නව සංවර්ධන ව්‍යාපෘති හා වැඩසටහන් ඇගයීමට ජාතික සංවර්ධන කමිටුවක්

නව සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන් ඇගයීම සඳහා ජාතික සංවර්ධන කමිටුවක් පිහිටුවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

විධිමත් ඇගයීමකින් තොරව සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන් ආරම්භ කිරීම නිසා පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කරන ලද ඇතැම් ව්‍යාපෘති මගින් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම කමිටුව පත්කිරීමට නියමිත බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

ac7015e86775ce66ca5f35d860b9d773

PUCSL සභාපති ඉවත් කිරීමේ යෝජනාවට අපි තරයේ විරුද්ධයි – ජී.එල්.පීරිස්

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක එම ධූරයෙන් ඉවත් කිරීමට තරයේ විරුද්ධ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් පවසනවා.

ඒ අනුව විපක්ෂ මන්ත්‍රීවරුන් ලෙස රජය ගෙන එන එම යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිතා කරන බවයි අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

මේ වන විට ස්වාධීන කොමිෂන් සභා ස්වාධීන වී ඇත්තේ නාමමාත්‍රිකව පමණක් බවත් සියලුම ස්වාධීන කොමිෂන් සභා සඳහා විධායකය මැදිහත්වීම් සිදුකරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් වැඩිදුරටත් සඳහන් කළේ.

e-Passport හඳුන්වාදීම මෙම වසර තුළ සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා – ටිරාන් අලස්

e-Passport හඳුන්වාදීම මෙම වසර තුළ සිදු කිරීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

ඒ අනුව ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බවයි අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් කමිටුවක්ද පත්කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පැවති තදබදය පහව ගිහින් – ආගමන විගමන පාලක ජනරාල්

ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන සියලුදෙනාට අපහසුතාවයකින් තොරව අවශ්‍ය සේවාව ලබාදීමට මේ වනවිට කටයුතු යොදා ඇති බව ආගමන විගමන පාලක ජනරාල්, හර්ෂ ඉලුක්පිටිය පවසනවා.

ඒ අනුව පසුගිය සතියේ පැවති තදබදය මේ වන විට පහව ගොස් ඇති බවයි අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

එසේම ආගමන විගමන දෙපාර්තමේන්තුවට සේවාවන් ලබාගැනීමට පැමිණෙන ජනතාව කිසිදු අවස්ථාවක තැරැව්කරුවන්ට හසුවීමෙන් වළකින ලෙසයි ඔහු වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

අද ඩොලරයේ විකුණුම් මිල රු.313 දක්වා ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (22) සුළු ඉහළ යෑමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.299.71 ක් ලෙස හා විකුණුම් මිල රු.313.82 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

මැයි 09 මැති ඇමති දේපල ගිනි තැබීම් ගැන විමර්ශනයක් ඉල්ලා ගොනුකළ පෙත්සමක් ඉල්ලා අස් කරගනී

පසුගිය වසරේ මැයි මස 09 වනදා මැති ඇමැතිවරු ඇතුළු දේශපාලඥයින්ගේ නිවාස දේපල ගිනිතබා විනාශ කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් විසින් ගොනුකර තිබූ පෙත්සමක් අද (22) අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා අස්කර ගෙන තිබෙනවා.

අද පෙත්සම කැඳවූ අවස්ථාවේදී මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දැනුම් දුන්නේ, ඉකුත් වසරේ මැයි මස නව වනදා ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කිරීමට පියවර ගන්නා බවට සිය සේවාදායකයා දැනුම්දී ඇති බවයි.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බව සඳහන් කළ පෙත්සම්කාර පාර්ශ්වය අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීම සඳහා අවසර දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ශ්‍රී ලංකාව Sinopec සමාගම සමඟ ගිවිසුම් ගතවෙයි

ශ්‍රී ලංකාව Sinopec සමාගම සමඟ මෙරට තුළ ඛනිජ තෙල් නිෂ්පාදනය, අලෙවිය හා බෙදාහැරීම සඳහා වන ගිවිසුමකට අද (22) අත්සන් තබා තිබෙනවා.

ඒ අනුව Sinopec Fuel Oil Lanka (Pvt) Ltd සහ චීනයේ එහි මව් සමාගම සහ සිංගප්පූරුව සමඟ ඛනිජ තෙල් නිෂ්පාදන මෙරටට ආනයනය කිරීම, ගබඩා කිරීම සහ අලෙවිය සඳහා දීර්ඝ කාලීන ගිවිසුමකට එළඹුනු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් පත්කළ විශේෂ කමිටුව සහ සමාගම සමඟ සිදුකළ සාකච්ඡාවලින් අනතුරුව එම කමිටුව විසින් ලබාදුන් නිර්දේශ පරිදි මෙම ගිවිසුමට එළඹුනු බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

නිදහස් සන්ධානයේ ලේකම් ධුරය සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධුරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධුරය සම්බන්ධයෙන් මේ වන විට නඩු කටයුත්තක් අධිකරණයේ විභාග වෙමින් ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ.

ඒ සම්බන්ධයෙන් අධිකරණ තීරණය ලැබෙන තෙක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධුරය සඳහා මහින්ද අමරවීර හෝ තිලංග සුමතිපාල පිළිගැනීම තාවකාලිකව අත්හිටුවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

මහජන නියෝජිතයින්ගේ වරප්‍රසාද ඉහළ දමන බවට සිදුකරන ප්‍රකාශ අසත්‍යයි – රංජිත් සියඹලාපිටිය

රජය මහජන නියෝජිතයින්ගේ වරප්‍රසාද ඉහළ දැමීමේ උත්සාහයක නිරත වන බවට සිදුකරන ප්‍රකාශ අසත්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව වත්මන් ජනාධිපතිවරයා මුදල් අමාත්‍ය ධුරයේ කටයුතු ආරම්භ කිරීමෙන් පසු සියලු මහජන නියෝජිතයින්ගේ වරප්‍රසාද සහ දීමනා රැසක් කප්පාදු කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

සියලුදෙනාම ආර්ථික පීඩනයේ බර දරාගත යුතුයි යන සංකල්පය මත සියලුම ජනතා නියෝජිතයින්ගේ වරප්‍රසාද ඉහළම ආකාරයෙන් කප්පාදු වීම සිදුවූයේ මෙම යුගයේදී බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ලබන වසර තුළ ජනාධිපතිවරණයක් පැවැත්වේවි – රුවන් විජයවර්ධන

ලබන වසර තුළ ජනාධිපතිවරණයක් පැවැත්වෙනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පවසනවා.

නිශ්චිතව දිනයක් ප්‍රකාශ කළ නොහැකි වුවද, ලබන වසරේ මාර්තු මාසය වන විට ජනාධිපතිවරණයක් පැමිණේවි යැයි අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කළේ.

එම ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීම සඳහා විශාල පිරිසක් සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.