලීකරණය නොකරන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළා.

කීරි සම්බා උපරිම සිල්ලර මිල වෙනස් කර ඇති බවට පළ වන වාර්තා අසත්‍යයි – පාරිභෝගික අධිකාරිය

කීරි සම්බා උපරිම සිල්ලර මිල වෙනස් කර ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

ඒ අනුව අසත්‍ය‍ ප්‍රචාරණයන්ට නොරැවටෙන ලෙසත්, කීරි සම්බා රුපියල් 260.00 ක උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අලෙවි නොකළ යුතු බවයි එම අධිකාරිය සඳහන් කරන්නේ.

එසේම උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට සහල් අලෙවි කරනු ලබන වෙළඳුන් සොයා අඛණ්ඩව වැටලීම් සිදු කරන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10 ක ජල කප්පාදුවක්

හෙට (08) පෙ.ව.10.00 සිට රාත්‍රී 8.00 දක්වා පැය 10ක කාලයක් සඳහා ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.

ලංකා විදුලි පුද්ගලික සමාගම (LECO) විසින් සිදුකරනු ලබන නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළොන්නාව පොම්පාගාරය වෙත සැපයෙන විදුලි සැපයුම අත්හිටුවීමට සිදුවන බැවින් එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

ඒ අනුව මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ, කොළොන්නාව නගරසභා බලප්‍රදේශය, මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, අතුල්කෝට්ටේ, නාවල, කොස්වත්ත, රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාල දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධ සියලූම අතුරු මාර්ගවල බවයි ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.