වාහන කොල්ලයක​ට සම්බන්ධ සිව්දෙනෙක් අත්අඩංගුවට

තෙල්දෙණිය කෙන්ගල්ල ප්‍රදේශයේ වාහන අංගනයකින් කොල්ලකන ලද ජීප් රථ 03 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (29) අලුයම කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම කොල්ලය සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එහිදී අදාළ වාහන අංගනයේ සිටි සේවකයින් දෙදෙනෙකු බියවද්දා බැඳ දමා සැකකරුවන් වාහන 04 ක් කොල්ලකා පළාගොස් ඇති අතර ඩිෆෙන්ඩර් වර්ගයේ ජිප් රථ 03 ක් සහ වෑන් රථයක් මෙලෙස කොල්ලකා රැගෙනගොස් තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 27, 32 සහ 34 යන වයස්වල පසුවන ගුන්නෑපාන, දොරගමුව සහ රජවැල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට අනාවරණය වී තිබෙනවා.

මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද රැස්වෙයි

විදුලි ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (30) රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

අදාළ යෝජනාවලිය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමද මීට පෙර සිදු කර තිබුණා.

රිය අනතුරකට ලක්වූ හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා දැඩි සත්කාර ඒකකයට

හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් අද (29) උදෑසන මුන්දලම ප්‍රදේශයේ දී රිය අනතුරකට පත්වී තිබෙනවා.

අනතුරින් පසුව ඇයව හලාවත මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව මේ වනවිට ඇය හලාවත රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ලොතරැයි මිල ඉහළට

ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය ලොතරැයි මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙතෙක් රුපියල් 20 ක්ව පැවති ලොතරැයියක මිල ජූලි 6 වනදා සිට රුපියල් 40 ක් දක්වා ඉහළ දමා ඇති බවයි සඳහන් වන්නේ.

රන්සිළු ජයතිලකගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

හොංකොං හි පැවති ආසියානු පැසිපික් සවි එසවීමේ තරඟාවලියේ දී රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රන්සිළු ජයතිලක සමත්වී තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 322ක බරක් උසුලමින් නව දකුණු ආසියානු වාර්තාවක් ද පිහිටුවීමට ඔහු සමත්වී ඇති බවයි සඳහන් වන්නේ.

649d158ea855b

දේශිය ණය ප්‍රතිව්‍යූහගත කිරීමෙන් EPF තැන්පතු පොලිය​ට බලපෑමක් නෑ – මහ බැංකු අධිපති

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී දැනටමත් රැස්කර ඇති සේවක අර්ථසාධක අරමුදලෙහි තැන්පතුවලට අත තැබීමක් සිදු නොකරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඒ අනුව එම තැන්පතු සඳහා ගෙවනු ලබන 9% පොලියක් සහතික කරන බවයි මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

ගෑස් හිඟයක් නැහැ – ලාෆ්ස් ගෑස් සමාගම

රට තුළ ගෑස් හිඟයක් ඇති බවට විවිධ ප්‍රචාර පැතිර ගියද වෙළෙඳපොළේ කිසිදු ගෑස් හිඟයක් නොමැති බව ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා.
එ අනුව අවශ්‍ය ගෑස් තොග ප්‍රමාණවත් පරිදි පර්යන්තවල රැස්කර ඇති බවයි ලාෆ්ස් ගෑස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය සඳහන් කළේ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව ගැන සාකච්ඡාවට මුදල් පිළිබඳ කාරක සභාව අද රැස්වෙයි

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාවලිය පිළිබඳ සාකච්ඡා කිරීමට අද මුදල් පිළිබඳ කාරක සභාව රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද (29) පස්වරු 2.00 පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ යෝජනාවට ඊයේ (28) රැස්වු විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබුණා.

තාවකාලික රියදුරු බලපත්‍ර වලංගු කාලසීමාව සම්බන්ධයෙන් දැනුම්දීමක්

තාවකාලික රියදුරු බලපත්‍ර වලංගු කාලසීමාව සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 2022 මාර්තු 31 වනදා සිට 2023 ජූනි 30 වනදා දක්වා කාලය තුළ නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍ර, කල් ඉකුත් වන දිනයේ සිට වසර 2ක් සඳහා වලංගු බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700 ක් ලබාදීමට ලෝක බැංකුවේ අනුමැතිය

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් ලබාදීමට ලෝක බැංකුව අනුමැතිය ලබාදී  ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මාර්තු මාසයේදී ලබාදුන් ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමේ පළමු වාරිකයෙන් අනතුරුව ලැබෙන විශාලතම මූල්‍ය සහනය මෙය බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ මුදලෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500ක් අයවැය සඳහා සහාය දීමට සහ අමෙරිකානු ඩොලර් මිලියන 200ක් සමාජ ආරක්ෂණ කටයුතු සඳහාත් වෙන්කර තිබෙනවා.