දුර ගමන් බස් රථ සඳහා GPS උපකරණ සවි කිරීමට පියවර

සියලු අන්තර් පළාත් බස් රථ සේවා සඳහා GPS උපකරණ සවි කිරීමට පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිසම පවසනවා.

දැනටමත් ලියාපදිංචිව ඇති බස් රථවලින් 1/3කට අදාළ උපකරණ සවි කර ඇති බවයි කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා සඳහන් කර සිටියේ.

මෙමඟින් බස් රථ කොපමණ වේලාවක් බස් නැවතුම්පොළවල නවත්වාගෙන සිටිනවාද යන්න පිළිබඳවත් නිරික්ෂණය කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබුණා.

ස්විස්ලන්තයේ නාය යෑමේ අවදානමක් නිසා 100 දෙනෙකුට අධික පිරිසක් ඉවත් කෙරේ

ස්විස්ලන්තයේ Brienz නගරයේ පුද්ගලයින් 100 දෙනෙකුට අධික පිරිසක් පසුගිය පැය 48ක කාලය තුළ එම නගරයෙන් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබුණා.

නගරය ආසන්නයේ ඇති පර්වතයක් නාය යෑමේ අවදානමක පවතින බවට භූ විද්‍යාඥයින් කළ අනතුරු ඇඟවීමක් හේතුවෙන් අදාළ පිරිස නගරයෙන් ඉවත් කිරීමට ස්විස් බලධාරීන් කටයුතු කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

අදාළ නාය යෑමේ ඡායාරූප කිහිපයක් පහතින්,

f5e8cbd2e82ccae9e2d8bf3913dd4adf 01c5a78befe4a0f3e24d66f4b51c4272 657944e47f1251c72a31cd1fc705e1e2 827ac34f76d52b99d507a16b8c1d24ab

නව විදුලිබල පනතේ කටයුතු දැන් අවසන් අදියරේ – කංචන විජේසේකර

නව විදුලිබල පනතේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් සටහනක් තබමින් පවසා සිටිනවා.

එහි පිටපත් පාර්ශ්වකරුවන්, සංවර්ධන නියෝජිතයින් සහ ප්‍රතිව්‍යුහගතකරණ විශේෂඥයින් වෙත ලබාදී ඔවුන්ගේ නීරීක්ෂණ හා නිර්දේශ ලබාගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඉන් අනතුරුව අවසන් කෙටුම්පත මෙම මාසයේ අවසානය වන විට නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමෙන් පසු කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තු අනුමැතිය සඳහා යොමු කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

6eeeeb80c0baf6edbe542552ef9d86e4

අප්‍රේල් මාසයේ දී විදේශ ශ්‍රමිකයන්ගෙන් ප්‍රේෂණ ඩොලර් මිලියන 454 ක් – මනූෂ නානායක්කාර

විදේශ ශ්‍රමිකයන්ගෙන් 2022 වසරේ අප්‍රේල් මාසයේ දී ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය වූ අමෙරිකානු ඩොලර් මිලියන 248.9 ට සාපේක්ෂව 2023 වසරේ අප්‍රේල් මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 454 ක විදේශ ප්‍ර‍ේෂණ ප්‍රමාණයක් ලැබී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.

සිය ට්විටර් ගිනුමේ පණිවිඩයක් තබමින් අමාත්‍යවරයා පවසා සිටියේ එය 82.4% ක (අ.ඩො. මිලියන 205.1) වර්ධනයක් බවයි.

2023 වසරේ මේ දක්වා ලැබූ සම්පුර්ණ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 1867.2 ක් වන බවද අමාත්‍යවරයා පවසා සිටියා.

8b42d0125f0ee24a1a52909f60538dee

විදේශ විනිමය ගෙන දෙන ක්ෂේත්‍රයක් ලෙස හෙද සේවය දියුණු කළ යුතුයි – සාගල රත්නායක

ජනතා සෞඛ්‍ය රැක දෙන ක්ෂේත්‍රයක් මෙන්ම රටට විදේශ විනිමය ගෙන දෙන ක්ෂේත්‍රයක් ලෙස හෙද සේවය දියුණු කළ යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පවසනවා.

ඔහු පවසා සිටියේ ‘හෙල්ත් ටුවරිසම්’ (Health Tourism ) මගින් රටට ආදායම් උත්පාදනයට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරීමට අපේක්ෂා කරන බවයි.

ශ්‍රී ලංකාව වැනි සුන්දර පරිසරයක් තිබෙන රටක ‘හෙල්ත් ටුවරිසම්’ වැඩපිළිවෙළ හිතකර බවත්, හෙද ක්ෂේත්‍රය තුළින් ද නව වැඩසටහන් ඇති කරමින් රටට ආදායම් ගෙන එන ව්‍යාපාර ඇති කළ යුතුව ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

කොස්ලන්දේ වන අලි ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

කොස්ලන්ද උඩදියලුම ප්‍රදේශයේ පසුගිය 11 වනදා කඳවුරු බැඳගෙන සිටි යුවලකට වන අලි ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (12) දිනයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ යුවලට අනාරක්ෂිත ස්ථානයක කුඩාරම සැකසීමට සහාය පළ කළ බවට සඳහන් වයස අවුරුදු 24 සහ 32 වියේ පසුවන තරුණයින් දෙදෙනෙකුයි.

අදාළ ප්‍රහාරයෙන් තරුණිය ජීවිතක්ෂයට පත්වූ අතර තරුණයා තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

ශ්‍රී ලංකාවේ හෙදියන්ට සිංගප්පුරුවේ රැකියා අවස්ථා

ඉහල ආදායම් ලබාගත හැකි සිංගප්පූරුවේ හෙද ක්ෂේත්‍රයේ රැකියා ශ්‍රි ලාංකිකයින්ට විවෘත කර ගැනීමට හැකියාව ලැබී ඇති බවත්, කණ්ඩායම් වශයෙන් සිංගප්පූරුවේ රැකියා සඳහා යොමු කිරිම මේ වන විටත් ආරම්භ කර ඇති බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

ඒ අනුව සිංගප්පූරුවේ රැකියා සඳහා යන පළමු හෙද කණ්ඩායම වශයෙන් හෙද හෙදියන් 36 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් ලබාදීම ඊයේ (12) දිනයේ දී සිදුකර තිබුණා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තරගාවලි ජයක්

සංචාරක බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද(12) සමත් වුණා.

ඒ දෙරට අතර පැවැති අවසන් විස්සයි විස්ස තරගයෙන් ලකුණු 44 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වීමත් සමගයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 158 ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චමරි අතපත්තු ලකුණු 32 යි, හර්ෂිතා නොදැවී ලකුණු 51 ක්, නිලක්ෂි නොදැවී ලකුණු 63 ක් ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 114 ක් පමණයි.

සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් පාසල් නිවාඩුව නිවේදනය කෙරේ

ලබන මැයි මස 27 වනදා සිට ජුනි 11 දක්වා පාසල් නිවාඩුව ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව මැයි 29 වනදා සාමාන්‍ය පෙළ විභාගය ආරම්භවීම හේතුවෙන් මෙලෙස නිවාඩු ලබාදෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මැයි 15 සිට කිරිපිටි මිළ පහළට

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 200 කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් එකඟතාවය පළකළ බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

මෙය මැයි 15 සිට ක්‍රියාත්මක වන අතර එදින සිට මෙම සහනය පාරිභෝගිකයාට ලබා ගත හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.