දිස්ත්‍රික්ක 4කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

පවතින වර්ෂාපතන කාලගුණ තත්ත්වයත් සමග දිවයිනේ දිස්ත්‍රික් 04 කට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මාතර, රත්නපුර, ගාල්ල සහ කළුතර යන දිස්ත්‍රික්ක සඳහා එම නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

මාතර දිස්ත්‍රික්කයේ, පිටබැද්දර, විශේෂයෙන් කළුබෝවිටියාන ප්‍රදේශවලට සහ ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ හා නෙළුව ප්‍රදේශවලටත් කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, පාලින්දනුවර, මතුගම, අගලවත්ත හා බුලත්සිංහල යන ප්‍රදේශවල ජනතාවට මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

SL vs AFG 1st ODI : කාසියේ වාසිය ඇෆ්ගනිස්තා​න කණ්ඩායමට

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරඟය අද (02) පැවැත්වෙනවා.

තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

අද තරඟය සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් මතීෂ පතිරණ සහ දුෂාන් හේමන්ත එක්දින වරම් දිනාගත් අතර ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ප්‍රබල දඟ පන්දු යවන ක්‍රීඩක රෂිඩ් ඛාන් හට ආබාධයක් හේතුවෙන් මෙම තරඟය අහිමි වී තිබෙනවා.

පොසොන් පොහොයට සමගාමීව සිරකරුවන් පිරිසකට ජනපති සමාව

පොසොන් පොහොයට සමගාමීව බන්ධනාගාරගතව සිටින සිරකරුවන් පිරිසක් වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ රාජ්‍ය සමාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව එම සමාව ලබාදිමට නියමිත බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව නියමයන් සහ කොන්දේසි කිහිපයක් මත සිරකරුවන් සඳහා එම විශේෂ සමාව ලබාදීමට නියමිත අතර දඩ මුදල් නොගෙවීම මත බන්ධනාගාර ගතව සිර දඬුවම් විඳින සිරකරුවන් ඇතුළු පිරිසකට මෙලෙස විශේෂ රාජ්‍ය සමාවක් ලබාදීමට නියමිතයි.

SL vs AFG 1st ODI : එක්දින තරගාවලිය අද ආරම්භ වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ඝනිස්තාන කණ්ඩායම අතර එක්දින තරගාවලිය අද (02) ආරම්භවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පළමු එක්දින තරගය අද පෙරවරු 10.00 ට හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.

පා දග පන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්තට සහ මතීෂ පතිරණට අද එක්දින වරම් දිනා ගැනීමේ වැඩි අවස්ථාවක් පවතින බවයි සඳහන් වන්නේ.

තරගයේ සජීවී තොරතුරු එසැණ හරහා ඔබ වෙත ගෙන ඒමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ඵලදායී ව්‍යාපාර යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා සංගායනා ක්‍රමයක් හඳුන්වා දෙනවා – ජනපති

ජාතික පරිවර්තන මාර්ග සිතියම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (01) විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

ජනපති ජාතිය අමතා සිදුකළ විශේෂ ප්‍රකාශයේ වැදගත් කරුණු පහතින්.

* රට ක්‍රමයෙන් සහනදායි මට්ටමකට එළඹෙමින් සිටිනවා.

* දුර්වලව තිබූ ආර්ථිකය කිසියම් මට්ටමකින් මේ වනවිට ස්ථාවර වෙමින් පවතින අතර මේ තත්ත්වය උදා වුනේ අනුගමනය කළ නිවැරදි පිළිවෙත් නිසයි.

* දුශ්කරතා විඳදරාගත් රටවැසියන්ට ස්තූතිවන්ත වන අතර තව යම් කාලයක් මේ මාර්ගයේ ගමන් කිරීම මඟින් දුෂ්කරතා හා පීඩාවන් අවම කර යහපත් ආර්ථිකයක් නිර්මාණය කර ගැනීමට හැකියාව ලැබෙනවා.

* මෙම ක්‍රියාමාර්ග ජනප්‍රිය නොවන දුෂ්කර තීරණ විය හැකියි.

* ඉදිරියට රට ගොඩ නැගීමට කටයුතු කරනේ ප්‍රධාන කරුණු 4 ක් මුල් කර ගනිමින්.

* රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ යටතේ නව ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දෙන අතර අනවශ්‍ය වියදම් අඩු කිරීමට පියවර ගන්නවා.

* ආයෝජන ප්‍රවර්ධනය යටතේ රජය සහ පෞද්ගලික අංශය අතර ප්‍රබල සහයෝගීතාවක් ඇති කිරීම සඳහා ආයෝජන සංගායනාවක් පැවැත්වීමට කටයුතු කරනවා.

