මුතුරාජා යළි ලංකාවට ලබා දෙන්නේ නැහැ – තායිලන්ත පරිසර ඇමති

මුතුරාජා හස්තියා යළි ශ්‍රී ලංකාවට ලබා නොදෙන බව තායිලන්ත පරිසර අමාත්‍ය වරවුට් සිල්පා ආචා පවසා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව මෙරට නායක ස්වාමීන් වහන්සේ නමක් විසින් හස්තියා යළි ලබාදෙන බවට සිදුකළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් එරට පරිසර අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

මුතුරාජා හස්තියා මේ වන විට තායි රජුගේ භාරයේ පසුවන බවත්, ඔහු නව පරිසරයට ඉක්මනින් හුරුවෙමින් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

සිම්බාබ්වේ කණ්ඩායම ලෝක කුසලානයෙන් ඉවතට

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව සිම්බාබ්වේ කණ්ඩායමට අහිමි වී ගොස් තිබෙනවා.

ඒ, ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ස්කොට්ලන්තය හමුවේ ලකුණු 31 කින් පරාජය වීම හේතුවෙන්.

ඒ අනුව ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සදහා මේ වන විට අවස්ථාව පවතින්නේ ස්කොට්ලන්ත කණ්ඩායමට හෝ නෙදර්ලන්ත කණ්ඩායමට පමණයි.

ප්‍රසාද ලකුණු සටහන පහතින්

64a4ed9c0b8e5

රයිස් සහ කොත්තු මිල 10% කින් පහළට

කොත්තු හා රයිස් මිල අද (05) සිට 10% කින් අඩු  කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

ගෑස් මිල අඩුවීමට සාපේක්ෂව මෙම මිල අඩු කිරීම සිදුකරන බවයි එහි සභාපති අසේල සම්පත් සඳහන් කළේ.

2023 මහනුවර ඇසළ පෙරහැර පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරයි

2023 ඇසළ පෙරහැර පැවැත්වෙන දින මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව කුඹල් පෙරහැර අගෝස්තු 21 සිට අගෝස්තු 25 දක්වා පැවැත්වීමට නියමිත අතර රන්දෝලි පෙරහැර අගෝස්තු 26 සිට අගෝස්තු 30 දක්වා පැවැත්වීමට නියමිතයි.

64a550e820456

කංසා නියමු ව්‍යාපෘතිය ආයෝජකයන් 11 සමඟ ඉදිරියට ගෙනියනවා – ඩයනා

කංසා නියමු ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කිරීමට ආයෝජකයින් 11 දෙනෙකු සිටින බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

ඒ අනුව මේ තුළින් වසරකට ඩොලර් බිලියන 4 – 5 ත් අතර ප්‍රමාණයක ආදායමක් රටට ගෙන ඒමට බලාපොරොත්තු වන බවයි රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ.

තමා සිටින තෙක් මෙම ව්‍යාපෘතිය අසාර්ථකවීමට ඉඩ ලබා නොදෙන බවත් මේ තුළින් රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලබාගත හැකි බවද රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දෙනවා.

සද්ධාරතන හිමි යළි රිමාන්ඩ්

පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි ජූලි 12 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබෙනවා.

ආගම් අතර අසමගිය පැතිරවීමේ චෝදනා මත පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

ඒ අනුව අද (05) එම නඩුව යළි කැඳවූ අවස්ථාවේදී කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් එම නියෝගය ලබාදී ඇති බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.

රෝහල් හා සෞඛ්‍ය ආයතන වල කළු විරෝධතා සතියක් ආරම්භ කරනවා – ඖෂධවේදීන්ගේ සංගමය

අද (05) සිට රෝහල්වල කළු විරෝධතා සතියක් ආරම්භ කරන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසනවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙසට ඉල්ලමින් මෙම කළු විරෝධතා සතිය පවත්වන බවයි එම සංගමය සඳහන් කළේ.

එමෙන්ම මහජන පෙත්සමක්ද අත්සන් කිරීමට කටයුතු කරන බවයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

නතාෂා එදිරිසූරියට කොළඹ මහාධිකරණයෙන් ඇප

නතාෂා එදිරිසූරිය ඇප මත නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

අද උදෑසන කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ, ඇය ජුලි 12 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

කෙසේ නමුත් ඇය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා ලැබීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් ඇයට ඇප ලබාදීමට නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

බෞද්ධ ආගමට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදුකළායැයි යන චෝදනාව මත නතාෂා එදිරිසූරිය පසුගිය මැයි 27 වනදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කෙරේ

නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව හා නුවරඑළිය ප්‍රදේශ සඳහා මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ගොඩබිම් ප්‍රදේශ සඳහා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, වයඹ සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී 50 – 60ක පමණ තද සුළං ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

64a3e9f6b6b50