RMV සියලු සේවාවන් සඳහා අප්‍රේල් 15 සිට TIN අංකය අනිවාර්ය කෙරේ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සියලු සේවාවන් සඳහා TIN අංකය අනිවාර්ය කර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව 2025 අප්‍රේල් මස 15 වන දින සිට බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය අනිවාර්ය කර ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images

වන අලි ගම් වැදීම හේතුවෙන් පීඩාවට පත් පවුල්වල දරුවන්ට ජනාධිපති අරමුදලෙන් මුල්‍යාධාරයක් ලබාදීමට පියවර

වන අලි ගම් වැදීම හේතුවෙන් දෛනිකව පීඩාවට පත් වන පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දිරි ගැන්වීමක් ලෙස මූල්‍යාධාරයක් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

වන අලි ගම් වැදීම හේතුවෙන් ජීවිත හානි වූ හෝ තුවාල ලැබූ පුද්ගලයන් අයත් වන පවුල් සඳහා මෙහිදී ප්‍රමුඛතාව හිමි වන අතර, වන අලි ගම් වැදීම හේතුවෙන් දේපළ සහ වගා හානි වූ පවුලක දරුවන් හට ද මීට අයදුම් කළ හැකි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙම වැඩසටහන මගින් 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන දරුවෙකු සඳහා මාසිකව රුපියල් 3,000ක් බැගින් උපරිම මාස 12ක කාල සීමාවක් සඳහාද, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන තෝරා ගත් දරුවෙකු සඳහා රුපියල් 5,000ක් බැගින් උපරිම මාස 12ක කාල සීමාවක් සඳහා ද ආදී වශයෙන් අද (01) සිට මෙම මූල්‍යාධාරය ලබා දීමට අපේක්ෂා කෙරෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

IndiGo ගුවන් සේවය තිරුචිරප්පල්ලි සහ යාපනය අතර දෛනික සෘජු ගුවන් ගමන් හඳුන්වා දෙයි

IndiGo ගුවන් සේවය තිරුචිරප්පල්ලි සහ යාපනය අතර දෛනික සෘජු ගුවන් ගමන් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව වසර 47 කට පසුව යාපනය හා ට්‍රිචී ගුවන් තොටුපල අතර මුල්ම මගී ගුවන් යානය ඊයේ (30) දා යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ළගාවී ඇති බවයි සඳහන් වන්නේ.

මෙම ගුවන් යානයෙන් මගීන් 27 ක් ට්‍රිචී සිට පැමිණි අතර, ආපසු එම ගුවන් යානය පිටව යද්දී යාපනයෙන් මගීන් 36 ක් ට්‍රිචී ගුවන් තොටුපල වෙත රැගෙන‍ ගොස් තිබෙනවා.

මෙම ගුවන් සේවාව හරහා පස්වරු 1:25 ට තිරුචිරප්පල්ලි සිට පිටත්වන ගුවන් ගමන පස්වරු 2:25 ට යාපනයට පැමිණෙන බවත්, යාපනයේ සිට පස්වරු 3:05 ට පිටත්වන ගුවන් ගමන   පස්වරු 4:05 ට තිරුචිරප්පල්ලි වෙත පැමිණෙන බවයි සඳහන් වෙන්නේ.

‍මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

උප දුම්රිය ස්ථානවල සහන සේවා කටයුතුවලින් දුම්රිය ස්ථානාධිපතිවරු ඉවත්වීමට තීරණය කරයි

කොළඹ කොට්ඨාසයේ උප දුම්රිය ස්ථානවල සහන සේවයේ නිරත වී සිටින සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි උප දුම්රිය ස්ථානවල රාජකාරිවලින් ඉවත් කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ට සෘජු වශයෙන් බලපා ඇති ගැටළු කඩිනමින් විසඳීමට පියවර නොගැනීම සහ දුම්රිය ස්ථානාධිපති සේවයේ දැනට පවතින අධික පුරප්පාඩු පිරවීමට නවක බඳවා ගැනීම් කඩිනම් නොකිරීමට විරෝධය පළ කරමින් මෙම ක්‍රියා මාර්ගය ගන්නා බවයි එම සංගමය සඳහන් කළේ.

