දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය අවසන් වෙයි

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංකේත වැඩ වර්ජනය අවසන් කර ඇති බව එම සංගමය පවසනවා. ඒ අනුව අද (11) සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කරන්නේ. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන් වාර කිහිපයක් ඊයේ (10) දිනයේ අවලංගු වී තිබුණා.

ධීවර ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී අද උදේ 08.30 වන විට 8.80N – 88.90E ආසන්නයේ කේන්ද්‍රගතවී පැවතුන බවයි සඳහන් වන්නේ.

එය අද සවස් කාලයේදී සුළි කුණාටුවක් දක්වාත්, ඉන්පසු හෙට මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී චණ්ඩ සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බවත්, එම පද්ධතිය උතුරට බරව ඊසාන දෙසට ගමන් කරමින් බංග්ලාදේශ සහ මියන්මාර වෙරළ තීරය වෙත ළඟාවෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද සඳහන්.

ඒ අනුව දැනට ඉහත සඳහන් මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස් වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

aefe8bbbd3f6d8e62ff20b0e803bcab2

3ac9976d36282067838d969e56622bc8

වර්ජනය හේතුවෙන් අද සව​ස කාර්යාල දුම්රිය කිහිපයක් අවලංගු වෙයි

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංකේත වැඩවර්ජනය හේතුවෙන් අද (10) සවස ධාවනයට නියමිතව තිබූ දුම්රිය කිහිපයක් අවලංගු වන බව එම සංගමය පවසනවා.

ඒ අනුව කාර්යාල දුම්රිය 5 ක් සහ සියළුම රාත්‍රී තැපැල් දුම්රියන් අද දින ධාවනය නොවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම එම දුම්රියවලට අමතරව තවත් දුම්රිය අවලංගු විය හැකි බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

හිටපු නීතිපතිගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය දීර්ඝ කෙරේ

හිටපු නීතිපති දප්පුල ද ලිවේරාව අත්අඩංගුවට ගැනීම සහ ප්‍රකාශ සටහන් කර ගැනීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය ජූනි මස 22 වනදා දක්වා දීර්ඝ කිරීමට නියෝග කර තිබෙනවා.

හිටපු නීතිපතිවරයා විසින් ගොනුකළ රිට් පෙත්සම අද (05) අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

පෙත්සම්කාර හිටපු නීතිපතිවරයා සිය පෙත්සම මඟින් පෙන්වා දෙන්නේ, තමා නීතිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී කරන ලද ක්‍රියාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පොලීසියට හැකියාව නොමැති බවත් ඒ තුළින් නීතිපතිවරයා සතු වරප්‍රසාද උල්ලංඝනය වීමක් සිදුවන බවයි.

මේ හේතුවෙන් තමන්ගෙන් ප්‍රශ්න කිරීම් සහ අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ඔහු මෙම පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

IMF නියෝජිත කණ්ඩායමක් හෙට ශ්‍රී ලංකාවේ සංචාරයක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩල නියෝජිත කණ්ඩායමක් හෙට (11) සිට මැයි මස 23 වනදා දක්වා ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ පළමු ඇගයීමට පෙර නිත්‍ය උපදේශන ක්‍රියාවලියේ පියවරක් ලෙස ඔවුන් ලංකාවට පැමිණීමට නියමිත බවයි එම අරමුදල සඳහන් කරන්නේ.

මෙම සංචාරය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා – පැසිෆික් කලාප අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා සිරිනිවාසන්ද එක්විමට නියමිත බවයි සඳහන් වන්නේ.

පොලිස් නිලධාරීන් දෙදෙනෙකු​ට පහරදුන් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පහරදී රාජකාරියට බාධා කළ සැකකරුවන් තිදෙනෙකු කපුගොල්ලෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පැමිණිල්ලක් විභාග කිරීම සඳහා ගිය කපුගොල්ලෑව පොලිස් ස්ථානයේ නිලධාරින් දෙදෙනෙකුට ඊයේ (09) දිනයේ මෙම පහරදීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 21, 23 සහ 24 වයස්වල පසුවන අලියාකඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙක් බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරුවන් අද (10) කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙර​ට ණය ප්‍රතිව්‍යුහගතකරණයට නිල ණයහිමි කමිටුවක් පත් කෙරේ

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ නිල ණයහිමි කමිටුවක් පිහිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මාර්ගත ක්‍රමය ඔස්සේ පැවති ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ පළමු රැස්වීමේදී එම තීරණය ගත් බවයි සඳහන් වන්නේ.

ණයහිමි රටවල් 17ක සහභාගීත්වයෙන් අදාළ කමිටුව පිහිටුවා ඇති අතර ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය එම කමිටුවේ සම ප්‍රධානත්වය දරණ බවයි පැරිස් සමාජය සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පැවති ප්‍රථම සාකච්ඡාව සඳහා චීනය ද සහභාගි වී ඇති බවයි සඳහන් වන්නේ.

පරිගණක පද්ධතියේ දෝෂයක් හේතුවෙන් කොන්සියුලර් අංශයේ කටයුතුවලට බාධා

පරිගණක පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ කටයුතුවලට බාධා පැමිණ ඇති බව එම අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව කොන්සියුලර් අංශයේ ලේඛන සත්‍යාපන කටයුතුවලට මෙලෙස බාධා පැමිණ ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත්කරන තෙක් හදිසි ලේඛන පමණක් ක්‍රියාවලියට යටත් කරන බවත්, සත්‍යාපන කටයුතු හැර කොන්සියුලර් කාර්යාලයේ සෙසු කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බවත් එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

උදෑසන කාර්යාල දුම්රිය 5 ක් අවලංගු වෙයි

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංකේත වැඩවර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය 5 ක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් තීරණය කර තිබුණා.

දූෂිත චෝදනා ලබා සිටින චන්ද්‍රසේන බණ්ඩාර වෙත වාණිජ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) තනතුර පිරිනැමීමට විරෝධය පළ කරමින් මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කර තිබුණා.

මෙවර රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලයේදී

මෙවර රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙවර පොසොන් උත්සවයේ තේමාව වන්නේ “නැගෙමු , පිබිදෙමු, යෙදෙමු , සුරකිමු, මිහිදු මා හිමි දෙසු දහම්” යන්න බවයි සඳහන් වන්නේ.

2019 න් පසුව උත්සවශ්‍රීයෙන් සමරන්නට සැරසෙන පොසොන් රාජ්‍ය පිංකම සඳහා සියලු ආයතනවල සහය නොමදවම ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමිපාණන් සඳහන් කළේ.

ජුනි මස 02 වනදා සිට 04 වනදා දක්වා සුවිශේෂි පිංකම් රැසක් මිහින්තලාව කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.