බැසිල් රාජපක්ෂ දිවයිනෙන් පිටව යයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (07) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඔහු සමග මෙම සංචාරය සදහා ඔහුගේ බිරිඳ ද එක්ව ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ඔවුන් අද අලුයම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ජපානයේ සහාය යළි තහවුරු කරයි

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගය ලබාදෙන බව ජපානය පවසනවා.

ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩලයේ 56nවන වාර්ෂික රැස්වීම අමතමින් ජපාන මුදල් අමාත්‍ය සුසුකි මේ බව සඳහන් කර තිබෙනවා.

ද්වීපාර්ශ්වික ණය හිමියන් සම්බන්ධීකරණය කර ගනිමින් මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් අනාගත ණය අර්බුදය වළක්වා ගැනීම සඳහා ණය දත්ත විනිවිදභාවය සහ නිර්වද්‍යතාවය වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය බවයි ජපාන මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබෙනවා.

අද (07) පෙරවරු 9.00 සිට හෙට (08) පෙරවරු 9.00 දක්වා පැය 24 ක කාලයක් මෙම නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, ඇල්පිටිය, බද්දේගම සහ යක්කලමුල්ල යන ප්‍රදේශවලටත් බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රදේශටත් නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

එසේම කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, රඹුක්කන, දැරණියගල, මාවනැල්ල, කෑගල්ල සහ ගලිගමුව ප්‍රදේශයට සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාවතගම, අලව්ව ප්‍රදේශවලටත් මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලෙපොල ප්‍රදේශවලට මෙලෙස නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

වෙසක් සිරි නැරඹීමට ගිය ජීප් රථයක් පෙරළී සිදුවූ අනතුරකින් 10 කට තුවාල

වෙසක් තොරණ නැරඹීම සඳහා පැමිණි පිරිසක් යළි නිවෙස් වෙත යමින් සිටියදී අනතුරක් සිදුව තිබෙනවා.

පානදුර, වලාන මංසන්ධියේ අද (07) උදෑසන සිදුවූ මෙම රිය අනතුරෙන් පුද්ගලයින් 10 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අදාළ පිරිස රැගත් ජීප් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් අද උදෑසන 5.30 ට පමණ ජීප් රථ මාර්ගයේ පෙරළී ගොස් අනතුර සිදුව තිබෙනවා.

තුවාලකරුවන් අතර කුඩා ළමුන් තිදෙනෙකු ද සිටින අතර අනතුරට පත් පිරිස මතුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි සඳහන් වන්නේ.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක්

මෙරටට විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ සහ කාර්යක්ෂම කිරීමේ වැඩපිළිවෙළට අවශ්‍ය සහය ලබා දීමට පැමිණ සිටින ආසියානු සංවර්ධන බැංකුවේ උපදේශක සේවා අධ්‍යක්ෂවරයා ඇතුළු විශේෂ නියෝජිත කණ්ඩායම සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට අවශ්‍ය තාක්ෂණික සහය, විදුලිබල සමාගම් බවට පරිවර්තනයේදී රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපාර ක්‍රමවේද අනුගමනය සහ එයට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීම පිළිබඳව සාකච්ඡාවට ලක්වී තිබෙනවා.

එසේම, පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති වෙනුවෙන් අවශ්‍ය හිතකර පරිසරයක් නිර්මාණය කිරීම සහ පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගැනීම, එම ව්‍යාපෘති හඳුනාගැනීමට සහ ක්‍රියාත්මක කිරීමට විශේෂ ඒකකයක් අමාත්‍යංශය තුළ පිහිටුවා අවශ්‍ය තාක්ෂණික සහය ලබා දීම, එම ව්‍යපෘති සහ අනෙකුත් පුනර්ජනනීය ව්‍යපෘති වෙනුවෙන් අවශ්‍ය මුල්‍ය සහය ලබා දීම පිළිබඳවද මෙහිදී අවධානය යොමුව ඇති බවයි සඳහන් වන්නේ.

පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට ජනපති එක්වෙයි

පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල රාජ්‍ය නායක හමුවක් තෙවන චාල්ස් රජුගේ සහභාගීත්වයෙන් පැවති අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහද ඊට එක්වී තිබෙනවා.