ඒ සඳහා ගන්නා ලබන වෘත්තිය ක්‍රියාමාර්ගයන්වල පළමු පියවර ලෙස මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images

ටිරාන් අලස් CIDයෙන් පිටව යයි

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ‍තිබෙනවා.

ඒ අනුව අද (31) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ඔහු පැය පහකට වැඩි කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මෙලෙස පිටව ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

2023 වසරේ මාතර, වැලිගම හෝටලයක් අසල දී සිදුවූ වෙඩි තැබීමක් අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු මෙලෙස අද කැඳවා තිබුණා.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව පසුගිය පැය 24 තුළ පැමිණිලි 68 ක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඊයේ (30) දිනයේ පමණක් පැමිණිලි 68 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව මේ දක්වා ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 302 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම කොමිසම සඳහන් කළේ.

ඉන් පැමිණිලි 274 ක් ලැබී ඇත්තේ නීති උල්ලංඝණය කිරීම්වලට අදාළව වන අතර, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි දෙකක් ලැබී ඇති බව සඳහන්.

ලැබී ඇති පැමිණිලි 302 න් 220 ක් මේ වන විට විසඳා ඇති බවත්, සෙසු පැමිණිලි 82 සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

‍අදාළ නිවේදනය පහතින්.

news images

ශ්‍රී ලංකා ක්‍රිකට් නව නිලධාරී මණ්ඩලය ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 64 වැනි වාර්ෂික මහා සභා රැස්වීමට සමගාමීව පැවති නිලවරණයේදී 2025 – 2027 කාලසීමාව සඳහා අදාළ නව නිලධාරී මණ්ඩලය අද (31) තෝරා පත්කරගෙන තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස හිටපු සභාපති ශම්මි සිල්වා යළිත් තේරී පත්ව තිබෙනවා.

අදාළ සම්පූර්ණ නිලධාරී මණ්ඩලය පහතින්.

* සභාපති: ෂම්මි සිල්වා

* උප සභාපති: ආචාර්ය ජයන්ත ධර්මදාස

* උප සභාපති: රවීන් වික්‍රමරත්න

* ලේකම්: බන්දුල දිසානායක

* භාණ්ඩාගාරික: සුජීව ගොඩලියද්ද

* සහකාර ලේකම්: ක්‍රිෂාන්ත කපුවත්ත

* සහකාර භාණ්ඩාගාරික: ලසන්ත වික්‍රමසිංහ

රොටුඹ අමිල රුසියාවේදී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අමිල සම්පත් නොහොත් ‘රොටුඹ අමිල’ රුසියාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එරට ආරක්ෂක බලධාරින් විසින් මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කළ නීතීඥවරියට ඇප ලබාදීමට අභියාචනාධිකරණය නියෝග කරයි

උසාවියට අපහාස කළේ යැයි පුත්තලම මහාධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද නීතීඥවරියව වහා නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ රජීව අමරසූරිය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

නීතිඥවරියට අප්‍රේල් මස 28 වනදා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට ද අභියාචනාධිකරණය නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අධිකරණ ශාලාවට ඇතුළු වීමේදී අධිකරණයට හිස නමා ආචාර නොකිරීම මඟින් අධිකරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා දෙකක් හේතුවෙන් එම නීතීඥවරිය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පුත්තලම මහාධිකරණ විනිසුරුවරිය පසුගියදා නියෝග කර තිබුණා.

පුංචි ඡන්දයේ බලයත් ජාතික ජන බලවේගයට දෙන්න ඔනේ ඇයි ? හේතුව ගැන ජනපති බෙලිඅත්තේදී කියයි….

https://www.youtube.com/embed/9gvuDdxifNM?si=l3PfS-mQTuToQu4F” title=