ප්‍රවීණ ගායන ශිල්පී ටෝනි හසන් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී ටෝනි හසන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 73 වන වියේ පසු වුනා.

දේහය පිළිබඳ අවසන් කටයුතු අද (17) සවස මාලිගාවත්ත මුස්ලිම් සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

වසර දෙකකට වඩා භාවිතා නොකරන ලද Google ගිණුම් ඉවත් කිරීමේ තීරණයක්

වසර දෙකකට වඩා වැඩි කාලයක් අක්‍රීය තත්ත්වයේ පවතින ගිණුම් ඉවත් කිරීමට කටයුතු කරන බව Google සමාගම පවසනවා.

2023 වසරේ අවසාන වන විට අවම වශයෙන් වසර දෙකකට වැඩි කාලයක් අක්‍රීයව පවතින ගිණුම් මෙලෙස මකා දැමීමට Google සමාගම තීරණය කර ඇති බවයි ඔවුන් පවසන්නේ.

ගිණුම් වෙත අනවසර ප්‍රවේශය වැළැක්වීම ඇතුළු සයිබර් ආරක්ෂක තර්ජන වැළැක්වීමේ පියවරක් ලෙස මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ගිණුම් ඉවත් කිරීමත් සමඟ එයට සම්බන්ධ Gmail, Docs, Drive, Meet සහ Calendar මෙන්ම YouTube ඇතුළු Google Workspace අන්තර්ගතයන් සියල්ලද ඉවත් වන බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කරනවා.

නව ආණ්ඩුකාරවරුන් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඒ අනුව උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පී.එස්.එම්. චාල්ස් දිවුරුම් දී ඇති අතර නැගෙනහිර පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස සෙන්දිල් තොණ්ඩමාන් දිවුරුම්දී ඇති බවයි සඳහන් වන්නේ.

එසේම වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

චීන ධීවර යාත්‍රාවක් ඉන්දියන් සාගරයේදී පෙරළී 39 ක් අතුරුදන් වෙයි

චීන ධීවර යාත්‍රාවක් මධ්‍යම ඉන්දියන් සාගරයේදී පෙරළී ගොස් තිබෙනවා.

ඒ අනුව අදාළ අනතුරෙන් චීන ජාතිකයින් 17 දෙනෙකු, ඉන්දුනීසියානුවන් 17 දෙනෙකු සහ පිලිපීන නාවිකයින් පස් දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි සඳහන් වන්නේ.

කලාපය පුරා සිටින සෝදිසි සහ ගලවා ගැනීමේ කණ්ඩායම් එම ස්ථානයට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරගන්න, මුඛ ආවරණ පළඳින්න – උපුල් රෝහණ

බිම් මට්ටමේ යම් වෛරස රෝගී තත්ත්වයන් මෙන්ම කොවිඩ් -19 යැයි සැක සිතිය හැකි රෝග තත්ත්වයක් විශාල වශයෙන් පැතිරෙමින් තිබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

පාසල් තුළ හා ආයතන තුළ වෛරස් වසංගත තත්ත්වයෙන් පැතිර යමින් තිබෙන බවයි අද (17) මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති, උපුල් රෝහණ සඳහන් කළේ.

මහජනතාව මේ අවස්ථාවේදී වගකීමෙන් කටයුතු කළ බවත්, තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා මුඛ ආවරණ පැලඳීම ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසත් ඉල්ලා සිටින බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරන්නේ.

මේ වන විට කොවිඩ් ආසාදිත බවට තහවුරු කරන්නේ රෝහල් ගතවන රෝගීන් සහ මියයන රෝගීන්ගේ සංඛ්‍යා දත්ත මත පමණක් බවත්, බිම් මට්ටමේ කොවිඩ් -19 රෝගය යම් මට්ටමකට පැතිර යමින් ඇති බවට සැක සිතන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ වැඩිදුරටත් සඳහන් කළේ.