එහිදී ජනාධිපතිවරයා තෙවන චාල්ස් රජු වෙත සුබපැතුම් එක් කරමින් සුහද කථා බහක නිරත වූ අතර එම අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහද එක්වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල නායකයන් හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ, තරුණ සහභාගිත්වය දිරිමත් කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා පොදුරාජ්‍ය මණ්ඩලය වඩා විශාල කාර්යභාරයක් ඉටු කළ යුතු බවයි.

එසේම ඩිජිටල්කරණය තුළින් සබඳතා ශක්තිමත් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ඉල්ලා සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

eed6ea8713d812a49bea2fe71984fe40

චාල්ස් කුමරුන්, තෙවන චාල්ස් රජු ලෙසින් රාජාභිෂේකය ලබයි

දෙවන එළිසබෙත් රැජිනගේ අභාවයෙන් පසුව මහ බ්‍රිතාන්‍යයේ රජු ලෙස පත් වූ චාල්ස් කුමරුන් අද (06) දිනයේ නිල වශයෙන් රාජාභිෂේකය ලබාගත්තා.

ඒ අනුව ලන්ඩන් හි වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානයේ දී 03 වන චාල්ස් රජු ලෙස චාල්ස් කුමරුන් ඔටුනු පැළඳුවා. චාල්ස් කුමරුන්ගේ බිසව වන කැමිලා ආර්යාව බ්‍රිතාන්‍යයේ රැජින ලෙසත් මෙහිදී කිරුළ පළඳිනු ලැබුවා.

එහි විශේෂ අවස්ථාවන් කිහිපයක් පහතින්,

525a8d80667a56870122868f398930e2 cf092bf9107cb128940973e002967416

කොවිඩ්-19 තවදුරටත් ලෝක සෞඛ්‍ය හදිසි තත්ත්වයක් නොවෙයි – WHO

‍ලෝකයටම බලපෑ කොවිඩ්-19 වසංගත තත්ත්වය තවදුරටත් ලෝක සෞඛ්‍ය හදිසි තත්ත්වයක් නොවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙද්‍රස් ඇඩ්හැනොම් ප්‍රකාශයට පත් කොට තිබෙනවා.

කෙසේ වෙතත් වෛරසය තවමත් ලෝකයෙන් තුරන් වී නොමැති බවත්, එය තවදුරටත් ලෝක සෞඛ්‍ය ක්ෂේත්‍රයට තර්ජනයක් විය හැකි බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පවසා ඇත්තේ.

95aa72878fbc118effd26bc6d44d1de8

මහා බ්‍රිතාන්‍යයේ 03 වන චාල්ස් රජුන්ගේ රාජාභිෂේකය අද

දෙවන එලිසබෙත් රැජිනගේ අභාවයෙන් පසුව මහා බ්‍රිතාන්‍යයේ රජු ලෙස තේරීපත් වූ චාල්ස් කුමරුන්ගේ රාජාභිෂේකය අද (06) දිනයට යෙදී තිබෙනවා.

ඒ අනුව ලන්ඩන් අගනුවර වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී චාල්ස් කුමරුන්, තුන්වන චාල්ස් රජුන් ලෙස රාජාභිෂේකය ලැබීමට නියමිතයි.

මේ සඳහා රාජ්‍ය නායකයින් 100 දෙනෙකු ඇතුළු ආරාධිතයින් 2000කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතව ඇති බවත් වාර්තා වනවා.

පාපැදිවලින් වෙසක් සිරි නරඹන්න යන අය ආරක්ෂාව ගැන සැලැකිලිමත් වෙන්න – පොලීසිය

වෙසක් සතිය නිමිත්තෙන් රටපුරා ක්‍රියාත්මක ආරක්ෂක වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා පොලීසිය පවසනවා.

මේ අතර පොලීසිය පවසා සිටියේ පාපැදි භාවිත කරමින් වෙසක් සිරි නැරඹීමට යන පිරිස් ආරක්ෂාව පිළිබඳව ඉතාමත් සැලැකිල්ලෙන් කටයුතු කළ යුතු බවයි.