පාඨලීට විදෙස් ගතවීමට අධිකරණයෙන් අවසර

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

2016 වසරේ පෙබරවාරි 28 වනදා රාජගිරිය ප්‍රදේශයේ ඇතිවූ රිය අනතුර සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ගොණුකළ නඩුවකට ඇප නියම කළ අවස්ථාවේදී ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමට මහාධිකරණය නියම කර තිබුණා.

අද (12) පාඨලී චම්පික රණවක වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් තම සේවාදායකයාට සිය දියණිය දැක බලාගැනීම සඳහා කැනඩාවට යාමට අවශ්‍ය වී තිබෙන බව සඳහන් කර තිබෙනවා.

ඒ අනුව දැනට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමේ නියෝගයක් ආගමන හා විගමන පාලකවරයා වෙත නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

එක්ස්ප්‍රස් පර්ල් වන්දි වාර්තා ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මෝසම සලකා බැලීමට දින නියම වෙයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ වන්දි වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කෙරුණු මෝසමක් සලකා බැලීම සඳහා ලබන 24 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

පරිසර යුක්ති කේන්ද්‍රය ඉදිරිපත් කර තිබූ එම මෝසම අද (12) ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

නෞකාව ගිනිගැනීම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කර වන්දි පිළිබඳව නිගමනය කිරීම සඳහා සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය විසින් විද්වත් කමිටුවක් පත් කළ බවත්, අදාළ නෞකා අනතුර නිසා මෙරට පරිසරයට අමෙරිකානු ඩොලර් බිලියන හයක පමණ පාඩුවක් සිදුවී ඇති බව එම කමිටුව විසින් නිර්දේශ කර තිබෙන බවයි එහිදී පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ.

එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස එම මෝසම මඟින් ඉල්ලා තිබෙනවා.

ගංගා කිහිපයක ජල මට්ටම ඉහළට

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ කැළණි, කළු, ගිං සහ නිල්වලා යන ගංගාවල ජල මට්ටම සැළකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

මේ වන තෙක් ගංවතුර අවදානමක් නොමැති වූවද පවතින වැසි තත්ත්වය හමුවේ අවධානයෙන් පසුවීම වැදගත් බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින මෝඛා චණ්ඩ සුළි කුණාටුවේ බලපෑමෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි අපේක්ෂා කරන බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

භාණ්ඩාගාර බැඳුම්කර මගින් ණය ප්‍රමාණය වැඩි කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට

භාණ්ඩාගාර බැඳුම්කර මගින් දේශීය වශයෙන් ලබාගන්නා ණය ප්‍රමාණය වැඩි කිරීමට අදාළ යෝජනාව අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඒ අනුව රාජ්‍ය මුදල් කාරක සභාවේ වැඩ බලන සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ඊට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් විපක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ලවී තිබෙනවා.

කෙසේ නමුත් ආණ්ඩු පක්ෂය සඳහන් කරන්නේ මේ සඳහා අනුමැතිය ලබාදීම නීත්‍යානුකූලව සිදුව ඇති බවයි.

ඩොලරයේ විකුණුම් මිල රු.320 දක්වා පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (12) පහත වැටීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.306.38 ක් ලෙස හා විකුණුම් මිල රු.320.03 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුවවේ නිල වෙබ් අඩවිය නිවේදනය කර ඇත්තේ.

කළුතර දැරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු රිමාන්ඩ් කිරීමට නියෝග

කළුතරදී 16 හැවිරිදි දැරියක් අභිරහස් ලෙස මියයාමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු එළඹෙන 26 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඔහු අද (12) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

පසුගියදා අත්අඩංගුවට ගත් ඔහු දින දෙකක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබුණා.

බදු පදනම පුළුල් කිරීමේ වැඩපිළිවෙලක් කෙරෙහි රජයේ අවධානය

බදු අයකිරීම නැවත නැවත ඉහළ දැමීම වෙනුවට බදු පදනම පුළුල් කිරීමේ වැඩපිළිවෙලක් කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව ඉදිරියේදී ක්‍රමානුකූලව බදු අයකිරීමේ ප්‍රතිශතයන් අඩු කිරීමට පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඔරුගොඩවත්ත රේගු පර්යන්තය වෙත පැමිණි අවස්ථාවකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මේ බව සඳහන් කළා.

අද සිට කොළඹ ඩෙංගු මර්දනයට විශේෂ වැඩසටහනක්

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද (12) සිට සති දෙකක කාලයක් පුරා කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ක්‍රියාවට නැංවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම වැඩසටහන මගින් මදුරුවන් බෝ වන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි සඳහන් වන්නේ.

මැයි මස 26 වනදා දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක බවයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි සඳහන් කළේ.

ලොව පළමු ජාත්‍යන්තර පරිසර විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාවේ ඇති කරනවා – ජනපති

ලොව පළමු ජාත්‍යන්තර පරිසර විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාවේ ඇති කරමින් දේශගුණ විපර්යාසවලට මුහුණදීම සඳහා ලෝකයට සහාය ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

දේශගුණික විපර්යාස අද ලෝකයටම අභියෝගයක් වුවද ඒ පිළිබඳ පර්යේෂණ සිදු කිරීමට මධ්‍යස්ථානයක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටවල් රැසක් සහභාගී කරවා ගනිමින් එම කටයුත්ත සිදු කිරීමට ශ්‍රී ලංකාව මුල පුරා ඇති බවද සඳහන් කළා.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති 10 වන පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

IMF හා ශ්‍රී ලංකා බලධාරීන් අතර සාකච්ඡා අද ආරම්භ වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම හා මෙරට බලධාරීන් අතර නිල සාකච්ඡා අද (12) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මුදල් අමාත්‍යංශ නිලධාරීන් හා මහ බැංකු නිලධාරීන් ඊට සම්බන්ධ වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

මේ වසර අවසානයේ සිදුකිරීමට නියමිත මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනයට සමගාමීව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම දිවයිනට පැමිණ සිටින බව සඳහන්.