500% කින් පමණ වැඩිකල විදුලි බිල 3% කින් අඩුකිරීම ජනතාව නොමග යැවීමක් – ඕමල්පේ සෝභිත හිමි

විදුලිබිල 50% කින් පමණ අඩු කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පවසනවා.

ඒ අනුව 500% කින් පමණ වැඩි කළ විදුලි බිල ජුලි මස 01 වනදා සිට 3% කින් අඩු කිරීමට කටයුතු කිරීම ජනතාව නොමඟ යැවීමක් බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

500% කින් වැඩි කළ විදුලි බිල 3% කින් අඩු කිරීම ජනතාවට නොදැනෙන බවත්, නමුත් ඇමතිවරයාට නම් එය දැනෙන බවද උන්වහන්සේ සඳහන් කළා.

විදුලිබිල දරා ගැනීමට නොහැකිව දේශීය කර්මාන්ත ගණනාවක් වසා දැමීමට කටයුතු කර ඇති බවත්, ජනතාවට දැනෙන ලෙස විදුලිබිල අඩු කිරීමක් කළ යුතු නම් එය 50% කින් අඩු කිරීමට කටයුතු කළ යුතු බවයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි වැඩිදුරටත් සඳහන් කළේ.

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනයට තවදුරටත් බාධා

කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට තවදුරටත් බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අද (28) අලුයම 4.00ට පමණ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු අවසන් කළ ද මාර්ගයේ නඩත්තු කටයුතු තවදුරටත් සිදුකරමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බොරැල්ල කොටා පාර දුම්රිය ස්ථානය ආසන්නයේදී කොළඹ කොටුව සිට කොස්ගම බලා ධාවනය වූ දුම්රියක මැදිරි දෙකක් ඊයේ (27) පස්වරුවේ පීලිපැනීමකට ලක්ව තිබුණා.

ICC CWC Qualifier: ස්කොට්ලන්තයට ලකුණු 246 ක ඉලක්කයක්

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ස්කොට්ලන්ත කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ස්කොට්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.3 ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 245 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 75 ක්, චරිත් අසලංක ලකුණු 63 ක්, සධීර සමරවික්‍රම ලකුණු 26 ක් හා ධනංජය ද සිල්වා ලකුණු 23 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ස්කොට්ලන්ත කණ්ඩායම වෙනුවෙන් Chris Greaves කඩුලු 4 ක්, Chris Sole කඩුලු 2 ක් හා Mark Watt කඩුලු 3 ක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ස්කොට්ලන්ත කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 246 ක්.

ලකුණු පුවරුව පහතින්.

649abbb525050

ICC CWC Qualifier: පන්දුවාර 30 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව – 146/4

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ස්කොට්ලන්ත කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 30 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 146 ක් ලබා සිටිනවා.

පන්දුවට පහරදීමේදී පැතුම් නිස්සංක ලකුණු 75 කට දැවීගිය අතර පන්දුවට පහරදෙමින් සිටින චරිත් අසලංක ලකුණු 24 ක් හා ධනංජය ද සිල්වා ලකුණු 3 ක් ලබා සිටිනවා.

ICC CWC Qualifier: කාසියේ වාසිය ස්කොට්ලන්තයට

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ස්කොට්ලන්ත කණ්ඩායම අතර තරගය අද (27) පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ස්කොට්ලන්ත කණ්ඩායම සමත්වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ICC CWC Qualifier: ශ්‍රී ලංකාව හා ස්කොට්ලන්තය අතර තරගය අද

ICC ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද (27) පැවැත්වෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හා ස්කොට්ලන්ත කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිතයි.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් 12.30 ට ආරම්භවීමට නියමිතව තිබෙනවා.

ICC CWC Qualifier: ඊයේ තරග සාරාංශය

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ඊයේ (26) පැවති තරග දෙකෙන් ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම හා අමෙරිකා කණ්ඩායම අතර පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් අමෙරිකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 408 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අමෙරිකා කණ්ඩායමට පන්දුවාර 26 ක් තුළ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 104 ක් පමණක් වන අතර ඒ අනුව ලකුණු 304 ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.

මේ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා නෙදර්ලන්තය අතර පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 374 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායම අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවේදී ලකුණු සම කිරීමට සමත්වූ අතර ඒ හේතුවෙන් තරගයේ ජයග්‍රහණය තීරණය කිරීමට සුපිරි පන්දුවාරයක් යැවීමට තීරණය කළා.

ඒ අනුව සුපිරි පන්දුවාරයේදී නෙදර්ලන්තය ලකුණු 30 ක් ලබාගත් අතර කොදෙව් කණ්ඩායමට ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 8 ක් පමණයි.

ඒ අනුව තරගයේ ජය නෙදර්ලන්ත කණ්ඩායම ලබා ගත්තා.

ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 500 ක්

අයවැය කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර එකඟතාවයකට එළැඹීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම එකඟතාවය යටතේ ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 500 මුදලක් ලැබෙනු ඇති බවත් මේ සඳහා කැබිනට් මණ්ඩල එකඟතාවය හිමිව ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මාර්තු මාසයේදී ලබාදුන් ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමේ පළමු වාරිකයෙන් අනතුරුව ලැබෙන විශාලතම මූල්‍ය සහනය මෙය බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ජනපති හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අතර හෙට සාකච්ඡාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හෙට (28) දිනයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව හෙට පස්වරු 5.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී අදාළ සාකච්ඡාවට පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

මහාවංශය, යුනෙස්කෝ ලෝක වාර්තාමය උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරයි

යුනෙස්කෝ සංවිධානය විසින් ‘මහාවංශය’ ලෝක වාර්තාමය උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මහාවංශය යුනෙස්කෝ සංවිධානය විසින් හදුන්වා දී ඇත්තේ ලොව දීර්ඝතම නොබිඳුණු ඓතිහාසික වාර්තාවලින් එකක් ලෙසයි.

එය බුදුන් වහන්සේ, අශෝක අධිරාජ්‍යයා සහ ලෝක ආගමක් ලෙස බුදුදහමේ නැගීම පිළිබඳව සුවිශේෂි තොරතුරු අඩංගු ආසියාවේ වැදගත් ඓතිහාසික මූලාශ්‍රයක් ලෙසයි යුනෙස්කෝ සංවිධානය වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.