ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

පවතින අයහපත් කාලගුණයත් සමඟ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ගාල්ල, කළුතර, බදුල්ල යන දිස්ත්‍රික්ක සඳහා මෙම නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙලුව, නාගොඩ හා ඇල්පිටිය ප්‍රදේශ සඳහාත් කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, වලල්ලාවිට, අගලවත්ත හා බුලත්සිංහල යන ප්‍රදේශ සඳහා මෙම නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

එසේම බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රදේශය සඳහාත් මෙම නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවනවා – ජනපති

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

රටේ ව්‍යාපාර කිරීමේ පහසුව, ව්‍යාපාර ශ්‍රේණිගත කිරීම සහ විදේශ ආයෝජන ආකර්ශණය කර ගැනීමේ හැකියාව කෙරෙහි එය සෘජුවම බලපාන බවයි ජාතික නීතිඥ සමුළුවේ දෙවන දිනය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

මුදල් විශුද්ධිකරණයට සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එරෙහිව පවතින නීති රාමුවේ ඇති හිඩැස් කඩිනමින් හඳුනා ගැනීමේ වැදගත්කම මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා සඳහන් කළේ, එසේ නොවුණහොත් ශ්‍රී ලංකාව නැවත වාරයක් උපායමාර්ගික ඌනතා සහිත රටක් ලෙස ලැයිස්තුගතවීමේ අවධානමක් ඇති බවයි.

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල පහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.

* කිලෝ ග්‍රෑම් 12.5 – රු.452 කින් (නව මිල රු.3,186)

* කිලෝ ග්‍රෑම් 5 – රු.181 කින් (නව මිල රු.1,281)

* කිලෝ ග්‍රෑම් 2.3 – රු.83 කින් (නව මිල රු.598)

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ උප සභාපති ධුරය ලංකාවට

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරය සඳහා ශ්‍රී ලංකාවට උප සභාපති ධුරය හිමිව තිබෙනවා.

රටවල් 193ක් විසින් ඒකමතිකව ශ්‍රී ලංකාව උප සභාපති ධූරය සඳහා තෝරා පත්කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ඒ අනුව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත තානාපති මොහාන් පීරිස් විසින් ආසියානු පැසිෆික් කාලාපය වෙනුවෙන් 2023 සැප්තැම්බර් මාසයේ සිට 2024 සැප්තැම්බර් මාසය දක්වා කාලය සඳහා අදාළ තනතුර භාර ගැනීමට නියමිතව තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරය ලබන සැප්තැම්බර් මස 12 වන දින ආරම්භ වන අතර එය සැප්තැම්බර් 25 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

උඩරට මාර්ගයේ දුම්රිය පීලි පැනීමක්

දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සෙංකඩගල මැණිකේ දුම්රිය කඩිගමුව සහ රඹුක්කන දුම්රිය ස්ථානය අතර එලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි සඳහන් වන්නේ.

අද දිනයේ ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රමාණවත් ඉන්ධන තොග ලැබේවි – කංචන

අද (04) දිනය වන විට සියලුම ඉන්ධන පිරවුම්හල් සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග ලැබෙනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඛනිජ තෙල් සංස්ථාවට සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට අයත් බවුසර් මගින් ඉන්ධන බෙදාහැරීම මේ වනවිට අඛණ්ඩව සිදුකරන බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

කෙසේ නමුත් ඉන්ධන පිරවුම්හල් 121ක් මැයි මස 27සිට 31 දක්වා කාලය තුළ කිසිදු ඇණවුමක් සිදුකර නොමැති බවට තොරතුරු අණාවරනය වී ඇති බවත් බොහෝ ඉන්ධන පිරවුම්හල් අවම තොග පවත්වා ගැනීමට ද ප්‍රමාණවත් ඇණවුම් ලබාදී නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

ගිවිසුම් කොන්දේසි උල්ලංඝනය කර ඇති ඉන්ධන පිරවුම්හල් බලපත්‍ර සම්බන්ධයෙන් ද ඉදිරියේ දී තීරණයක් ගන්නා බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ Twitter පණිවිඩය පහතින්.

f7e7dc29b207d6f9453658632a105566

ඉන්දියාවේ දුම්රිය අනතුරෙන් මියගිය සංඛ්‍යාව 280 දක්වා ඉහළට

ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේදී දුම්රිය තුනක් එකිනෙක ගැටී සිදුවූ අනතුරෙන් මේ වන විට පුද්ගලයින් 280 කට වඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එසේම අනතුරෙන් පුද්ගලයින් 1000 කට වැඩි සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා.