* සමාජ ආරක්ෂණ ජාලය යටතේ විද්වතුන් සම්බන්ධ කර ගනිමින් දිළිඳු ජන කොටස්වලට අවශ්‍ය සහාය ලබාදීමට කටයුතු කරනවා.

* දූෂණ විරෝධී පිළිවෙත් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමට කටයුතු කරනවා.

* රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංකරණය යටතේ පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ආරම්භ කර තියෙනවා.

* මෙම සංගායනාවයන්ගෙන් ලැබෙන යෝජනා මහජන දිනයකදී ජනතාව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා.

* මෙම වසරේ දෙවන කාර්තුව නිමාවීමට ප්‍රථම සංගායනා ක්‍රියාවලිය ආරම්භ කිරිමට කටයුතු කරනවා එමෙන්ම තුන්වන කාර්තුවේදී කාර්ය සාධක බලකායන් ජනතාවට විනිවිද පෙනෙන ආකාරයෙන් ජනතාව හමුවේ තබනවා.

* ජාතික ප්‍රතිසංවිධාන සැලැස්ම මෙම වසරේ අවසාන කාර්තුවේදී ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වෙනවා.

* මෙම වැඩසටහන රටම ඉලක්කරගත් වැඩසටහනක්.

ඉන්ධන හිඟයක් පිළිබඳ​ව කලබලවෙන්න එපා – කංචන

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා IOC සමාගම් සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග ඇති බැවින් ඉන්ධන හිඟයක් පිළිබඳව කලබල නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඉන්ධන මිල අඩුවීමක් අපේක්ෂාවෙන් ඉන්ධන පිරවුම්හල් හිමියන් විසින් ඇනවුම් ලබානොදීම නිසා පවතින තත්ත්වය මතුව ඇති බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

අවම තොග පවත්වා ගෙන නොගිය ඉන්ධන පිරවුම්හල්වල බලපත්‍රය සමාලෝචනය කර අත්හිටුවන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉල්ලා සිටින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

4249b75ebd15e05f14395673a04db97d

ජුලි මාසයේදී බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට හැකිවේවි – ගැමුණු

ජූලි මාසයේ සිදු කෙරෙන බස් ගාස්තු සමාලෝචනයේදී බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට හැකිවනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

ඒ අනුව ඉකුත් මාසයේ ඩීසල් මිල රුපියල් 15 කින් අඩුවීමක් සිදුවූ අතර එහි වාසිය ජනතාවට ලබාදීමේ අරමුණින් ජූලි මස 01 වනදා සිදුකරන බස් ගාස්තු සමාලෝචනයේදී එහි වාසිය ලබාදීමට රජයට බලකරන බවයි ඔහු සඳහන් කළේ.

භාණ්ඩවල මිල ගණනය කිරීම්, අමතර කොටස්වල මිල සහ අනෙකුත් දෑ වල මිල ගණන් ගණනය කර ජූලි 01 දා බස් ගාස්තු සංශෝධනය සිදුකළ යුතු බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න වැඩිදුරටත් සඳහන් කළේ.

අද ඩොලරයේ විකුණුම් මිල රු.297 දක්වා පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (01) දිනයේත් සැලකිය යුතු පහළ යෑමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.283.87 ක් ලෙස හා විකුණුම් මිල රු.297.23 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

බෘනෝ දිවාකර රිමාන්ඩ් කෙරේ

අත්අඩංගුවට ගත් බෘනෝ දිවාකර ජුනි 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නතාෂා එදිරිසූරියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ඔහු ඊයේ (31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ දමයි

ලංකා සතොස භාණ්ඩ වර්ග 06ක මිල ගණන් පහළ දැමීමට කටයුතු කර ඇති බව එම ආයතනය පවසනවා.

ඒ අනුව පාන් පිටි, ලොකු ළූණු, රතු පරිප්පු, සුදු සීනි, කඩල හා දේශීය සුදු නාඩු සහල් මිල මෙලෙස අඩු කිරිමට කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.

අඩු වූ මිල සහ නව මිල පහතින්.

* පාන් පිටි 1Kg – රු.15 කින් (නව මිල රු.210)
* ලොකු ළූණු 1Kg – රු.14 කින් (නව මිල රු.115)
* රතු පරිප්පු 1Kg – රු.11 කින් (නව මිල රු.314)
* සුදු සීනි 1Kg – රු.10 කින් (නව මිල රු.229)
* කඩල 1Kg – රු.05 කින් (නව මිල රු.545)
* දේශීය සුදු නාඩු සහල් 1Kg – රු.04 කින් (නව මිල රු.175)