2024 රජයේ සහ බැංකු නිවාඩු දින ප්‍රකාශයට පත් කරයි

2024 වසර සඳහා රජයේ සහ බැංකු නිවාඩු දින ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

64ba57c12aa05pdf_page_0

64ba57c13a1c0pdf_page_1

කෙහෙළියට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාරදෙයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත භාරදී තිබෙනවා.

අදාළ විශ්වාසභංග යෝජනාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 45ක් අත්සන් යොදා ඇති බවයි සඳහන් වන්නේ.

සමගි ජන  බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන විසින් අදාළ විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත භාරදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ජනපති හා ඉන්දීය අගමැති හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබෙනවා.

එහිදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ  ආර්ථික, යටිතල පහසුකම් සහ තාක්‍ෂණික ක්ෂේත්‍රයේ අත් කරගෙන ඇති ප්‍රගතිය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඇගයීමට ලක්වී තිබෙනවා.

මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් අති දුෂ්කර කාල පරිච්ඡේදයන් හිදී  ඉන්දියාව ලබාදුන් නොසැලෙන සහයෝගය වෙනුවෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට සහ ඉන්දීය රජයට සහ ජනතාවට කෘතඥතාව පළ කරන බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත්තේ.

ප්‍රතිසන්ධානය සහ බලය බෙදීම සඳහා වූ පුළුල් සැලැස්මක් සහිතව සියලු පක්ෂ නායකයින්ට පොදු එකඟතාවකට පැමිණෙන ලෙස සිදු කළ ආරාධනය මෝදි අගමැතිවරයාගේ ඇගයීමට ලක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සදහන් කළේ.

ආනයන සීමා ඉවත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

තවත් භාණ්ඩ 300 කට වැඩි ප්‍රමාණයක ආනයන සීමා ලිහිල් කර තිබෙනවා.

ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ ගැසට් නිවේදනය https://bit.ly/3Y3Pgn6

ජනපති සහ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් අතර හමුවක් සිදුව තිබෙනවා.

අද (21) පෙරවරුවේ දිල්ලි නුවරදී එම හමුව සිදුවී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

ආනයනික බිත්තර සුපිරි වෙළෙඳසැල් හරහා අලෙවි කිරීමට අවධානය

ආනයනික බිත්තර සුපිරි වෙළෙඳසැල් හරහා අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ප්‍රමාණය තවදුරටත් ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සඳහන් කළා.

ඉන් අනතුරුව සුපිරි වෙළෙඳසැල් හරහා ආනයනික බිත්තර අලෙවි කිරිමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ජනාධිපතිවරයා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් අතර හමුවක් සිදු වී තිබෙනවා.

දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (20) පස්වරුවේ ජනාධිපතිවරයා ඉන්දියාව බලා පිටත්ව ගියා.

සිය ඉන්දීය සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.

ලිට්‍රෝ සමාගමෙන් රු. බිලියන 1.5 ක් භාණ්ඩාගාරයට

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම විසින් සිය ලාභාංශ ලෙස රුපියල් බිලියන 1.5 ක මුදලක් මහා භාණ්ඩාගාරය වෙත ලබාදෙන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.

ඒ අනුව ජනතාව වෙනුවෙන් ගෑස් සිලින්ඩරයක මිල අඩු කරන අතරම, ආයතනයද ශක්තිමත් කර සාධාරණ සුළු ලාභයක් ඉපැයූ බවයි ඔහු සඳහන් කළේ.

සිය මව් සමාගම වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා අද (20) දිනයේ එම මුදල මහා භාණ්ඩාගාරය වෙත ලබාදීමට පියවර ගන්නා බවයි මුදිත පීරිස් වැඩිදුටරත් සඳහන් කළේ.

SL vs PAK 1st Test: පාකිස්තානයට කඩුලු 4ක ජයක්

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම අද (20) සමත් වුණා.

තරගයේ අවසන් දිනය වූ අද දිනය සදහා තරගය ආරම්භ කරන විට පාකිස්තාන කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 48 ක් ලබා සිටි අතර, අද දිනයේදී ඔවුන් කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

තරගයේ කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම සඳහා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 312 ක් රැස් කළා. එහිදී ධනංජය ද සිල්වා ලකුණු 122 ක් ලබා ගත් අතර, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 64 ක් ලබා ගත්තා.

පිළිතුරු ලෙස පාකිස්තානය සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 461 ක් ලබා ගත් අතර පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් සවුද් ශකීල් නොදැවී ලකුණු 208 ක් ලබාගත්තා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රමේෂ් මෙන්ඩිස් කඩුලු 5 ක් දවා ගත්තා.

පසුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 279 ක් පමණි. ඒ අනුව ජයග්‍රහණය සඳහා පාකිස්තානයට හිමිවූ ඉලක්කය ලකුණු 131 ක්.

ඔවුන් කඩුලු 6 ක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

ජොන්ස්ටන්ට එරෙහි නඩුවක් කැඳවීමට දින නියම කෙරේ

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණය දින නියම කර තිබෙනවා.

එම නඩුව අද (20) කොළඹ මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කර තිබෙනවා.

ඒ අනුව නඩු විභාගය නොවැම්බර් මස 24 වන දා පැවැත්වීමට දින නියම කර ඇති බවයි සඳහන් වන්නේ.

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.