මුහුදුබඩ සහ ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මාතර සිට පැමිණි දුම්රියක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්වී තිබෙනවා.

මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සහ ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සිමෙන්ති මිල පහළට

දේශීයව නිෂ්පාදනය කරන සිමෙන්ති කොට්ටයක මිල රු. 300කින් අඩු කිරීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව මෙතෙක් 2,600 ක්ව පැවති සිමෙන්ති කොට්ටයක මිල 2,300 දක්වා පහත දමා ඇති බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.

ලාෆ් ගෑස් මිල පහළට

ගෘහස්ත ලාෆ් ගෑස් මිල අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

අඩු කළ සහ නව ගෑස් මිල ගණන් පහතින්,

* 12.5KG ගෑස් – රු. 300 කින්  (නව මිල රු. 3,690)

* 5KG ගෑස්  – රු. 120 කින්  (නව මිල රු. 1,476)

රටේ මුල්‍ය බංකොලොත්භාවයට හේතු සොයන්න සාගර කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ කාරක සභාවක්

රට මුල්‍ය බංකොලොත්භාවයට පත්වූයේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ කාරක සභාවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මේ සඳහා සාගර කාරියවසම් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කළ බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළේ.

නව ගුවන් හමුදාපති ජනපති හමුවෙයි

නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ ඊයේ (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබෙනවා.

එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ 19 වන ගුවන් හමුදාපතිවරයා ලෙස පසුගියදා පත්වීම් ලබාගත්තා.

ධූරයට පත්වීමෙන් පසු නව ගුවන් හමුදාපතිවරයා සාම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයා හමු වූ අතර ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ICC CWC Qualifier: නෙදර්ලන්තය හා ස්කොට්ලන්තය අතර තීරණාත්මක තරගය අද

ICC ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ (Super Six) වටයේ තීරණාත්මක තරගයක් අද (06) පැවැත්වෙනවා.

ඒ අනුව නෙදර්ලන්තය හා ස්කොට්ලන්ත කණ්ඩායම අතර තරගය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් 12.30 ට ආරම්භ වීමට නියමිතයි.

මෙරට නිල සංචිත වත්කම් ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය සම්බන්ධයෙන් මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 2023 ජුනි මස අවසන් වන විට දළ නිල සංචිත ප්‍රමාණය, අමෙරිකානු ඩොලර් බිලියන 3.5 ක් බවයි සඳහන් වන්නේ.

ඒ සඳහා චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකම ද ඇතුළත් බවයි මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේ.

අද සිට ලොතරැයි මිල ඉහළට

අද (06) සිට ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය ලොතරැයි ටිකට් පතක මිල ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව මෙතෙක් රුපියල් 20 ක්ව පැවති එම ලොතරැයි ටිකට් පතක මිල රුපියල් 40 ක් දක්වා ඉහළ දමා ඇති බවයි සඳහන් වන්නේ.

මිල ඉහළ යාමට සමානුපාතිකව පාරිභෝගික ජනතාවට දිනුම් අවස්ථා ද ඉහළ නංවා ඇති බවයි ජාතික ලොතරැයි මණ්ඩලයේ අලෙවි සහකාර සාමාන්‍යාධිකාරී මෙනුර චතුරංග සඳහන් කළේ.

පොලී අනුපාත ලිහිල් කිරීමට මහ බැංකුව තීරණය කරයි

මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) තවදුරටත් ලිහිල් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 11%ක් ලෙසත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 12%ක් ලෙසත් අඩු කිරීමට  මුදල් මණ්ඩලය තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

හැටන් සහ නුවරඑළිය අධ්‍යාපන කලාපවල සියලුම පාසල් අද සහ හෙට වසා දැමේ

හැටන් සහ නුවරඑළිය අධ්‍යාපන කලාපයට අයත් සියලුම රජයේ පාසල් අද (06) සහ හෙට (07) වසා දැමීමට තීරණය කර තිබෙනවා.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.