විදුලි බිල 3% කින් නෙවෙයි 27% කින් අඩු කළ හැකියි – ජනක රත්නායක

ජුලි මස පළමු වනදා සිට විදුලි ගාස්තු 3% කින් පහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

කෙසේ නමුත් පවතින තත්ත්වය මත සැබෑ ලෙස විදුලි ගාස්තු 27% කින් අඩු කිරීමේ හැකියාවක් ඇති බවයි අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

බලධාරීන් වැරදි දත්ත මත පිහිටා ජනතාව මුලාකරමින් සිටින බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක වැඩිදුරටත් සඳහන් කළා.

කම්කරු අයිතිවාසිකම් ගැන වෘත්තීය සංගම් නියෝජිතයින් හා විපක්ෂ නායක සමඟ සාකච්ඡාවක්

ප්‍රධාන වෘත්තිය සමිති සංගම් නියෝජනය කරමින් එහි නායකයින් සහ නියෝජිත පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ අනුව කම්කරු අයිතිවාසිකම් සහ අණ පනත් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවයි සඳහන් වන්නේ.

තවදුරටත් කම්කරු අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ බල ගැන්වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු බවත් මේ වැඩපිළිවෙළ පිළිබඳව සමාජ කතිකාවතක් නිර්මාණය කළ යුතු යැයි වෘත්තිය සමිති නායකයින් එහිදී පැවසූ බවද සඳහන්.

සමාජ කතිකාවකින් ඔබ්බට සමාජ සම්මුතියක් දක්වා එය රැගෙන යා යුතු බවයි මෙහිදී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඩොලරයේ විකුණුම් මිල අද රු.312 දක්වා පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාත අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (18) නැවතත් පහළ වැටීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.299.21 ක් ලෙස හා විකුණුම් මිල රු.312.37 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් අද (18) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 87 වන වියේ පසුවුණා.

බටහිර තනු අලලා නිර්මාණය වූ ගී රැසක් ගයමින් ජන හදවත් තුළ මතකයේ රැ‍‍ඳෙන ගායන ශිල්පියෙකු වීමට ක්‍රිස්ටෝපර් පෝල් සමත් වුණා.

හා මල් පිපෙන්නේ, වතුර නාලා තෙත කොණ්ඩේ කඩා, රුවන් තොරන් තනා, ඇල දොළ ගංඟා යාවි ගලා, රාමා සීතා ඔබයි මමයි, රෝස මලක් දුටුවම, පෙම් ලෝකේ පුරා වැනි අතිශය ජනප්‍රිය ගීත රැසකට ක්‍රිස්ටෝපර් පෝල් සිය හඬ දායකත්වය ලබාදී තිබෙනවා.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා ජනපති අතර සාකච්ඡාවක් අද

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයින් අද (18) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිත බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පවසනවා.

ඒ අනුව අද පස්වරු 3.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම හමුව පැවැත්වීමට නියමිත බවයි එම සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක සඳහන් කළේ.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සිදුකළ ඉල්ලීමකට අනුව මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

ධනුෂ්ක ගුණතිලකට එරෙහි චෝදනා කිහිපයක් පොලීසිය ඉවත් කර ගනී

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනුකර තිබූ චෝදනා කිහිපයක් ඕස්ට්‍රේලියානු පොලීසිය ඉවත් කර ගැනීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව නඩුව අද (18) කැඳවූ අවස්ථාවේදී සිඩ්නි අධිකරණය සඳහන් කළේ, ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව චෝදනා හතරෙන් තුනක් පොලීසිය විසින් ඉවත් කරගෙන ඇති බවයි.

2022 වසරේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී එරට කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම නඩුව ජූලි 13 වනදා නැවත කැඳවීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ස.ජ.බ තනතුරු දෙකකට නව සාමාජිකයින් පත් කෙරේ

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟතාවයෙන් තනතුරු දෙකකට නව සාමාජිකයින් පත්කර ඇති බව එම පක්ෂය පවසනවා.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සමගි ජන බලවේගයේ නියෝජ්‍ය භාණ්ඩාගාරික තනතුරට පත්කර ඇති බවයි සඳහන් වන්නේ.

එසේම කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ලේකම් ධුරයට පත්කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මහින්ද ඇතුළු පිරිසකට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවතට

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ රෝහිත අබේගුණවර්ධන, හිටපු පළාත් සභා මන්ත්‍රී කංචන ජයරත්න යන අයගේ විදේශ ගමන් තහනම සම්පූර්ණයෙන් ඉවත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

පසුගිය වසරේ මැයි 9 වනදා අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළ නඩුව අද (17) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

එම නියෝගය ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත යොමු කරන ලෙසද අධිකරණය එහිදී නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඡන්ද හිමි නාමලේඛනයේ Online ලියාපදිංචි වීමට ජුනි 15 දක්වා අවස්ථාව

ඡන්ද හිමි නාමලේඛනයේ මාර්ගගතව (online) ලියාපදිංචි වීම සඳහා ජුනි 15 වනදා දක්වා අවස්ථාව ලබාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව මහජනතාවට https://eservices.elections.gov.lk/ යන වෙබ් අඩවියට පිවිසීමෙන් මාර්ගගතව ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් කර ගැනීමට ඉල්ලුම් කළ හැකි බවයි එම කොමිසම සඳහන් කරන්නේ.

මෙම මාර්ගගත ක්‍රමය හරහා මුල්වරට ලියාපදිංචි වීම සඳහා ඉල්ලුම් කිරීම, 2023-02-01 වන දින වනවිට පදිංචිය වෙනස් වූ පුද්ගලයන්ගේ පදිංචි ස්ථානය මාරු කිරීම සඳහා ඉල්ලුම් කිරීම මෙන්ම නම, ජාතික හැඳුනුම්පත් අංකය, උපන්දිනය ඇතුළු තොරතුරුවල දෝෂ පවතින්නේ නම් ඒවා නිවැරදි කිරීමට ඉල්ලුම් කිරීමට හැකියාව පවතින බවයි සඳහන් වන්නේ.

එසේම වයස අවුරුදු 18 සම්පූර්ණ වන යොවුන් පුරවැසියන්ටද ඉදිරි පරිපූරක නාමලේඛන සඳහා ලියාපදිංචි වීමට “යොවුන් පුරවැසියන් ලියාපදිංචි කිරීම” යන යොමුව ඔස්සේ ඉල්ලුම් කළ හැකි බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඩොලරයේ විකුණුම් මිල රු.316 දක්වා පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාත අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (17) පහළ වැටීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.302.42 ක් ලෙස හා විකුණුම් මිල රු316.18 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ මේ පිළිබඳ දක්වා ඇති ආකාරය පහතින්.

b46ef987f1ecbbc68ea7f488edb7d144