උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් අවසන් අදියරේ – අධ්‍යාපන ඇමති

උසස් පෙළ පිළිතුර පත්‍ර ඇගයීම් අවසන් අදියරට පැමිණ ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

එමෙන්ම සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ද ආරම්භ කිරීමට නියමිත බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම වසරේ අගෝස්තු පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය නොවැම්බර් මාසයේ පැවැත්වීමට දින යොදා ඇති බවත්, 2023 සාමාන්‍ය පෙළ විභාගයද ලබන වසරේ සිංහල අලුත් අවුරුද්දට පෙර පවත්වන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

පිළිකා රෝග ව්‍යාප්තියේ වැඩිවීමක්

මේ වන විට රට තුළ පිළිකා රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසනවා.

ශ්‍රී ලංකාවේ දෙවැනියට වැඩියෙන් මරණ සිදුවන්නේ පිළිකා රෝගයෙන් බවයි එහි අධ්‍යක්ෂ ප්‍රජා දන්ත විශේෂඥ ඉෂානී ප්‍රනාන්දු සඳහන් කළේ.

ඒ අනුව 2019 වසරේ පුද්ගලයින් 15,599 ක් මිය ගොස් ඇති අතර 2020 වසරේ නව පිළිකා රෝගීන් 37,649 ක් හඳුනාගෙන ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.

මුඛ පිළිකා පිරිමින් අතර තිබෙන ප්‍රධානතම පිළිකා වර්ගය බවත් රට තුළ මීට වඩා දුම්කොළවලට විරුද්ධව වැඩ කටයුතු කළ යුතු බවයි ප්‍රජා දන්ත විශේෂඥ ඉෂානී ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළේ.

අද ඩොලරයේ විකුණුම් මිල රු.337 යි

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (26) සුළු ඉහළ යෑමක් සිදුව තිබෙනවා.

ඒ අනුව, අද ඩොලරයක ගැනුම් මිල රු. 323.69 ක් ලෙස හා විකුණුම් මිල රු 337.17 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

ඊයේ (25) දිනයේ ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රු.336.16 ක් ලෙසයි.

ශ්‍රී ලංකා රුපියල ආසියාවේ දුර්වලතම මුදල් ඒකකය බවට පත් වී ඇති බව Bloomberg වාර්තා කරයි

මේ වසරේ මුල් භාගය තුළ ආසියාවේ හොඳම ක්‍රියාකාරීම මුදල් ඒකකය බවට පත්වූ ශ්‍රී ලංකා රුපියල, මේ වන විට ආසියාවේ දුර්වලතම මුදල් ඒකකය බවට පවත්ව ඇති බව Bloomberg වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව එම වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ අඛණ්ඩව දින 14 ක කාලයක් තුළ රුපියල 6% කින් අවප්‍රමාණයවී ඇති බවයි.

පොලී අනුපාත කප්පාදුව සහ ආනයන පාලනයන් ලිහිල් කිරීම හේතුවෙන් තවදුරටත් රුපියල අවප්‍රමාණය විය හැකි බවත් වසර අවසානය වන විට ඩොලරය රුපියල් 355 ක් දක්වා ඉහළ යනු ඇති බවත් එම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ආනයනික ඉන්දීය බිත්තර අද සිට සතොසෙන් සහ සුපිරි වෙළෙඳසැල්වලින්

ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර අද (26) සිට සතොස සහ සුපිරි වෙළෙඳසැල්වලින් ලබාගත හැකි බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව පවසනවා.

ඒ අනුව බිත්තරයක් රුපියල් 35/- ක මුදලකට සහ අසුරන ලද බිත්තරයක් රුපියල් 40/- ක මුදලකට මිලදී ගත හැකි බවයි එහි සභාපති ආසිරි වලිසුන්දර සඳහන් කළේ.

මෙම බිත්තර පරිභෝජනයට සුදුසු බවට පරීක්ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව වෙළඳපොළට නිකුත් කර ඇති බවත් බිත්තර මිලදී ගැනීමේදී අනියත බියක් අතිකරගත යුතු නැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

SL vs PAK 2nd Test: තරගයේ තෙවන දිනය අදයි

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දෙවැනි ටෙස්ට් තරගයේ තෙවන දිනය අදයි (25).

ඊයේ (25) දිනයේ වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 10 කට පමණක් සීමා කිරීමට සිදුවූ අතර දිනය නිමා වන විට පාකිස්තානය කඩුලු 2 ක් දැවී ලකුණු 178 ක් ලබා සිටියා.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 87 ක් ද, බාබර් අසාම් ලකුණු 28 ක් ද ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා පාකිස්තානය මේ වන විට ලකුණු 12 ක් ඉදිරියෙන් පසුවනවා.

බිත්තර පාලන මිල ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

බිත්තරයක් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නිශාන්ත නිරිඇල්ල විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

රාජකුමාරි පිළිබඳ මරණ පරීක්ෂණයේ තීන්දුව අගෝස්තු 25 ප්‍රකාශයට පත් කරයි

පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය බවට සඳහන් වූ ආර්. රාජකුමාරි නමැති කාන්තාවගේ මියයෑමට අදාළ මරණ පරීක්ෂණයේ තීන්දුව අගෝස්තු මස 25 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පවසනවා.

වැලිකඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇය එලෙස සැක සහිත ලෙස මියගොස් තිබු අතර මෙම පරීක්ෂණය අද (26) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවා තිබෙනවා.

ඒ අනුව මෙම මරණ පරීක්ෂණයට අදාළව සිදු කෙරුණු සාක්ෂි විභාගය අද අධිකරණය හමුවේ අවසන් කෙරුණු අතර ඉන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

අන්තරේට පොලීසියෙන් ජල ප්‍රහාරයක්

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කර තිබූ විරෝධතාවයකට කොළඹ ලිප්ටන් වටරවුම ප්‍රදේශයේදී පොලීසිය ජල ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

සිරගත කර ඇති ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනෙක් නිදහස් කරන ලෙස ඉල්ලා ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වී ඇති බවයි සඳහන් වන්නේ.

කාර්යක්ෂම සහ ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ඇති කිරීමට “ඊ-බස්රථ” නියමු ව්‍යාපෘතියක්

කාර්යක්ෂම සහ ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ඇති කිරීමට විදුලියෙන් ධාවනය වන  බස් රථ යොදාගෙන නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට තිරණය කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

ඒ අනුව විදුලියෙන් ධාවනය වන  බස් රථ 50 ක් යොදාගෙන මෙම “ඊ-බස්රථ” නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ලක්දිව ඉංජිනේරු ආයතනය මගින් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමතය ද හිමිව තිබෙන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.