ණය ප්‍රතිව්‍යුහගතකරණය අස්සේ දේශපාලඥයින්ගේ ණය කපා හරින්න සමහරු උත්සාහ කරනවා – චරිත හේරත්

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන හරහා රාජ්‍ය බැංකුවලින් ණය ලබාගත් දේශපාලකයින්ගේ ණය කප්පාදු කිරීමට ඇතැමුන් උත්සාහ කරන බව චරිත හේරත් මන්ත්‍රීවරයා පවසනවා.

මෙරට ප්‍රධාන රජයේ බැංකුවල බොල් ණය බවට පත්ව ඇති ඇතැම් ණය ලබාගත් පිරිස් තවමත් තම ව්‍යාපාර කටයුතු සිදුකරමින් ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මාතලේ ප්‍රදේශයේ දේශපාලඥයෙක් හෝටලයක් සඳහා ලබාගත් ණය නොගෙවා සිටියද හෝටලය තවමත් පවත්වාගෙන යන බවද, නැගෙනහිර පළාතේ දේශපාලඥයෙක් තම ව්‍යාපාරවලට විශාල ණයක් ලබාගත්තද, ඔහු එම ණය නොගෙවා එම ව්‍යාපාරයෙන් ඉවත්ව වෙනත් ව්‍යාපාරයක් සිදුකරන බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

එබැවින් ප්‍රධාන බැංකුවල මෙවැනි නොගෙවූ ණය තිබෙන බල සම්පන්න පුද්ගලයින්ගේ ණය වහාම අයකර ගැනීම සඳහා වැඩපිළිවෙළක් යෙදිය යුතු බව ආණ්ඩුවට අවධාරණය කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක්

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් ලෝක බැංකු නියෝජිතයින් සහ අමාත්‍ය කංචන විජේසේකර අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත වැඩපිළිවල සහ ක්ෂේත්‍රයේ ඉදිරි කටයුතු පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

මෙම සාකච්ඡාව සඳහා ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, භූතානය සහ බංගලාදේශය වෙනුවෙන් කටයුතු කරන විධායක අධ්‍යක්ෂවරයා සහභාගී වී ඇති බවයි සඳහන් වන්නේ.

ඉදිරි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් සහ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මූල්‍ය සහය පිළිබඳවද සාකච්ඡා කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා.

ප්‍රදේශ කිහිපයකට උණුසුම් කාලගුණ තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව පලාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා අද (17) උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම ප්‍රදේශවල ඇතැම් ස්ථානයන්හි උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බවට අපේක්ෂා කෙරෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඒ අනුව ඊට වැඩි වේලාවක් නිරාවරණය වීම සහ ක්‍රියාකාරකම්වල නියුතුවීම තුළින් තෙහෙට්ටු තත්ත්වයක් ඇති විය හැකි බවත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

උතුරු, නැගෙනහිර සහ වයඹ පළාත්වල නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම අද

උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් අද (17) පත් කිරීමට නියමිතව තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් උතුරු, නැගෙනහිර සහ වයඹ පළාත්වල ආණ්ඩුකාරවරුන් එම ධූරවලින් ඉවත් කිරීමට පසුගියදා කටයුතු කර තිබුණා.

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන්ට විභාග ප්‍රවේශපත්‍ර ගැන දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2022(2023) විභාගය මැයි 29 වන දින සිට ජුනි මස 08 වනදා දක්වා විභාග මධ්‍යස්ථාන 3,568කදී පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව විභාග ප්‍රවේශපත්‍ර නොලද පාසල් විභාග අපේක්ෂකයින්ගේ ප්‍රවේශපත්‍ර පාසල් ප්‍රධානීන් වෙත ද පෞද්ගලික විභාග අපේක්ෂකයින්ගේ ප්‍රවේශපත්‍ර අදාළ අයදුම්කරුවන් වෙත ද බාගත කිරීමේ අවස්ථාවද මෙම මස 18 වනදා සිට ලබාදෙන බවයි සඳහන් වන්නේ.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන https://www.doenets.lk වෙත පිවිසීමෙන් ඒ සඳහා අවස්ථාව පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.