මෙම දුම්රිය අනතුර සිදුව ඇත්තේ ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ බලසෝර් දිස්ත්‍රික්කයේ වන අතර රාත්‍රී 7.00 ට පමණ මෙය සිදුව ඇති බවයි සඳහන් වන්නේත

ෂාලිමාර් සිට චෙන්නායි දක්වා ධාවනය කෙරෙන කොරමැන්ඩල් එක්ස්ප්‍රස් නම් දුම්රිය බලසෝර්හිදී පීලි පැනීමකට ලක්වීමෙන් එහි ප්‍රථම අනතුර සිදුව ඇති අතර දුම්රිය පීලිපැනීමත් සමග ඉන් ගැලවී ගිය මැදිරි ඊට සමාන්තරව දෙපසින් දිවෙන දුම්රිය මාර්ග දෙක මතට විසිවී ගොස් නතර වී තිබුණේ එහි නවතා තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ද ගැටීමෙන් පසුවයි.

ඒ, සමගම යෙස්වාන්ත්පුර් සිට හොව්රා දක්වා ධාවනය වෙමින් පැවති හොව්රා සුපර්ෆාස්ට් එක්ස්ප්‍රස් දුම්රිය, අධි වේගයෙන් පැමිණ අනතුරට ලක්වී තිබූ දුම්රිය මැදිරිවල ගැටී එහි දෙවන අනතුර සිදුවී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක් වූවත් මේ මොහොතේ 50%ක ඡන්ද පදනමක් නැහැ – ජනපති

පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ එකට එක් වුවත් මේ මොහොතේ ඒ කිසිවකට 50%ක ඡන්ද පදනමක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ හේතුවෙන් සියලුදෙනා එක්විය යුත්තේ මැතිවරණයක් සඳහා නොව ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට බවයි ජනාධිපතිවරයා සඳහන් කරන්නේ. තවමත් මෙරට තරුණ පරපුර ඇතුළු ජනතාවගෙන් අතිමහත් බහුතරයක් අතර මැතිවරණ හා දේශපාලනය පිළිබඳ විශ්වාසය කඩ වී ඇති බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

හෙට සිට ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට තීරණයක්

හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල අඩු කිරීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 කට වැඩි අගයකින් අඩු කිරීමට බලාපොරොත්තු වන බවයි එහි සභාපති මුදිත පීරිස් සඳහන් කළේ.

නව මිල ගණන් පසුව ප්‍රකාශ කිරීමට නියමිතයි.

පොසොන් පොහොය දිනය අදයි

ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් පවත්වන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට (03) යෙදී තිබෙනවා.

ධර්මාශෝක රජු සහ දේවානම්පියතිස්ස රජු අතර පැවති රාජ්‍ය තාන්ත්‍රික කල්‍යාණ මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් ලෙස මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කරනු ලැබුවේ අද වැනි පොසොන් පොහොය දිනයකයි.

මහින්දාගමනයට අමතරව පොසොන් පුර පසළොස්වක පොහොය දිනය ශාසන ඉතිහාසයේ වැදගත් සිද්ධීන් රැසක් සිදුවූ පොහොය දිනයක් ලෙසද සැලකෙන අතර බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් ප්‍රථමවරට සවණක් ඝණ බුදුරැස් විහිදීම සිදුවූයේද අද වැනි පොහොය දිනක බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.

මෙරට බෞද්ධ ජනතාව පොසොන් පොහොය ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන ලබාදෙමින් සමරනු ලබනවා.